Connect with us

පුවත්

ජනපතිගේ මීළඟ විදෙස් සංචාරය වියට්නාමයට

Published

on

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කරගනිමින් ජනාධිපතිවරයා මැයි 3 වන දින සිට මැයි 6 වන දා දක්වා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිත බවය.

මේ අතර වියට්නාමයේ දී ජනාධිපතිවරයා විසින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත අතර, එම යෝජනා ඊයේ (28) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ බව ද පැවසීය.

අමාත්‍ය මණ්ඩලයේ දී අනුමැතිය හිමිවූ අදාළ ගිවිසුම් පහතින් දැක්වේ.

* ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුම

සංකීර්ණ සමකාලීන ලෝකයේ එකිනෙකා සමඟ සමීප ව සම්බන්ධ වී ඇති ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු සඳහා නව්‍ය අදහස් සහ මත ලබා ගැනීමේ අරමුණ සහිතව පොදුවේ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගිතාවක් පවත්වා ගැනීම සඳහා ආයතනික සබඳතා ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්‍ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර එකඟතාවකට පැමිණ ඇත.

ඒ සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජිත අතර එමඟින් විශේෂඥතාව බෙදා ගැනීම, රාජ්‍යතාන්ත්‍රිකයින්, විද්වතුන්, නිලධාරින්, විශේෂඥයින් සහ පර්යේෂකයින් හුවමාරු කර ගැනීම මෙන්ම අධ්‍යයන හා පර්යේෂණ වැඩසටහන්, විවිධ පාඨමාලා, සම්මන්ත්‍රණ, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ අනෙකුත් අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම්වලට අදාළ විශේෂඥතාව සංවිධානය කිරීම සහ හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත ය.

ඒ අනුව, වසර තුනක (03) කාලයක් සඳහා වලංගු වන අවබෝධතා ගිවිසුමකට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

*ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) අලුත්කිරීම.

දෙරට අතර විදුලි යන්ත්‍රෝපකරණ සහ උපකරණ නිෂ්පාදනය ඇතුළු යාන්ත්‍රික උපකරණ සහ යාන්ත්‍රික උපකරණ අංශයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එවකට කර්මාන්ත විෂයභාර අමාත්‍යාංශය සහ වියට්නාම සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට 2011 වර්ෂයේදී අත්සන් තබා ඇත.

2019 වර්ෂයේදී දෙරට අතර පැවති වෙළඳාම පිළිබඳ අනුකමිටුවේ දෙවන රැස්වීමේදී එකී අවබෝධතා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව, දියුණු තාක්ෂණයන් හුවමාරු කිරීමට පහසුකම් සැලසීමෙන් සහ දේශීය පාර්ශ්වකරුවන් සඳහා පුහුණුව සහ ධාරිතා ගොඩනැංවීමේ කටයුතු සඳහා ප්‍රවේශය ලබා දෙමින් සංශෝධන ඇතුළත් කොට යාවත්කාලීන කරන ලද යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

*වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය (VTETRADE) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම.

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර වෙළෙඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත.

දෙපාර්ශ්වයට අදාළ වෙළෙඳාම පිළිබඳ තොරතුරු සහ වෙළෙඳපොළ බුද්ධිය හුවමාරු කර ගැනීම, දෙරටේම පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශන, ප්‍රදර්ශන සහ ප්‍රවර්ධන අවස්ථා සඳහා ඒකාබද්ධ සහභාගිත්වය සහ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් අතර රැස්වීම් සංවිධානය කිරීම ඇතුළු පුළුල් පරාසයක වෙළෙඳ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා මෙම අවබෝධතා ගිවිසුම යටතේ අවකාශ සැලසේ.

මෙම සහයෝගිතාව මඟින් විශේෂයෙන් සැකසූ ආහාර, ධීවර කටයුතු, ඇඟලුම් සහ අගය එකතු කළ කෘෂිකර්මාන්තයට සැලකිය යුතු වෙළෙඳපොළ අවස්ථාවන් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ එකඟතාව ලැබී ඇත.

ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුම වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුවත්

අභියාචනාධිකරණ විනිසුරු පත්වීම් 02කට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Published

on

By

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ නිර්දේශ මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යොමු කරන ලද එම නාමයෝජනා සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන් අභියාචනාධිකරණයේ විනිසුරුවැන් ලෙස පත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට සිදුකළ යෝජනාව ව්‍යවස්ථා සභාවේ දී සලකා බලා නොමැති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනක් තවමත් හිස්ව නොතිබීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් සිදුකර තිබූ නාම යෝජනාව ආණ්ඩු පාර්ශවය විසින් ඉල්ලා අස්කරගෙන ඇති බව සඳහන් වේ.

පසුගිය මාර්තු මස 11 වනදා ද අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් තිදෙනෙකු පත්වීම් ලැබීය.

(අද දෙරණ)

Continue Reading

පුවත්

ජර්මනියේ නිල සංචාරයෙන් පසුව ජනපති යළි දිවයිනට

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier), ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul) සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) යන මහත්ම මහත්මීන් හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී  රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථික, ආයෝජන සහ වෘත්තීය පුහුණු ආදී ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සොයා බැලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මීට අමතරව, ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකටද සහභාගී විය.

ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් එම සංගම් මුලස්ථානයේදී (DIHK) සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසදයට සහභාගී වූ ජනාධිපති අනුර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද සිදු කළේය.

ජනාධිපතිවරයා සිය නිල සංචාරය අතරතුර ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද කටයුතු කළේය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරටට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිසක්, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබේ.

ඔවුන් මෙරටට පැමිණ තිබුණේ කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙනි.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම:ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති මෙම අවස්ථාවේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිත ය.

මෙම සංචාරයේ දී, ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳ ව  ශ්‍රී ලංකා බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂිකාව අපේක්ෂා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved