හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබේ.
මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තු ගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 30කි.
හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම වෙනුවෙන් විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ Gyorgyi Rehoregh සහ විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිමිකම් සහ අයකරගැනීම් ප්‍රධානී Adrienn Hegyi Szénásine අත්සන් කර ඇත.
නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, හංගේරියානු අපනයන ණය රක්ෂණ සමාගම, හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන පියවරක් ලබාදීමට එකඟවී තිබේ.
හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.