Connect with us

පුවත්

ජපන් –  ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල 70 වැනි සංවත්සරය සැමරේ

Published

on

ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කළ උත්සවයක් පසුගිය 16දා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට යෙදුණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සවයට කථානායක – මහින්ද යාපා අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය – ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය – රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.    

උත්සව සභාව අමතමින් කතා කළ තානාපති මිසුකොෂි මහතා, දෙරට අතර සිදුකරන ලද ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය තුළ සිදුකර ඇති ජපන් ආයෝජන, ශ්‍රී ලංකාව තුළ ජපන් භාෂා අධ්‍යාපනයේ මෑත කාලීන ප්‍රගතිය සහ ජපාන අධිරාජ්‍යයා හා විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලාංකිකයින් වෙත පිරිනමා ඇති ගෞරව සම්මාන ආදිය පිළිබඳව සිහිපත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා, පසුගිය ජූලි මාසයේදී පවත්වන ලද ‘තනබතා’ උත්සවය, සැප්තැම්බර් සම පැවැත්වූ මිත්‍රත්ව පාගමන හා සැන් ෆ්‍රැන්සිස්කෝ සාම ගිවිසුම් සැමරුම සහ දෙසැම්බර් මස පැවති ‘බොන් ඔදොරි’ උත්සවය, වැනි ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ශක්තිමත් කළ අවස්ථාවන් පිළිබඳව මතකාවර්ජනයක යෙදුණු අතර, 70 වැනි සංවත්සර සැමරුම සාර්ථක කරගැනීමට දායකත්වය ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා නිල පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ ජාතික තරුණ සේවා සභාව ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජපානය හා සම්බන්ධිත සමාගම්, සංවිධාන සහ ආයත ඇතුළු සියළුදෙනා වෙත සිය කෘතඥතාවය පළ කර සිටියේය.    

ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු මිත්‍රත්වයේ සහ බැඳීමේ මෙම සන්ධිස්ථානයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා ශ්‍රී ලංකාව කෙරෙහි ජපන් රජය විසින් දක්වා ඇති දායකත්වය, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය තුළ සිදුකර ඇති ජපන් ආයෝජන, රාජ්‍ය නිළධාරි මට්ටමින්, අධ්‍යාපන, විද්‍යා තාක්ෂණ, පර්යේෂණ සහයෝගීතා, ආරක්ෂක, සංස්කෘතික සහ ආගමික යනාදී අංශ ඔස්සේ දෙරට අතර ඇති සහයෝගීතාවය පිළිබඳව සිහිපත් කළේය.

මෙම සුවිශේෂී අවස්ථාවේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 70 වෙනි සංවත්සරය සනිටුහන් කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කරන ලදී.

මෙම සමරු මුද්දරය හා මුල්දින කවරය නිර්මාණය පිණිස යොදාගත් සිතුවම් ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වනු ලැබූ තරගයකින් තෝරාගනු ලැබූ අතර, හසිනි දිනේෂිකා මෙනවිය සහ රශ්මි දෙව්මිණි මෙනවිය විසින් ඒවා නිර්මාණය කර ඇත.                

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්  හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවකු වන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අය අද (01) අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවන ලදී.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවය.

මේ ආකාරයෙන්  නීති විරෝධී ලෙස වාහන 177 ක් මෙරටට ගෙන්වා නීතියට පටහැනි  ලෙස ලියාපදිංචි කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ ටොයොටා වර්ගයේ ජීප් රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය දීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුලි 01 ප.ව.3.52 )

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

රටවිරුවන්ගේ දරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

By

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

2019.01.01 දින සිට 2024.09.15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ඇත.

2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකිය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු.25,000.00 ක මුදලක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.30,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු.40,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන අතර, කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකිය.

2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2688 දෙනෙකු සඳහා රුපියල් මිලියන 81.12 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා ඇත.

Continue Reading

පුවත්

දූෂණ විරෝධී යාන්ත්‍රණය සවිමත් කිරීමට ජපානයෙන් ඇ.ඩොලර් මිලියන 2.5ක්

Published

on

By

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ.

දුෂණ විරෝධී යාන්ත්‍රණය ස්ථාපිත කිරීම තුළින් දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළව මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සදහා වු ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio ISOMATA මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය අතර අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂන නානායක්කාර ඉදිරියේදී  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේදී අද ( 01) පෙරවරුවේ සිදු විය.

රාජ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය හා ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා පාලනයේ සහ ව්‍යාපාර භාවිතයන්හි විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, දුෂණයට අදාළ විමර්ශන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සඳහා ආයතන ශක්තිමත් කිරීම, කොටස්කරුවන් සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නඩු පැවරීමේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව ඵලදායි ලෙස සවිබල ගැන්වීම සහ සමාජ වගවීම වැඩිදියුණු කිරීමට පුරවැසියන් බල ගැන්වීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කරනු ලබයි.

තරුණ පිරිස් මාධ්‍යවේදීන් සහ ළමුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම අපේක්ෂා කරනු ලබන අතර, දුෂණයට එරෙහිව අඛණ්ඩව සහ ක්‍රියාකාරීව දායකවීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කෙරේ.

නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved