Connect with us

පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ් (Update)

Published

on

අල්ලස් කොමිසම විසින් ‘දූෂණය’ නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (07) නියෝග කළාය. 

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ මෙම සැකකරු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

එම අවස්ථාවේදී තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ දෙදෙනෙකුට පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කරන ලෙස මෙම සැකකරු විසින් උපදෙස් ලබා දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි එම නිලධාරීන් පැවසීය.

පසුව පුද්ගලයින් පස් දෙනෙකුගේ නම් නාමිකව සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට ලැබෙන වැටුප්, දීමනා හා අතිකාල දීමනා මෙම සැකකරුගේ උපදෙස් මත  පිළිමතලාව ප්‍රදේශයේ අදාළ පෞද්ගලික බැංකුවක විවෘත කරන ලද ගිණුමට යොමුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත.

පසුව  මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 15 දෙනෙකුගේ ගිණුම්වලට මුදල් ප්‍රේක්ෂණය කරන ලෙස මෙම සැකකරුගේ උපදෙස් මත පිළිමතලාව බැංකු ශාඛාවට ස්ථාවර නියෝග ලබාදී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසීය.

මෙසේ මුදල් ලබාගත් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සැකකරුගේ ආධාරකරුවන් මෙන්ම හිතවතුන් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සඳහන් කර සිටියේ මේ ආකාරයෙන් අදාළ ගිණුමේ මුදල් ලබාගෙන මෙම සැකකරු සිය ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවා ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.

හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව ඇතුළත් කරන ලද පුද්ගලයින් පස්දෙනා කැඳවා ප්‍රශ්න කළ බවත් තමන් සැකකරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එවැනි රැකියාවක් කර නොමැති බව ප්‍රකාශ කළ අතර එවැන්නක් තමන් දැන ගත්තේ අල්ලස් කොමිසම විසින් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී බව එම පුද්ගලයින් විසින් ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කළ බවද එම නිලධාරීන් සඳහන් කළේය.

මෙම ක්‍රියාව තුළින් සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් 8,058,814කට අධික මුදලක් රජයට පාඩු සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකර ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමක් කළේය. 

සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සේවකයින් බඳවා ගැනීමට අමාත්‍යවරයෙකුට බලය තිබෙන බවත්, එසේ බඳවා ගන්නා සේවකයින් අමාත්‍යංශයට වාර්තා කළ යුතු බවට නීතියක් නොමැති බවත් කියා සිටියේය.

ඇතැම් පෞද්ගලික කාර්ය මණ්ඩල සේවකයින් අමාත්‍යවරයාගේ දේශපාලන බල ප්‍රදේශයේ සේවයට යොදවන බවත් මෙම සිද්ධියට සම්බන්ධ මුදල් කිසිදු අවස්ථාවක තම සේවාදායකයාගේ ගිණුමට බැර වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

එමෙන්ම මෙම මුදල් සැකකරු විසින් ලබාගෙන නොමැති අතර අල්ලස් කොමිසම විසින් තම සේවා දායකයා හිරිහැරයට පත් කිරීම සඳහා මෙවැනි නඩු ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

තම සේවාදායකයා 2015 වසරේ සිට අධිකරණයට පැමිණෙන බවත් කිසිදු අවස්ථාවක ඔහු අධිකරණය මගහැරීම හෝ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමක් සිදුකර නොමැති නිසා මෙම සැකකරු ඇපමත මුදා හරින ලෙසත් ජනාධිපති නීතීඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.  

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින විමර්ශන අවසන් කර කරුණු ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කරන ලදී.


(පෙර පුවත 2025 මැයි 07 ප.ව.3:37)

කෙහෙළිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (07) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

පුවත්

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය වේලාවන් සංශෝධනයක්

Published

on

By

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම මාර්ගය භාවිත කරනු ලබන මහජනතාවගේ දැඩි ඉල්ලීම මත සති අන්තයේ පමණක් ධාවනය කරනු ලබන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (07) දින සිට දිනපතා ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

එමෙන්ම මීට සමගාමීව දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 05.45ට කන්කසන්තුරය දක්වා ධාවනය කරන ලද යාල්දේවි දුම්රිය හෙට දින සිට කොළඹ කොටුවෙන් පිටත්වන වේලාවද සංශෝධනය කර තිබේ.

ඒ අනුව එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අනුව මාසයකට පෙර දුම්රිය ආසන වෙන් කර ගත් මගීන් හට යාල් දේවී දුම්රිය පිටත්වන නව වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය විය යුතු බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පුංචි ව්‍යාපාරිකයන් 200 ක් ඇප රහිත ණය අරන්

Published

on

By

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ප්‍රථම වරට හඳුන්වා දුන් ඇප රහිත ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට අයදුම්පත් දෙසිය පනහක් පමණ ලැබී තිබෙන අතර ඉන් දෙසිය දෙනකුට පමණ දැනටම ණය මුදල ලබා දී තිබේ.

මෙම වැඩසටහන වෙනුවෙන් ජාතික ණය සුරැකුම් ආයතනය පිහිටුවූයේ පසුගිය මස 6 වැනිදා ය. මාසයක පමණ කාලයක දී මෙතරම් පිරිසකට ණය ලබාදීමට හැකිවීමෙන් ආයතනය පිහිටුවීමේ අරමුණ ඉටු වී තිබෙන බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. අයදුම්කර සතියක් ඇතුළත ණය මුදල ලබාදීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීවේය.

මේ යටතේ රුපියල් මිලියන විසිපහක උපරිම ණය මුදලක් ලබා ගත හැකි වෙයි. ණය මුදලින් සියයට හැට හතකට හෙවත් තුනෙන් දෙකකට අදාළව මෙම ආයතනයෙන් ආරක්ෂණයක් ලබා දෙයි. ඉතිරි ප්‍රමාණයට අදාළව ණය හිමියාගෙන් ආරක්ෂණයක් ලබා ගන්නේ ද යන්න බැංකුව තීරණය කළ යුතු වෙයි.

අයදුම්කරුවන් පන්දහසක් පමණ මෙම වැඩසටහනට එක්වනු ඇතැයි ණය සුරැකුම් ආයතනය අපේක්ෂා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved