Connect with us

පුවත්

තරුණ සේවා සභාවේ තවත් අවුල් රැසක් එළියට

Published

on

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම් කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති බව කෝප් අනුකාරක සභාවේදී අනාවරණය වී තිබේ.

මෙම කරුණු අනාවරණය වුයේ 2022 සහ  2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2025 පෙබරවාරි 18 සහ 20 යන  දිනවලදී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් වලදී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය පිණිස පත්කළ අනුකාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාවේ තුරග තරඟ පිටියේ පැවති සංගීත ප්‍රසංගය ද ඇතුළත්ව මෙම වැඩසටහන සම්බන්ධයෙන්ද පවතින සියලු වීඩියෝ පට කාරක සභාවට ලබා දෙන ලෙස හිටපු සභාපති පසිඳු ගුණරත්න මහතාට ලබාදුන් නිර්දේශය  පිළිබඳව අනු කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. ඒ අනුව  එම වීඩියෝ පට තමන්ට ලබාදී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එහිදී ලක්ෂ 120ක මුදලක් මේ වෙනුවෙන් අදාළ නිෂ්පාදන ආයතන වෙත ලබාදීම පිළිබඳව කාරක සභාව දීර්ඝව කරුණු විමසීය. ඒ  අවස්ථාවේදී අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස අදාළ සැපයුම වැඩි මුදලකට ලබාගෙන එම සමාගම විසින් තවත් ආයතන ඔස්සේ එය  සිදුකර ඇති බවයි.

තවද ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්  මාලාව සමීක්ෂණ වාර්තාවකින්  අනතුරුව  සිදුකළ  බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වර්තාවක් සභාව සතුව නොමැති බව ජාතික තරුණ සේවා සභා නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා ස්මාර්ට් යුත්  වැඩසටහන් මාලාව  තුළ  විශාල  මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර පුර්ණ වාර්තාවක් මාස 3ක් තුළ  කාරක සභාවට යොමු කරන ලෙසත්, ජාතික තරුණ සේවා සභාව මගින් ද පරීක්ෂණයක් සිදුකර නිත්‍යානුකූල  පියවරයන්  ගැනීමට  කටයුතු කරන ලෙසත්  නිලධාරීන්ට උපදෙස්  ලබාදුන්නේය.

එමෙන්ම දේශපාලන  හේතුන් මත  ගැටලු  සඳහා මුහුණ දුන් නිලධාරීන් 40 දෙනෙකු  සඳහා වන්දි ලබාදීමට,  විශ්‍රාමික නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස ලබා දී තිබු  කැබිනට් තීරණයක් නොසලකා හරිමින් සභාව මගින් වෙනම කමිටු 3ක් පත්කර වන්දි  ලබාදීම පිළිබඳව ද කාරක සභාවේදී  සාකච්ජා විය. ඒ අනුව මෙලෙස වන්දි ලබාගත් නිලධාරීන්,ලබා දුන් වන්දි මුදල්  ප්‍රමාණයන්, මෙම උසස්වීම් ලබා දුන් දිනයන් ,ගෙවීම් කළ දිනයන් ,අනුමතිය ලබා දුන් දිනයන්  හා තීන්දු ලබා දුන් නිලධාරීන් පිළිබඳව පුර්ණ වාර්තාවක්  සති  2ක්  තුළ ලබාදීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මේ අතර සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය (NYSCO) මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමාවක්  පිළිබඳව  ලැබුණු පැමිණිල්ලක්  කාරක සභාවේදී  දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි. එහිදී අනාවරණය වුයේ  NYSCO මගින් ක්‍රියාත්මක කරන එම ඩිප්ලෝමාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සම්බන්ධයක් නොමැති බවය. මෙහිදී  අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා NYSCO ආයතනය  වර්තමානය වනවිට තරුණ සේවා සභාවේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව පසුවේය. තවද  NYSCO ආයතනයේ මහා සභාවේ සාමාන්‍යාධිකාරිවරයා තෝරාගැනීමේ වයස අවුරුදු 35ක් ලෙස පැවතියද  එම වයස් සීමාව මේ වනවිට  අවුරුදු 50 දක්වා ඉහළ දමා  ඇති බව  ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුහ. ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ නාමය මෙ‍ෙලස අවභාවිත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මේ  පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් විමර්ශනයක් සිදුකර අවශ්‍ය තීරණ ගැනීමට  උපදෙස් දුන්නේය. එමෙන්ම  NYSCO හි  ප්‍රධාන නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට ද සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය. තවද මේ සම්බන්ධව කාරක සභාවේ නිර්දේශ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට යොමු කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

තවද ජාතික තරුණ සේවා සභාවේ  සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගමේ  වාර්ෂික වාර්තා සහ  මුල්‍ය වාර්තා නියමිත කාල රාමු තුලදී  පාර්ලිමේන්තුවට සභාගත කිරීම පිළිබඳව මෙන්ම විගණන හා කළමනාකරණ කමිටු නිසි පරිදි පැවැත්වීම පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

පුවත්

ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල

Published

on

By

ඊශ්‍රායලයේ බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

ඔහු මෙම තොරතුරු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් මගින් සදහන් කර ඇත.

තුවාල ලැබූ තරුණයා අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විමුක්ති මධුසංඛ ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ඉදිකිරීම් කටයුතු සඳහා ඊශ්‍රායලයට පැමිණ සිටියේය.

ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට මේ වන විට කටයුතු සම්පාදනය කරමින් සිටින බව තානාපති බණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.

තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය විසිහතර පුරාම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, ප්‍රහාරයෙන් පීඩාවට පත් ඕනෑම අයෙකු වහාම තානාපති කාර්යාලය අමතන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කළේය.

Continue Reading

පුවත්

දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Published

on

By

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව,

01. හේරත් මුදියන්සේලෑ සුසිල් හේරත්
02. අධිකාරීනායක මුදියන්සේලාගේ පෙනලබොඩේ ගෙදර අනිල් ඉන්ද්‍රජිත් දසනායක
03. කරදගොල්ලේ වලව්වේ ධනංජය සම්පත් කරදගොල්ල
04. අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක
05. හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි
06. ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න
 යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

Continue Reading

පුවත්

මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, 2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ  ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා.“

වීඩියෝ – CBSL

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved