Connect with us

පුවත්

මීඩියා IDඑක පහුගිය අවුරුද්දේ හමුදාවට හා පොලිසියටත් දීලා!

Published

on

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දෙන මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු ව තිබේ.

පසුගිය අප්‍රේල් 29 වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවසාන භාගයේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන් සමග පමණක් ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.

එහිදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර ඊට ප්‍රතිචාර දෙමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, සියලු මාධ්‍යවේදීන්ට එම මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා ගන්නා ලෙස ය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ සංවිධාන රැසක් විරෝධය පළ කර තිබේ.

ඇමැති කිව්වේ දේ…

“මම මෙතන ඉන්නේ කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීරණ ඔබට දැනුම්දීමටත්, ඊට අමතරව කැබිනට් පත්‍රිකා මත ප්‍රශ්නයක් එනවා නම් හරි, ඊට අමතරව අත්‍යවශ්‍ය ප්‍රශ්න කිහිපයක් සඳහා උත්තර දෙන්න. ඒ වගේම මම හිතනවා අපි මේක තව විධිමත් කරගත යුතුයි කියලා. විශේෂයෙන් ම දැන් අපි මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අපි ඒ මාධ්‍ය හැඳුනුම්පත සහිත අය එක්ක තමයි මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ,” යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ය.

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර, ඔවුන් කියා සිටියේ මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට අයදුම් කළ විට එම තොරතුරු ආරක්ෂක අමාත්‍යංශය වෙත යවා නිෂ්කාශනයක් ලබා ගන්නා බවත් එය ප්‍රමාද වීමෙන් හැඳුනුම්පත ලබාගැනීමට නොහැකි අවස්ථා ද වන බවත් ය.

එලෙස මාධ්‍යවේදීන් අදහස් දක්වන අතරතුරේ නැවතත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍ය මර්දනයක් හෝ එවැනි දෙයක් සිදුනොවන බවත් සියලුදෙනා ම එම හැඳුනුම්පත ලබා ගත යුතු බවත් ය.

“කිසිම ආකාරයක මර්දනයක් සිද්ධ වෙන්නේ නෑ. ඔබ කවුරුත් අයිඩෙන්ටි පාවිච්චි කරන අය. කවුරුත් ඩ්‍රයිවින් ලයිසන් පාවිච්චි කරන අය. කවුරුත් පාස්පෝට් පත් කරන අය. ඒ වගේ ම රජයෙන් ඉල්ලුම් කරන ඔබ සියලුදෙනාටම මාධ්‍ය හැඳුනුම්පතක් ලබා දෙනවා. කරුණාකරලා ඒක ගන්න. මොකද මතක තියාගන්න මීට කලින් මේ තීන්දුව ගත යුතුව තිබුණා,” ඔහු පැවසීය.

අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මෙම හැඳුනුම්පත මත පදනම් ව මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ රජය කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත්, ඒ සඳහා අනුගත වන ලෙසත් ය.

“අපි රජය හැටියට ඒ මාධ්‍ය හැඳුනුම්පතට වටිනාකමක් ලබා දෙනවා. ඒකට අවශ්‍ය ගරුත්වය ලබා දෙනවා. ඒ මත පදනම් වෙලා මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධව අපි කටයුතු කරනවා. ඒකට අනුගත වෙන්න කියන ඉල්ලීම අපි කරනවා,” ඔහු අවසන් වශයෙන් පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැඳුනුම්පත හා එහි නීතිමය පසුබිම

ශ්‍රී ලංකාව තුළ ජනමාධ්‍යවේදීන් සඳහා වූ හැඳුනුම්පත නිකුත් කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්, නිසි බලධරයා ලෙස කටයුතු කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව ය.

ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවල සේවය කරන කැමරා ශිල්පීන්, කාර්මික අංශ ශිල්පීන් ද ඇතුළත් ව, සෑම වසරකම 6,000කට ආසන්න පිරිසකට මෙම හැඳුනුම්පත් නිකුත් කරන කරනු ලබයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 2022 වසරේදී කරුණු විමසීමක් සිදු කළේ ය.

ඊට පිළිතුරු ලබා දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා තිබුණේ, දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් නිකුත් කරනු ලබන්නේ එහි වාර්ෂික සැලැස්ම යටතේ ජනමාධ්‍ය කේෂ්ත්‍රය වෙනුවෙන් කරන මෙහෙවරක් ලෙස බව ය.

එමෙන්ම, ජනමාධ්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ගැසට් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා නිකුත් කරනු ලැබුවේ කුමන නීතියක් යටතේ ද යන්න එහිදී ප්‍රශ්න කර තිබුණි.

ඊට පිළිතුරු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම ගැසට් නිවේදනය නිකුත් කරනුයේ ව්‍යවස්ථාපිත නීතියකට අනුව නොව ඔවුන්ගේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අනුමත කාර්ය පටිපාටිය යටතේ බව ය.

‘මේ ක්‍රමවේදය වැරදියි’

බීබීසී සිංහල විසින් සිදුකරනු ලැබූ විමසීමකදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පැවසුවේ මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බවය.

“ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් රජයෙන් නිකුත් කළ යුතු නෑ. නමුත් ශ්‍රී ලංකාවේ සිදුවෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් තමයි හැඳුනුම්පතක් නිකුත් කරන්නනේ. සමහර රටවල්වල මාධ්‍ය ආයතනවලින් හැඳුනුම්පත් නිකුත් කරනවා. සමහර රටවල්වල මාධ්‍ය සංවිධානවලින් හැඳුනුම්පතක් නිකුත් කරනවා. ලංකාවේ ජනමාධ්‍යවේදීන් සම්බන්ධ වරලත් ආයතනයක් නෑ,” ඔහු පවසයි.

“ලංකාවේ දැනට තියෙන ක්‍රමය තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පතක් නිකුත් කරන එක. මේ හැඳුනුම්පත එන්නේ නීතියක් යටතේ නෙවෙයි, ආයතනය ගත්ත තීන්දුවක් අනුව. ඒකට කිසිම වලංගු භාවයකුත් නෑ. ඒ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපට ලිඛිතව දැනුම්දීලා තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය වැරදියි.”

ඔහු පෙන්වා දෙන්නේ ඇමතිවරයා විසින් මතුකරන ප්‍රශ්නයට අදාළ වන්නේ මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බව ය. එය දෙපාර්ශවයේම වෘත්තීයභාවය සම්බන්ධ ප්‍රශ්නයක් බව ඔහු පවසයි.

“දැන් මේ ප්‍රශ්නය මතුවුනේ කැබිනට් ප්‍රෙස් එක හින්දා. ඇමතිවරයා මෙහෙම කියන්නේ මාධ්‍යවේදීන් ප්‍රශ්න අහන හින්දනේ. ප්‍රශ්න අහන හැමෝටම වගේ ඔය කියන හැඳුනුම්පත තියෙනවා. එතකොට තියෙන්නේ හැඳුනුම්පතේ ප්‍රශ්නයක් නොවෙයි, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් සහ ඇමතිවරයා ප්‍රශ්නවලට උත්තර දුන්න විදිහේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ,” ඔහු පැවසුවේ ය.

එමෙන් ම රජය විසින් මෙලෙස මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ මත දරන නිසා, එලෙස ලබා ගැනීමට අකමැති මාධ්‍යවේදීන්ට මෙවැනි අනිවාර්යකිරීමක් හරහා අසාධාරණයක් සිදුවන බව ඔහු පවසයි.

“සමහර මාධ්‍යවේදීන් ඉන්නවා රජයෙන් හැඳුනුම්පත ගන්නේ නෑ.රජය එහෙම හැඳුනුම්පතක් දෙන්න අවශ්‍ය නෑ, ඒක වැරදී කියලා හිතෙන නිසා ගන්නේ නෑ. එතකොට ඒ වගේ අයට ඔය තීන්දුවෙන් වෙන්නේ ලොකු අසාධාරණයක්.”

තවද රජය විසින් නිකුත් කරන මෙම හැඳුනුම්පත මාධ්‍යවේදීන් නොවන පිරිස්වලට ද ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඔය හැඳුනුම්පත තියෙන හැමෝම ජනමාධ්‍යවේදීන් නෙවෙයි. පහුගිය අවුරුද්දේ අන්තිම වෙද්දී රජයේ හමුදාවල සෑහෙන්න පිරිසකට ඔය හැඳුනුම්පත තිබුණා. පොලිසියේ අයට හැඳුනුම්පත් දීලා තිබුණා. ඒ නිසා හැඳුනුම්පතේ ප්‍රශ්නය හරිම අසාධාරණ ප්‍රශ්නයක්.”

‘ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි’

මෙලෙස ජනමාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම සහ එය නොමැති මාධ්‍යවේදීන්ට සීමා පැමිණවීම මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සිදුකරන බලපෑමක් බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පෙන්වා දෙයි.

“කැබිනට් මාධ්‍ය හමුව තමයි රජයේ ප්‍රධාන ම මාධ්‍ය හමුව. ඒ මාධ්‍ය හමුවේදී ඉස්සර ඉඳන් ම ජනමාධ්‍යවේදීන් ගිහින් ප්‍රශ්න අහනවා. ජාතික වැදගත්කමක් තියෙන ගොඩක් දේවල් ගැන අහලා තියෙනවා,” ඔහු පැවසුවේ ය.

එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ බොහෝ විෂය භාර ඇමතිවරුන් නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මාධ්‍යවේදීන් යම් යම් දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇති එක ම අවස්ථාව මෙම මාධ්‍ය හමුව බව ය.

“අනිත් ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි. ඒ ප්‍රශ්නවලට දෙන උත්තරවලින් තමයි මිනිස්සු ගොඩක් දේවල් දැනගන්නේ. එහෙම නැතිනම් සාමාන්‍යයෙන් වෙන්නේ කැබිනට් තීන්දු ගැන කිව්වා කියලා තේරුමක් නෑනේ. ඒක වෙබ් එකටත් දානවනේ.”

ඔහු පවසන්නේ ජනමාධ්‍යවේදීන්ගේ “වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඇසීම සීමා කරනවා නම් හෝ ප්‍රශ්න අහන ජනමාධ්‍යවේදීන්ට එන්න නොදෙනවා නම් එය තොරතුරු දැනගැනීමේ අයිතිය සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය කියන දෙකම උල්ලංඝණය කිරීමක්,” බව ය.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් එයට කළ යුතු වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින පාර්ශවකරුවන් විසින් ඒ සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් ගොඩ නැගීම පමණක් මිස හැඳුනුම්පත අනිවාර්ය කිරීම නොවන බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පැවසුවේ ය.

“ජනමාධ්‍ය සංවිධාන එකතුවෙලා, ජනමාධ්‍යට සම්බන්ධ සියලු ආයතන සම්බන්ධ කරගෙන ජනමාධ්‍යවේදීන් සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවන්න ඕනේ. ඒක හදන්න ඕනේ ජනමාධ්‍ය සමාජය විසින්. එහෙම හදන යාන්ත්‍රණයට නෛතික පිළිගැනීමක් දෙන්න රජයට පුළුවන්. මම හිතන්නේ ඒක තමයි ඉක්මනින් ම කරන්න ඕනේ. මේ ප්‍රශ්නයන මතුවුණ වෙලාවේ ම ඒක කරගන්න පුළුවන්නම් හොඳයි,” ඔහු පැවසුවේ ය.

| BBC සිංහල සේවය

පුවත්

ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයට එකඟ වෙයි

Published

on

By

ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් තහවුරු කර තිබේ.

ඒ එරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින්.

මේ අතර,,ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සටන් විරාමය ආරම්භ වී ඇති බවයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර, සටන් විරාමය  ක්‍රියාත්මක බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් පවසා තිබූ පසුබමක ෙදෙරට එම සටන් විරාමයට එකඟතාවය පළ කර තිබේ.

Continue Reading

පුවත්

අගමැතිනිය කැනඩාවට

Published

on

By

උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස මෙලස කැනඩාව බලා පිටත්ව ගි⁣යා ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හිදී පැවැත් වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය,  ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ  විශේෂ අවධානයක් යොමු කෙරේ.

එසේම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන  කරුණු පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා කිරීමට නියමිතය. 

Continue Reading

පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

Published

on

By

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුනි 23 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පිළිගත් අතර මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) සමඟ ඵලදායී ලෙස සහ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට රජයේ කැපවීම පිළිබඳව සිහිපත් කළාය. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පරිවර්ථනය පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ ඇය, සියලු ප්‍රජාවන්ගෙන් ලැබුණු ඓතිහාසික ජනවරම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් පිළිබිඹු කරන බවද සඳහන් කළාය.

ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම සහ අවශ්‍ය සමාජ පරිවර්තනය මෙන්ම ආයතනික වෙනස්කම් සමඟ නීතිමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම යන ප්‍රධාන සාධක තුනක් කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. සමාජයීය, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ ආර්ථික අයිතිවාසිකම් ඇතුළුව මානව හිමිකම්වල සම්පූර්ණ ව්‍යුහමය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා රජය කැපවී ක්‍රියා කරන බව ඇය නැවත අවධාරණය කළාය. අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) වැනි දේශීය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සඳහා සහාය වන බවද ඇය අවධාරණය කළාය.

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මැදිහත්වීම මහ කොමසාරිස්වරයා අගය කළ අතර මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ජාතික සංහිඳියාව ඉදිරියට ගෙන යාමේදී ද්විපාර්ශවික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද විශේෂයෙන් සඳහන් කලේය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් තවත් නිලධාරීන් පිරිසක්ද සහභාගී විය. ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ විදේශ කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ඇතුළත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved