Connect with us

පුවත්

සමස්ත ශ්‍රම බලකායෙන් බදු දැලට හසුවන්නේ ලක්ෂ 8ක් පමණයි

Published

on

 මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී.
නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු සීමාව සපුරාලන බවයි.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු 18 වන දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.

මෙම පනත් කෙටුම්පත යටතේ පුද්ගල ආදායම් බදු (PIT) සහනය වාර්ෂිකව රු. 1,200,000 සිට රු. 1,800,000 දක්වා වැඩි කිරීමේ යෝජනාව කමිටුවේ අවධානයට ලක්විය. එසේම ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මගින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීම, සේවා අපනයනය 15% අනුපාතයකින් ආදායම් බද්දට යටත් කිරීම සහ පොලී ආදායම හෝ වට්ටම මත රඳවා ගැනීමේ බදු (WHT) අනුපාතය 5% සිට 10% දක්වා වැඩි කිරීමට ද මෙම සංශෝධනය මගින් යෝජනා ඉදිරිපත් කර ඇත.

උපයන විට ගෙවීමේ බදුවලට අදාළ (PAYE) දත්ත විශ්ලේෂණය සලකා බැලූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පවතින දත්තවල දෝෂයක් ඇති බව නිගමනය කළේය. ඒ අනුව, කාරක සභාවට නිවැරදි දත්ත විශ්ලේෂණයක් ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

තවද, බදු ගෙවීම, ආනයනය, අපනයනය කිරීම හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඕනෑම සේවාවක් ලබා ගැනීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීම ක්‍රියාත්මක නොවන බව මෙහිදී අනාවරණය විය. මෙම ක්‍රියාවලිය නිවැරදි ලෙස සිදු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තා කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදීම සිදුවිය.

ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මගින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීමේ යෝජනාව සලකා බැලූ කාරක සභාව, කැසිනෝ නියාමකයෙකු ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළේය.

පසුගිය වසර 5 තුළ කැසිනෝ හරහා ලැබුණු ආදායම පිළිබඳව කමිටුව විසින් මීට පෙර ඉල්ලා සිටි නිසි දත්ත ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳව ද කාරක සභා සභාපතිවරයා විසින් සිය අප්‍රසාදය පළ කරන ලදී.

බදු අභියාචනය සඳහා ගෙවීමට නියමවූ බදුමුදලෙන් 25% ක් ගෙවීමට සිදුවීම පිළිබඳව ද කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී.

අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී බැංකු ඇපකරයක් වෙනුවට මුදල් තැන්පතුවක් ඉල්ලා සිටීම කෙතරම් දුරට සදාචාරාත්මකද යන්න කමිටුව ප්‍රශ්න කළේය.

රජයට ලැබිය යුතු ආදායම ගෙවීමෙන් වැළකී සිටීම සඳහා ජනතාව අභියාචනා ක්‍රියාවලිය යොදා ගන්නා බවත්, එබැවින් බැංකු ඇපකරයක් වෙනුවට මුදල් තැන්පතුවක් යෝජනා කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා නඩු විශ්ලේෂණය කර අදාළ දත්ත ලබා දෙන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, විජේසිරි බස්නායක, නිමල් පලිහේන යන මහත්වරුන් ද සහභාගී වූහ.

පුවත්

ජූලි සිට බස් ගාස්තු 2.5%කින් අඩුකරන්න NTC අනුමැතිය (Update)

Published

on

By

සියයට 2.5කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01දා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර, ඒ අනුව මෙවර ජුලි මස 01 වනදා සිට මෙම සංශෝධනය ක්‍රියාත්මක වනු  ඇත.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණු අතර, 2%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් බස් ගාස්තු සංශෝධනය සිදුකිරීමට ප්‍රවාහන බලධාරීන් සිදු කර ඇති යෝජනාවට බස් සංගම් නියෝජිතයන් සිය අප්‍රසාදය පළ කර තිබුණි.


(පෙර පුවත 2025 ජුනි 25 ප.ව.4:43)

2% බස් ගාස්තු අඩුවට බස් සංගම් වලින් විරෝධය

බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර එහිදී මේ බව දැනුම්දී ඇත.

ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර මෙම හමුව සිදුවිය.

කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බව සඳහන් ය.

යම් ලෙසකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති අතර ඉන් ඉදිරියට පවතින ගාස්තුවල සංශෝධනයක් පමණක් සිදුවෙනු ඇත.

Continue Reading

පුවත්

2025 උසස් පෙළ විභාගයට දින නියම වෙයි

Published

on

By

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජුනි මස 26 දින සිට 2025 ජූලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතුව ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය,

Continue Reading

පුවත්

දේශබන්දුගේ සාක්ෂිකරුවන් කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදී අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීම අද (25) අවසන් විය.

වගඋත්තරකාර පොලිස්පතිවරයාද ඇතුළුව ඔහුගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිත බව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර පැවසුවද, අද දින තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව හෙතෙම කියා සිටියේ අනෙකුත් සාක්ෂිකරුවන් පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බවයි.

මේ නිසා එම සාක්ෂිකරුවන් අද දින පරීක්ෂණ කමිටුව ඉදිරියේ පෙනී සිටි නමුත් ඔවුන්ව මුදාහැරීමට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් රැස්වූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කළේය. 

වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 7 දෙනෙකුගේ සාක්ෂි පමණක් ලබාගෙන වගඋත්තරකරුගේ නඩුව අවසන් කිරීම අද සිදු විය.

රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය පෙර එකඟ වූ පරිදි, 2025 ජූලි 01 දින පෙ.ව. 9.30ට රැස්වී මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ විය.

පරීක්ෂණ කමිටුව යළි ජූලි 01 දින රැස්වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved