Connect with us

පුවත්

නිදහසේ සිහිනය එක්ව දකිමු…එක්ව සැබෑ කරගමු”

Published

on

මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස අද දිනයේ අනාගතය දෙස බලාගෙන සමරනු ලබන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

උතුරේ, දකුණේ, නැගෙනහිර හා රට මැද ජනතාව අනාගත පොහොසත් රාජ්‍යයක් ගැන මෙන්ම නුතන ශ්‍රී ලාංකික ජාතියක් ගැන සිහින දකිමින් සිටින මොහොතක නිදහස් දිනය සැමරීමට ලැබීම විශේෂත්වයක් බව ද නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසීය.

අද උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 77 වන නිදහස් දින සැමරුම ආරම්භ කෙරිණි.

“මේ දවස උදාකිරීම වෙනුවෙන් ආත්මීය පරිත්‍යාග කළ සියලු විරෝධාර මිනිසුන්ට අපේ ආචාර්ය පුද කළ යුතු දවසක් අද. ඒ වගේම නිදහස පූර්ණ වශයෙන් අත්පත් කරගැනීම වෙනුවෙන් ඔවුන් ලබාදුන් යෂ්ටිය රැගෙන 1948න් පසුව තවත් විරෝධාර මිනිසුන් අපේ නිදහස වෙනුවෙන් ගමන් කළා. ඒ යෂ්ටිය රැගෙන 77 වන නිදහස සමරන මේ මොහොත දක්වා අපි දීර්ඝ ගමනක් ඇවිත් තියෙනවා. ඒ ගමන තුළ අපි දන්නා වීරවරුන් හා වීරවරියන් සේම අපි නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ, කඳුළු, දහඩිය මතින් අද දක්වා අපි පැමිණ තිබෙනවා. ඒ සියලුදෙනාට අපගේ ආචාර්ය හිමිවෙනවා.

අපිට අපේ ආර්ථික නිදහස වෙනුවෙන් සමාජ, සංස්කෘතික නිදහස වෙනුවෙන් නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කරගැනීම වෙනුවෙන් එක්ව යා යුතු ගමනක් තිබෙනවා. කාලයක් පුරා යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කළ ජනවාර්ගික, ආගමික, කුලභේද පමණක් නොව දේශපාලන නියෝජිතයින් අතර, ආයතන ප්‍රධානීන් හා සේවකයින් අතර රාජ්‍ය සේවකයින් හා පොදු ජනතාව අතර ගුරුවරුන් හා සිසුන් අතර යන සෑම කේෂ්ත්‍රයකම මුල් බැසගත් අගතින් සෝදාහැර මේ සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙනවා.

අප මතක තියා ගත යුතුයි රටට ආර්ථික, සමාජීය, සංස්කෘතික නිදහස පුර්ණ ලෙස දිනාගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලුදෙනා එකම අරගල බිමක අරගලකරුවන් වන බව අප සියලුදෙනා එකාවන්ව මේ මාතෘභූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා. මේ මෙහෙයුම තුළ අපේ ජාතියට ආහාර නිෂ්පාදනය කරන ගොවියන් හා ධීවරයින් ලෙස ඔබට එහි භූමිකාවක් තියෙනවා. අපේ ජාතියට දැනුම නිෂ්පාදනය කරන ඒ දැනුමින් අනාගත පරපුර පෝෂණය කරන ගුරුවරුන් ලෙස ඔබට කාර්යභාරයක් තිබෙනවා. අපේ ජාතියේ නිරෝගීකම සුරකින සෞඛ්‍ය සේවයේ ක්‍රියාධරයින් ලෙස ඔබට එහි කාර්යභාරයක් තියෙනවා. අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කරන පොලීසිය හා ආරක්ෂක අංශ ලෙස ඔබට එහි වගකීමක් තියෙනවා. ඔබ සියලුදෙනාට සුවිශේෂ භූමිකාවක් තියෙනවා. ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙක් නොවී සෑම චලනයකින් ම තැලෙන පෑගෙන යටත් වැසියෙක් නොවී, ආර්ථික තලයේ නිදහස සාක්ෂාත් කරගැනීමට නම් අප සියලුදෙනා එක්ව මේ මාතෘභූමිය වෙනුවෙන් කැප විය යුතුයි. අපේ ඒ ආර්ථික නිදහස වෙනුවෙන් අපි කරන අරගලය තුළ අපේ සමාජීය, සංස්කෘතික නිදහස කිසිසේත්ම දෙවැනි කොට සැලකීමට අප සුදානම් නැහැ.

ඔබට අප විසින් භාරදෙනු ලබන රට අපට ඉතිහාසය විසින් භාරදුන් රට නොව ඔබ ජීවත් කිරීමට ආසා කරන පුරවැසි අභිමානය ගරු කරන දියුණු සංස්කෘතික රටක් වන බවයි. එමෙන්ම මානව ශිෂ්ටාචාරය මේ වනවිට අත්පත් කරගෙන ඇති විද්‍යාත්මක තාක්ෂණ හා චින්තනමය ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයින් ලෙස අත්විඳීමට ඔබට ඇති හිමිකම තහවුරු කළ රටක් වන බව ස්ථීර ලෙස මා ඔබ හමුවේ මෙසේ පවසන්නේ, ඉතිහාසය විසින් අපට උරුමකර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට යුක්ති සහගත අයිතියක් නොවන නිසයි. අපි එසේ නොකළ බවට අනාගතය සාක්ෂි දරයි.

මේ නිදහසේ සිහිනය එක්ව දකිමු. ඒ සිහිනය එක්ව සැබෑ කරගමු. ඔබ සහ මම අප සියලුදෙනා එක්ව මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නුතන දේශපාලන ලෝකයේ නොමැකන ආදර්ශයක් බවට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකා රාජ්‍ය පත්කරන ගමනක් විය හැකි බව ද මතක තබා ගන්න. නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත් රට බවට පත්විය නොහැකිය. නමුත් අපි උත්සාහ කළොත් අපිට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සමානාත්මතාවය හා නිදහසේ රාජ්‍ය බවට පත්විය හැකියි.”

පුවත්

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරියක් පොලිස් භාරයට

Published

on

By

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින් අදාළ ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදි එහි රියදුරු අසුන ආසන්නයේ ඇති ඩෑෂ් බෝඩ් එක යට තිබී C4 නැමැති මෙම අධිබලැති වෙඩි බෙහෙත් සහිත බෑගයක් සොයාගත් බවය.

පොලිස් භාරයට ගත් මෙම වෙඩි බෙහෙත් තොගයේ බර ග්‍රෑම් 156.07ක් වන බව පැවසූ පොලීසිය පැවසුවේ අදාළ වෙඩි බෙහෙත් තොගය ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගත් බවය.

මෙම වෙඩි බෙහෙත් තොගය අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන බවත් මෙම වෙඩි බෙහෙත් ප්‍රවාහනයද සපුරා තහනම් වන බවද පොලීසිය පැවසීය.

සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම පුපුරණ ද්‍රව්‍ය කන්තලේ ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැලසුම් කළ බවය.

ඒ අනුව වෙඩි බෙහෙත් තොගය එම ප්‍රදේශයට රැගෙන යන්නේ කුමක් සඳහාද යන්න හබරණ පොලීසිය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

සැකකරු සහ එම ලොරි රථය අද දින බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

Continue Reading

පුවත්

හිරුණිකාගේ  නඩුව කල්යයි

Published

on

By

කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ නඩුව දෙසැම්බර් මස 08 වන දින යළිත් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවන ලදී.

එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවය.

ඒ අනුව පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලිසියට දැනුම් දුන්නාය.

2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මං මාවත් අවහිර කරමින් වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන්ට විරුද්ධව මෙම පැමිණිල්ල පොලිසිය විසින් ඉදිරිපත් කර ඇත.

Continue Reading

පුවත්

දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දින නියම වේ.

Published

on

By

රන් ආලේපිත ගිනිඅවියක් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බව තීන්දු කරන බවය.

මෙහිදී විනිසුරුවරයා සඳහන් කර සිටියේ, ඉදිරිපත් කර ඇති වාර්තා පිරික්සීමේදී මෙම විමර්ශන ගොනු මේ වන විට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපතිවරයාගේ අධීක්ෂණයට භාජනය වී තිබෙන බව පෙනී යන බවය.

මෙම සිද්ධියට සම්බන්ධ තුන්වන සැකකරු මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහු විසින් පොලීසියට ලබාදුන් ප්‍රකාශය තුළින් ඉදිරිපත් වන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව මීළඟ දින කරුණු දක්වන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවීමටද නියම වුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved