Connect with us

පුවත්

විකිරණ යන්ත්‍රය ඇණහිටීමෙන් ගාල්ලේ පිළිකා රෝගීන් විශාල අර්බුදයක

Published

on

ගාල්ල ජාතික රෝහලේ පිලිකා ඒකකයේ ලීනියර් ඇක්සලරේටර් පිලිකා විකිරණ ප්‍රතිකාර කටයුතු ඇණහිට ඇති බව වාර්තා වේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් පෙන්වා දෙන්නේ  දිවයින පුරා රෝහල් වල තිබෙන යන්ත්‍ර දහයෙන් තවත් 4ක් අර්බුදයේ පවතින බවය.

පසුගිය බදාදා  සිට (23.04.2025) ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර සිදු කරන ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කලේ මීට හේතු වී ඇත්තේ යන්ත්‍රය ස්ථාපනය කර තිබෙන ඒකකයේ සිසිලන පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂය බවය.

සම්පූර්ණ දකුණු පළාතටම තිබෙන එකම විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මෙම රෝහලේ ස්ථාපනය කර තිබෙන අතර මෙම තත්ත්වය හේතුවෙන් ඉතා විශාල රෝගීන් ප්‍රමාණයකගේ පිළිකා තත්ත්වයන් සඳහා වන විකිරණ ප්‍රතිකාර  සම්පූර්ණයෙන්ම අඩපණ වීී ඇත.

නවීන තාක්ෂණයෙන් යුතු වූ ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය සඳහා උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ යුතු අතර ඒ සඳහා වායු සමීකරණ යන්ත්‍ර සහ සිසිලන යන්ත්‍ර (Chiller) භාවිතා කරනු ලැබේ. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව ප්‍රශස්ත මට්ටමේ නොපවතින්නේ නම් යන්ත්‍රයෙන් ප්‍රතිකාර කටයුතු සිදුකළ නොහැකි වේ. මේ වන විට ලීනියර්  ඇක්සලරේට යන්ත්‍රයක වටිනාකම රුපියල් කෝටි 80 කට ආසන්න වෙයි.

ලංකාවේ රෝහල් පද්ධතිය තුළ ඊනියා ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 10 ක් රෝගීන්ට ප්‍රතිකාර කටයුතු සඳහා ස්ථාපනය කර තිබෙන අතර ඉන්
අපේක්ෂා රෝහලේ යන්ත්‍ර 5ක්, මහනුවර ජාතික රෝහලේ යන්ත්‍ර 2ක් සහ ගාල්ල ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල , මඩකලපුව ශික්ෂණ රෝහල යන රෝහල්වල යන්ත්‍ර එක බැගින් ස්ථාපනය කර ඇත.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් සඳහන් කරන පරිදි මේ වනවිට එම යන්ත්‍ර වලින් අපේක්ෂා රෝහලේ යන්ත්‍ර 1 , මඩකලපුව ශික්ෂණ රෝහල සහ යාපනයේ ශික්ෂණ රෝහල යන රෝහල් දෙකෙහි තිබෙන යන්ත්‍රද එම යන්ත්‍ර ස්ථාපනය කර තිබෙන ගොඩනැගිලිවල වායු සමීකරණ සහ සිසිලන පද්ධතියේ තිබෙන දෝෂ හේතුවෙන් බරපතල අර්බුදයන්ට ලක්වී ඇත.

එම යන්ත්‍ර පසුගිය කාලය පුරාම දිගින් දිගටම වරින් වර බිඳ වැටීම දැකිය හැකි විය.

මෙම බිඳ වැටීම් සඳහා  හේතු වී ඇත්තේ එම යන්ත්‍ර සඳහා උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව නිසි තත්ත්වයේ පවත්වා නොගැනීමයි. මෙම තත්ත්වය හේතුවෙන් යන්ත්‍රවල කල්පැවැත්ම බලවත් තර්ජනයට ලක් වී ඇති අතරම වරින් වර බිඳ වැටීමහේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුද අඛණ්ඩව පවත්වාගතත නොහැකිව වරින් වර නවතා දැමීමට සිදුවී ඇත.

මෙම යන්ත්‍රවල තිබෙන දෝෂයන් සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් නිසි පරිදි දැනුවත් කර ඇතත් එම සිසිලන පද්ධතිය සහ වායු සමීකරණ පද්ධතියේ නඩත්තුව සහ සේවා සැපයීම මේ වන විටත් නිසි පරිදි සිදු කිරීමට අදාල බලධාරීන් අපොහොසත් වී ඇති බව පවසන රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් ඉතා ඉහළ මිලකින් යුතු මෙම නවීන යන්ත්‍ර වල ආයු කාලය අඩුවන අතර රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුද අඛන්ඩව පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවය. විකිරණ ප්‍රතිකාර සඳහා පිළිකා රෝගීන් මාස කීපයක පොරොත්තු ලේඛනවලද රැදී සිටින අතර මෙම වරින් වර යන්ත්‍ර බිඳ වැටීම් හමුවේ එම පොරොත්තු ලේඛන තවදුරටත් ප්‍රමාද වෙන තත්ත්වයක් මේ සමඟ නිර්මාණය වී තිබේ.

රෝගීන්ට විකිරණ ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීම සඳහා ලක්ෂ 5 සිට 17 ක මුදලක් වැය කිරීමට සිදුවන අතර එය මේ රටේ සිටින බහුතර පිලිකා රෝගී ජනතාවකට දැරිය හැකි මට්ටමක නොපවතින්නකි.

පුවත්

ජනපති ජර්මානු නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යයි

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier)  ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු නිල සංචාරයේ නිරත වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපති, චාන්සලර්, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන  නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන ශක්‍යතාවයන් සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.

තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන් මෙන්ම ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ද හමුවීමට නියමිතය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වෙති.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

කාලගුණයෙන් රතු නිවේදනයක්

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.

හෙට (11) දින ප.ව. 02.30 වන තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන ලෙස මෙම නිවේදනයෙන් දැනුම් දී තිබේ.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60–70) පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

ජපානයේ සිටින ලාංකේයන් වෙනුවෙන් ජංගම කොන්සියුලර් වැඩසටහනක්

Published

on

By

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  අශිකගා-තොචිගි හා අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාවට සේවය සැපයීමේ අරමුණින්  අශිකගා ප්‍රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා (07)  ජපානයේ  ශ්‍රී ලංකා  තානාපති  මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙහි දී තානාපති කාර්යාලය මගින් සිදු කරන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීම, රියදුරු බලපත්‍ර යාවත්කාලීන කිරීම, දිවුරුම් ප්‍රකාශ නිකුත් කිරීම, ඇටෝනි බලපත්‍ර සහතික කිරීම ඇතුළු අත්‍යාවශ්‍ය කොන්සියුලර් සේවා සහ වෙනත් සහය සේවාවන් රැසක් ජපානය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් සපයන ලද අතර ප්‍රදේශවාසී ශ්‍රී ලාංකිකයෝ විශාල සංඛ්‍යාවක් මෙම සේවාව හා එක් වී සිය අවශ්‍යතා ඉටුකර ගත්හ.

තොචිගි ඔහානා සංවිධානය විසින් සංවිධානය කළ මෙම ජංගම කොන්සියුලර් සේවයට සමගාමීව වෙසක් සහ පොසොන් පොහොය සැමරුම්  “වෙසක් කලාපය” පැවැත්විණි. ඊට ප්‍රදේශවාසී ලාංකිකයන් හා ජපන් ජාතිකයන් එක්ව නිර්මාණය කරන ලද අලංකාර වෙසක් පහන් කූඩු 600 කට අධික ප්‍රමාණයක් සැරසිලි සඳහා එක් කර තිබුණි.ඊට අතිරේකව ලාංකික  සංස්කෘතිකාංග වලින් සමන්විත වූ ප්‍රාසාංගික ඉසව් රැසකින්  ද  මෙම වෙසක් කලාපය වර්ණවත් විය. උත්සවයේ වැදගත් අංගයක් ලෙස පැවති ළමා චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය කළ දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය හා සහභාගීත්වය අගය කරමින් වටිනා පාසල් බෑග් තිළිණ ලෙස ප්‍රදානය කෙරිණ.

මෙම වෙසක් කලාපය හා සංස්කෘතික ප්‍රසංගය තුළින් මෙරට වෙසක් සංස්කෘතිකාංග ජපන් ජාතිකයන්ට හා ජපාන වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට හඳුනාගැනීමට කදිම අවස්ථාවක් ලද බව ජපානයේ  ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පැවසීය.

එම අවස්ථාවේ  ආගමික වතාවත් පැවැත්වීමට තොචිගි පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති  අතිපූජ්‍ය මාවතරේ චන්දිම හිමියෝ හා සයිතමා කුමගයා අනඳමෙත් විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නාරවිල විජයවංශ හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved