Connect with us

පුවත්

ඖෂධ 38ක් ගේන්න NMRA ඇගයීමකුත් නැතිව සමාගමකට ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික දීලා!

Published

on

ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ (NMRA) ඇගයීමකින් තොරව 2022 වසරේදී Savorite නමැති පුද්ගලික සමාගමට ඖෂධ වර්ග 38 ආනයනය කිරීම සඳහා ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

 එමෙන්ම මෙම Savorite නැමැති පුද්ගලික සමාගම මෙලෙස ඖෂධ ආනයනය කිරීම සඳහා තෝරාගැනීමට උපදෙස් ලබාදුන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවට දන්වා සිටියේය.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති – පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 26 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2022 වසරේ දෙසැම්බර් මාසේ 30 ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනායාචිත යෝජනා හරහා ඉදිරිපත් වූ ඖෂධ වර්ග 38 ආනයනය කිරීම Savorite නමැති පුද්ගලික සමාගමක් වෙත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කර ඇත්තේ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව බව කාරක සභා සභාපතිවරයා සභාව දැනුවත් කළේය. එම ඖෂධ වර්ගවල ගුණාත්මක බව, ආරක්ෂාකාරී බව හා ප්‍රත්‍යක්ෂ බව (Quality, Safety, efficacy) සඳහා වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණ බවත් වෛද්‍ය සැපයුම් අංශයට එය භාරදිය නොහැකි බවත් පවසමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය එහි වගකීම අත්හැර දමා ඇති බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, තමන් සඳහා ලැබුණු අදාළ ඉල්ලීම, විශේෂ ක්‍රමවේදයකට (Special pathway) ඖෂධ ආනයනය කිරීම යටතේ පුර්ව අනුමතියක් සහිතවම වීම හේතුවෙන්, නිසි ඇගයීමක් සිදු නොකර අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සඳහා අවසර ලබාදීමට නොහැකි බැවින් වගකීම බාරනොගත් බව පැවසුහ.

ඒ අනුව මේ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර , එහිදී මාස 3ක් සඳහා හිඟ ඖෂධ ආනයනය කිරීම සඳහා Savorite නමැති පුද්ගලික සමාගම තෝරාගැනීමට උපදෙස් ලබා දීම සිදු කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බව කාරක සභාවට අනාවරණය විය.

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2022 සැප්තැම්බර් 26 දිනැති ව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළ දින සිට ඉදිරි සති 3ක් කාලය තුළ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් ශුන්‍ය මට්ටමකට ළඟාවිය හැකි බව සඳහන් වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් නිලධාරීහු ඖෂධ වර්ග සම්බන්ධයෙන් පවතින දත්ත පද්ධතියෙන් ලබාගත් තොරතුරු අනුව එම තොරතුරු අමාත්‍ය මණ්ඩල සංදේශයට එක් කර ඇති බව පැවසූහ. කෙසේ වෙතත් එලෙස එකවර ඖෂධ වර්ග විශාල සංඛ්‍යාවක් ශුන්‍ය මට්ටමකට ලඟාවීම පිළිගත නොහැකි බවත් එලෙස ශුන්‍ය මට්ටමකට පැමිණෙන තෙක් ආදාළ වගකිව යුතු නිලධාරීන් වගකීම් විරහිත කටයුතු කර ඇති බවත් සභාපතිවරයා මෙහිදී පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා, පෙර ඇණවුම් කර ලැබීමට නියමිතව තිබු ඖෂධ වර්ගද , ශුන්‍ය මට්ටමකට ලඟා වී ඇති ඖෂධ වර්ග ලෙස හුවාදක්වමින් එම ඖෂධ ද ආනයනයට කටයුතු කර ඇති බව ප්‍රකාශ කළේය.

මේ අනුව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කිරීමට සම්බන්ධ වූ නිලධාරීන් කවුද යන්න පිළිබඳව පුර්ණ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම මෙම ඖෂධ වර්ග ආනයනය සම්බන්ධයෙන් පුර්ණ වර්තාවක් කාරක සභාව මගින් සකස් කර පාර්ලිමේන්තුව යොමු කරන බවත් ඉන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ලබන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

පුවත්

විජයදාස ළග සමාව ඉල්ලපු චමුදිත

Published

on

By

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොන්දේසි විරහිතව අද (04) දින සමාව ඉල්ලා සිටියේය.

චමුදිත සමරවීක්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක අපහාසාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්දයෙව් විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද ලද අයදුම්පතකට මෙම සමාව ඉල්ලා සිටියේය.

ඉදිරියේදීත් නිසි තොරතුරු ගවේෂණයකින් තොරව පුද්ගලයන් සම්බන්ධයෙන් අපහාසාත්මක හෝ නොසැලකිලමත්ව කරුණු ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසද අධිකරණය ඔහුට අවවාද කරන ලදී.

Continue Reading

පුවත්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්

Published

on

By

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක්  සිදු කර තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දාස් මහතා ඉකුත් ජුනි 29 සිට ජූලි 02 දක්වා කොළඹ සිටි ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

Continue Reading

පුවත්

හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ් (UPDATE)

Published

on

By


හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔහු අද (04) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


(පෙර පුවත 2025 ජුලි 04 ප.ව.4.33 )

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන් වේ.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණි.


(පෙර පුවත 2025 ජුලි 04 පෙ.ව.10.41 )

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved