වෘත්තීය සමිති පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳගත යුතුයි – ජනපති
වසර හැට පහක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝග හමුවේ බලය ලබා ගැනීම අතික්‍රමණය කළ තම දේශපාලන ව්‍යාපාරය සහතික වශයෙන්ම මේ රට ගොඩ නැඟීම සහ ජනතාවගේ වුවමනාවන් ඉටු කිරීමේ අභියෝගය ද ජයග්‍රහණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
අද රට පාලනය කරන්නේ රට ගොඩ නඟමින් ඉදිරියට ගෙන යාමට සූදානම් ව්‍යාපාරයක් බවත්, එහිදී මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයටද පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබෙන බවත් පැවසු ජනාධිපතිවරයා රට ගොඩ නැඟීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමට ආණ්ඩුවත් සමඟ එක්වන ලෙස සියලු වෘත්තිය සමිති ව්‍යාපාරවලට ආරාධනා කරන බවද පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේ ගාලු මුවදොර පිටියේ පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජන බලවේගය පමණක් බවත් මේ රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අත බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බවයි.
ආණ්ඩුව බොරුවෙන් මුසාවෙන් මුළාවෙන් රට පාලනය කරනවා – විපක්ෂනායක
වතු හා කම්කරු ජනතාව වෙනුවෙන් ඊයෙත් අදත් හෙටත් සැබෑ ලෙසම සටන් කරන්නේ සමගි ජන බලවේගය බවත් වත්මන් ආණ්ඩුව බොරුවෙන් මුසාවෙන් මුළාවෙන් රට පාලනය කරන බව සමගි ජන බලවේගයේ නායක, සමගි ජන සන්ධානයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයේ මැයි දින රැලිය ‘ගම දිනවන සටනට කම්කරු බලය’ යන තේමාව යටතේ සමගි ජන බලවේගයේ නායක සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) තලවකැලේ ළිඳුල නගර සභා පිටියේදී පැවැත්විණි.
එහිදී පැමිණ සිටි පිරිස අමතමින් සමගි ජන බලවේගයේ නායක, සමගි ජන සන්ධානයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී බොරු කියා පොහොසත් රටක් හදනවා කිවුවත් එවැනි රටක් ජනතාවට අත්වුණේ නැහැ. මේ වන විට පිට පිටම තුන්වැනි වතාවටත් ජනතාව අනාථ කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා.
මහින්ද නිදොස් කොට නිදහස් කිරීමේ අරගලය අපි පටන් ගන්නවා – නාමල් රාජපක්ෂ
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් තුළම තම ආදරණීය පියාණන් නිදොස් කොට නිදහස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී ඊයේ (01) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගොවි කම්කරු ජනතාවගේ පොදුජන මැයි රැලිය 2025ට එක්වෙමිනි. ‘රැවටිල්ල ඉවසුවා ඇති – දැන් ඉතින් නැඟිටිමු’ යන්න තේමාව කරගනිමින් මෙම රැලිය පැවැත්විණි.
“අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් තුළම මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමේ බලාපොරොත්තුව පෙරදැරිව අපි මැතිවරණය මෙහෙයවනවා. අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව තුළම මම මගේ තාත්තා නිදොස් කොට නිදහස් කරනවා. ඒ වගකීම අපි ඉටු කරනවා. ජනතාවට අපි ද්‍රෝහිකම් කරලා නැහැ. අපි හැමදාම ජනතාවගේ පැත්තේ සිට ජනතාව ගොඩනඟන්න දේශපාලන තීන්දු ගෙන තිබෙනවා. අද අපේ පක්ෂය අලුත් වී තිබෙනවා”