Connect with us

පුවත්

චන්දන, සිරස ලක්ෂපති එක්ක මිනිස්සුන්ගේ ආසාව පික්පොකට් ගහන්න එපා

Published

on

ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වූ චන්දන සූරියබණ්ඩාර මහතා මෙහෙයවූ “සිරස ලක්ෂපතී” වැඩසටහන “ඉතිං ආයෙත් පටන්ගමු! අලුත් තැනකින්!” කියමින් දුරකථන අංකයක් සටහන්කර ලියාපදිංචි වන්නයි කරනු ලබන ආයාචනය සඳහා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධයක්ෂ ජනරාල් මහින්ද රූබසිංහ මහතා බරපතල විවේනයක් එල්ල කර තිබේ.

ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ මීට වසර අටකට දහයකට පෙර මේ වැඩසටහනේ මුල් අවස්ථාවේදී තමාද මේ වැඩසටහනට සහභාගිවීමට දුරකථනය ඔස්සේ ලියාපදිංචි වූ බවයි.

කෙසේවුවද, එතෙක් මෙතෙක් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවද ඔහු කියා සිටී.

ඔහු පෙන්වා දෙන්නේ මෙයද මිනිසුන්ගේ මුදල් ගරණ ව්‍යාපාරයක් බවයි.

රූපසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන සම්පූර්ණයෙන් මෙසේය.

 මීට අවුරුදු අටකට දහයකට විතර කලින් මේ වැඩසටහන සඳහා 7788 අංකයට කතා කරලා මමත් ලියාපදිංචි වුනා. හැබැයි Chandana Sooriyabandara මට කැඳවීමක් ලැබුණේ නැහැ. එහෙම තියෙද්දි ඇයි මෙහෙම යළි යළිත් මිනිස්සුන්ට රෙජිස්ටර් වෙන්න කියන්නේ.

එදා 7788 නම්බර් එකට කතා කළාම දුරකථන ගාස්තු හැටියට ගානක් කැපෙන බව දැන ගත්තා. ගාන නම් හරියට මතක නෑ. මේ සැරේ මිනිත්තුවකට රුපියල් 5 ක් කැපෙනවලු.

ප්‍රශ්නය මේකයි. මා කතා කළ දවසේ සිට අවුරුද 10 ක් පුරාම සිරස නාලිකාව 7788 ට කතා කරන්න කියමින් ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා. ලංකාවෙන් භාගයකට වඩා ඔය අංකයට කතා කරන්න ඇති.

එහෙම බැලුවොත් මට කිසිදු ප්‍රතිචාරයක් නැත්තේ මේ වැඩසටහන අවුරුදු දහස් ගණනක් ඉස්සරහට කරන්න බලාපොරොත්තුවක් ඇති නිසයි. මගේ පුනරුප්පති අවධියකදි මේ චන්දන අදාළ අංකයට කතා කර ලියාපදිංචි වූ මෝඩ මට එන්න කියලා ආරාධනා කිරීමේ බලාපොරොත්තුක් තියෙනවද දන්නේ නැහැ.

“අළුත් තැනෙකින් ආයෙත් පටන්ගමු” කියලා දැන් සිරස නාලිකාවේ ප්‍රධානී චන්දන සූරියබණ්ඩාර කියන්නේ මට වෙච්ච ඉරණම ලංකාවේ දෙකෝටි විසි ලක්ෂයකටම යළිත් අත්විඳින්න සැලැස්වීමටයි. ඉදිරියේදි සිරස නාලිකාවේ සෑම විටම ඔය අංකයත් එක්ක පූර්ව ප්‍රචාරක පට විකාශය වෙයි. ඔබ සල්ලි කපාගෙන ලියාපදිංචි වෙයි. කෝටියක් දෙනා කතා කළොත් කෝටි 20-30 ක් එකඟතාව අනුව සිරසටත් දුරකථන සමාගමටත් ලැබෙයි.

ඒක ගැටළුවක් නෑ කියමු. ඒත් මිනිස්සුන්ගේ ආසාවට පික් පොකට් ගහන්නේ ඇයි? මේ වැඩසටහනේ ස්වරූපයට අනුව එකී ප්‍රශ්නවලට පිළිතුරු දිය හැක්කේ එක්තරා මට්ටමක දැනුමක් ඇති අය බව හොඳාකාරව දකින්න පුළුවන් දෙයක්. වසරකට 500 දෙනෙකු කැඳවා ගැනීම වෙනුවෙන් ඔවුන් ලක්ෂ ගණනක් රවට්ටනවා. එහෙම රවට්ටන චන්දන වැඩසටහන මෙහෙයවන්නේ හරියට මේ ලෝකේ ඉන්න ඉතා සාධාරණ හා ශිෂ්ටසම්පන්න මිනිහෙක් විදියට.

බ්‍රිතාන්‍යයයේ “Who wants to be a Millionaire” ඔරිජිනල් වෑඩසටහන කරන ITV නාලිකාව කරන්නේ ඔන්ලයින් ප්‍රශ්න 15 කට උත්තර ලබා ගැනීමෙන් තරඟකරුවන් තෝරා ගැනීමයි. කාගෙන්වත් සල්ලි පොකට් ගහන්නේ නෑ. මිනිසුන්ගේ ආසාවන්ට නිගා කරන්නෙත් නෑ.

එමෙන්ම දැන් වැඩසටහන මෙහෙයවන Jeremy Clarkson වගේ කෙනෙක් සිය සීමාවේ සිට ඉතා මනරම්ව වැඩේ කරනවා. මුල් වකවානුවේ ලකී ඩයස් එවැනි ස්වරූපයකින් වැඩසටහන මෙහෙය වූ බව මතකයි.

ලංකාවේ පසුගිය සමයේ මෙම වැඩසටහන සැලසුම් සහගතව හෝ නොමැතිව ජාතිය, ආගම හා වෙනත්  කතන්දරවලටත් ගෙන ගොස් සෙන්සේෂනලයිස් කරන හැටිත් දකින්න ලැබුණා. ජයග්‍රාහකයින්ගේ ගම්බිම්වලට ගිහින් බ්‍රේකින් නිව්ස් පවා ගැහුවා.

මිනිස්සු මෝඩයි කියන සිතුවිල්ලෙන් තමයි මේ ආකාරයාට ප්‍රචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ.  මේකේ ඔරිජිනල් ෆෝමැට් එක වගේම බලයලත් අනෙක් රටවල විකාශකයන් “International television game show” සීමාවේ සිට වැඩසටහන කරගෙන යනවා. ලංකාවේ හැමදේම වෙනස් වගේම මේකත් වෙනස්.  

මිනිස්සු රවටන්නේ, සූරා කන්නේ වෙළෙන්දන් සහ දේශපාලකයන් විතරක් නොවෙයි.

මහින්ද රුබසිංහ

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්  හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවකු වන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අය අද (01) අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවන ලදී.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවය.

මේ ආකාරයෙන්  නීති විරෝධී ලෙස වාහන 177 ක් මෙරටට ගෙන්වා නීතියට පටහැනි  ලෙස ලියාපදිංචි කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ ටොයොටා වර්ගයේ ජීප් රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය දීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුලි 01 ප.ව.3.52 )

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

රටවිරුවන්ගේ දරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

By

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

2019.01.01 දින සිට 2024.09.15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ඇත.

2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකිය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු.25,000.00 ක මුදලක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.30,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු.40,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන අතර, කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකිය.

2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2688 දෙනෙකු සඳහා රුපියල් මිලියන 81.12 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා ඇත.

Continue Reading

පුවත්

දූෂණ විරෝධී යාන්ත්‍රණය සවිමත් කිරීමට ජපානයෙන් ඇ.ඩොලර් මිලියන 2.5ක්

Published

on

By

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ.

දුෂණ විරෝධී යාන්ත්‍රණය ස්ථාපිත කිරීම තුළින් දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළව මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සදහා වු ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio ISOMATA මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය අතර අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂන නානායක්කාර ඉදිරියේදී  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේදී අද ( 01) පෙරවරුවේ සිදු විය.

රාජ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය හා ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා පාලනයේ සහ ව්‍යාපාර භාවිතයන්හි විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, දුෂණයට අදාළ විමර්ශන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සඳහා ආයතන ශක්තිමත් කිරීම, කොටස්කරුවන් සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නඩු පැවරීමේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව ඵලදායි ලෙස සවිබල ගැන්වීම සහ සමාජ වගවීම වැඩිදියුණු කිරීමට පුරවැසියන් බල ගැන්වීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කරනු ලබයි.

තරුණ පිරිස් මාධ්‍යවේදීන් සහ ළමුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම අපේක්ෂා කරනු ලබන අතර, දුෂණයට එරෙහිව අඛණ්ඩව සහ ක්‍රියාකාරීව දායකවීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කෙරේ.

නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved