නිවෙස්වල සතුන් ඇතිකරන විට නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසත්, සුනඛයන් වැනි සතුන්ගෙන් මහජනතාව අනාරක්ෂිත තත්ත්වයට පත් නොකරන ලෙසත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ ඊයේ (22 වැනිදා) නියෝග කළාය.
කොටහේන, ශ්‍රී සුමිත්‍රරාම මාවතේ නිවසක ඇති කරන ලද සුනඛයකු විසින් පුද්ගලයකුගේ මුහුණක් සපා කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ තරුණියකට තරයේ අවවාද කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.
කොටහේන පොලිසිය වෙත ලද පැමිණිල්ලක් මත අධිකරණය හමුවේ පෙනී සිටි ඩැඩල්ලගේ අචලා මනෝරි නමැති සැකකාරිය රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොටහේන පොලිසියේ සැරයන් (12104) කැලුම් ප්‍රියන්ත කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ පැමිණිලිකාරියගේ සුරතලයට ඇති කරන සුනඛයා පැමිණිලිකාරියගේ යාබද නිවසේ පදිංචි සැකකාරියගේ සුනඛයා විසින් සපා කා ඇති බවයි.
එම අවස්ථාවේදී පැමිණිලිකාරියගේ සුනඛයා බේරා ගැනීමට ඇයගේ පියා පැමිණ ඇති බවත්, ඒ අවස්ථාවේදී සැකකාරියට අයත් තවත් සුනඛයකු වන රොට් වයලට් වර්ගයේ සුනඛයා පැමිණ පියා වන සුදේශ් සිල්වාගේ මුහුණ සපා කා ඉන් අනතුරුව පැමිණිලිකාරියගේ සුනඛයාද සපා ඇතැයි පොලිස් සැරයන් කැලුම් ප්‍රියන්ත අධිකරණය වෙත දන්වා සිටියේය.
අදාළ සුනඛයාගේ පහරකෑමට ලක් වූ පැමිණිලිකාරියගේ පියා ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගෙන ඇතැයි දන්වා සිටි පොලිස් සැරයන් කැලුම් ප්‍රියන්ත, සැකකාරියගේ සුනඛයා සපා කෑමෙන් පැමිණිලිකාරියගේ සුනඛයා මියගිය බව වාර්තාවන බවද අධිකරණයට දන්වා සිටියේය.
මූලාශ්‍රය – අරුණ