Connect with us

විදෙස්

පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව වතිකානය නිල වශයෙන් නිවේදනය කරයි.

Published

on

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්ත්වයක් බව වතිකානය නිල වශයෙන් නිවේදනය කළේ ය.

මේ අතර, වතිකානයේ වැඩ බලන ප්‍රධානි හෙවත් කැමර්ලෙන්ගෝවරයා ලෙස කාදිනල් කෙවින් ෆැරල් නම් කර තිබෙනවා.

ලොවපුරා කතෝලිකයින්ගේ දෘෂ්‍යමාන නායකයාණන් සහ එඩේරාණන් වන අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඊයේ පෙරවරුවේ ස්වර්ගස්ථ විය.

උන්වහන්සේගේ වයස අවුරුදු 88 කි.වතිකාන වේලාවෙන් ඊයේ උදෑසන 7.35 ට පමණ උන්වහන්සේ ස්වර්ගස්ථ වුණේ, කාසා සැන්ටා මාර්තා හී පිහිටි උන්වහන්සේගේ නිවසේදී ය.

ශුද්ධෝත්තම හිමිපාණන්ගේ වියෝව සැලවීමත් සමග ලොව පුරා විශාල පිරිසක් වතිකානයට රැස්වෙමින් සිටී.

ලොව පුරා කතෝලික ජනතාව මේ වන විට ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් වෙනුවෙන් යාච්ඤා මෙහෙයන්වල නිරත වෙයි.

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබේ.පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණ ඊයේ රාත්‍රියේදී නිවා දැමීමට තීරණය කළ බවය.

මේ අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

සාම්ප්‍රදායානූකූලව සුදතුම් හිමිපාණන් නවාතැන් ගෙන සිටි කාසා සැන්ටා මාර්තා හී පිහිටි උන්වහන්සේගේ නිවස ඊයේ පස්වරුවේ මුද්‍රා තැබුණි. ඒ, කැමරලින්ගෝවරයා ලෙස හැදින්වෙන කාදිනල්වරයෙකු විසින් ය.

මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා රෝමයේ පිහිටි සාන්ත මරියා මැජෝරි දේවස්ථානය සූදානම් කරමින් පවතියි. ඒ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමියන්ගේ අවසන් කැමැත්තට අනුවයි.

රෝමයේ සාන්ත මරියා මැජෝරි දේවස්ථානය උන්වහන්සේගේ ජීවිත කාලය තුළ සුවිශේෂි දේවස්ථානයක් ලෙස උන්වහන්සේ හඳුන්වා දී තිබේ.

පාප්වහන්සේ කෙනෙකුගේ අවසන් කටයුතු වතිකානයෙන් පිටත සිදුකෙරෙන්නේ වසර 100 කට පමණ පසුව වීමද විශේෂත්වයකි.

මීට පෙර පාප්වහන්සේලාගේ අවසන් කටයුතු වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ විශේෂ පීඨිකාවකදී සිදුකෙරිණ‍.

උන්වහන්සේ සිය අවසන් කැමැත්තේ සදහන් කර ඇති ආකාරයට අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සාම්ප්‍රදායික අවසන් කටයුතු සිදුවන ආකාරයෙන් බැහැරව සරල සහ චාම් අවමංගල්‍ය උත්සවයක් පවත්වන්නැයි පාප්වහන්සේ ඉල්ලා ඇති බවයි.

සයිප්‍රස්, ඊයම් සහ ඕක් වලින් සාදන ලද කූඩු කළ පෙට්ටියක පාප්වහන්සේගේ දේහය තැන්පත් කිරීම සම්ප්‍රදාය වුවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සරල පෙට්ටියක තමන් තැන්පත් කරන ලෙස කල ඉල්ලීම අනුව ක්‍රියාකිරීමට වතිකානය මේ වනවිට පියවර ගෙන තිබේ. මහජන දර්ශනය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ උස් වේදිකාවක් මත දේහය තැබීමේ සම්ප්‍රදාය ද ඉවත් කරන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කර තිබේ.

ශ්වසන ආබාධයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 14 වැනිදා ශුද්ධෝත්තම හිමිපාණන් රෝහල්ගත කෙරු ණි. උන්වහන්සේ යළි වතිකානයට පැමිණියේ, දින 38 ක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි.

වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු ඉරිදා දින දේව මෙහෙයට ශුද්ධෝත්තම හිමිපාණන් ඊයේ සහභාගී විය. එය, උන්වහන්සේ අවසන් වරට ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාවයි.

පාස්කු ඉරිදා දේව මෙහෙයට එක්වූ ශුද්ධෝත්තම හිමිපාණන් අවසන් වරට ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියේ, ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙසයි.

ශුද්ධෝත්තම පාප්වහන්සේ පෙරේදා ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස්ද හමුවී තිබුණි.

නියුමෝනියා තත්ත්වයෙන් පීඩාවිද ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේට විවේක සුවයෙන් කාලය ගතකරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබාදී තිබුණි. නමුත් ශුද්ධෝත්තම පියතුමා රෝගී තත්ත්වයද නොතකා සිය මෙහෙවර වෙනුවෙන් පසුගිය දින කිහිපයේ වෙහෙස වුණි.

මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසුව නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිත ය. ඒ කාදිනල්වරුන් 135 දෙනෙකු පමණ සහභාගීව, වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සිස්ටයින් දේවස්ථානයේ පැවැත්වෙන රහස් ඡන්දයකින් ය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

විදෙස්

මේ මාසයේදී ඇෆ්ගන් ජාතිකයන් 19,500ක් පාකිස්තානයෙන් පිටුවහල් කරලා!

Published

on

By

පාකිස්තානය විසින් අප්‍රේල් මාසය තුළදී මේ දක්වා එරට නීතිවිරෝධීව රැඳී සිටි ඇෆ්ගන් ජාතිකයන් 19,500 කට වැඩි පිරිසක් පිටුවහල් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

අප්‍රේල් මස 30දාට පෙර පාකිස්තානයෙන් පිටව යන ලෙස එරට බලධාරීන් සිදුකර ඇති දැනුම් දීම මත මේ වනවිට 80,000ක් පමණ මේ දක්වා එරටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

දිනකට ඇෆ්ගන් පවුල් 700ක් – 800ක් පමණ පාකිස්තානයෙන් මෙලෙස පිටුවහල් කෙරෙන බව තලෙයිබාන් බලධාරීන් පවසා ඇත.

බීබීසී ලෝක සේවය වාර්තා කර ඇත්තේ ඉදිරි මාස කිහිපය තුළ මෙලෙස පිටුවහල් කරන පිරිස මිලියන 02ක් දක්වා ඉහළ යා හැකි බවයි.

තලෙයිබාන් බලධාරීන් හා සාකච්ඡා පැවැත්වීමට පකිස්තානු විදේශ අමාත්‍ය – ඉෂාක් ඩාර් ඊයේ දින කාබුල් වෙත ගොස් තිබුණු අතර, එහිදී ඇෆ්ගනිස්තාන් විදේශ අමාත්‍යවරයා වන අමීර් ඛාන් මුත්තකිද මෙම පිටුවහල් කිරීම් පිළිබඳව “ගැඹුරු කනස්සල්ල” පළ කර තිබුණි.

මෙලෙස පිටුවහල් කෙරුනු ඇතැම් ඇෆ්ගන් ජාතිකයන් පවසා ඇත්තේ යුද ප්‍රහාර හේතුවෙන් සිය දෙමාපියන් පාකිස්තානයට පළා යාමෙන් අනතුරුව තමන් පාකිස්තානයේ උපත ලැබුවන් බවයි.

2021 දී ඇෆ්ගනිස්තානය තලේබාන් ආදිපත්‍යය යටතට පත්වීමෙන් අනතුරුව පාකිස්තානයට පළාගිය 700,000 ක් පමණ ජනකායක් ඇතුළුව, මිලියන 3.5 කට අධික ඇෆ්ගන් ජාතිකයින් පිරිසක් පාකිස්තානයේ ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයිත

ඔවුන්ගෙන් අඩකට අධික පිරිසක් නීත්‍යානුකූල ලිපිලේඛන ද නොමැතිව නීතිවිරෝධීව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි.

Continue Reading

විදෙස්

කොලොම්බියාවේ  කහ උණ වසංගතයක්

Published

on

By

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වනවිට රෝගීන් 74ක් වාර්තා වී ඇති අතර, ඉන් 34ක්ම මියගොස් ඇත.

පවතින අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමෝ පළාතටය.

ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට පියවර ගෙන ඇත.

කහ උණ ආසාදනය වන්නේ ආසාදිත මදුරු දෂ්ටනයෙන් මිනිසා වෙත සම්ප්‍රේෂණය කෙරෙන වෛරසයක් මගින්ය.

කෙසේ නමුත් එන්නත්කරණයෙන් මෙම කහ උණ ආසාදනයවීම වළක්වා ගැනීමේ හැකියාව ඇත.

ඒ අනුව පාස්කු නිවාඩුවට පෙර එන්නත්කරණයට ලක්වන ලෙසට එරට බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී තිබේ.

කහ උණ රෝග ලක්ෂණ අනෙකුත් උණ රෝගී තත්ත්වයන්ට බොහෝ සෙයින් සමාන වීම හේතුවෙන් කහ උණ ආසාදිතයෙකු හඳුනා ගැනීම තරමක් අසීරු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කහ උණ ආසාදිතයින් බහුතරයක් එහි පළමු අදියරයේ දී ඉන් සුවය ලබයි.

කෙසේ වුවද සියයට 15ක පමණ ආසාදිතයින් පිරිසක් උග්‍ර කහ උණ රෝගී තත්ත්වයට මුහුණ දෙන අතර, ඉන් අඩක් දින 10ත් 14ත් අතර කාලයක දී මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved