Connect with us

පුවත්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති පුටුවට උණුසුම් තරඟයක්

Published

on

පළාත් පාලන ආයතන අතරින් වඩා වැඩි අවධානයක් යොමු වී ඇති කොළඹ මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය.

නමුත් කොළඹ මහ නගර සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නගරාධිපති සහ උප නගරාධිපති ධූර සඳහා සාමාජිකයින් නම් කිරීමේ අවස්ථාව එම පක්ෂයට අහිමිව ඇත.

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර බෙදීයාම

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 117න් 48ක් ජාතික ජන බලවේගයට හිමි වූ අතර සමගි ජන බලවේගයට ආසන 29ක් සහ  එක්සත් ජාතික පක්ෂයට ආසන 13ක් ද හිමිවිය.

ඊට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 04ක්, ස්වාධීන කණ්ඩායම අංක 03ට මන්ත්‍රී ධූර 03ක් සහ සර්ව ජන බලය පක්ෂයට ආසන 02ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ අංක 05 ආසන 02 බැගින් දිනා ගෙන තිබේ.

ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ මෙන් ම ස්වාධීන කණ්ඩායම 01 සහ දෙක 02 මන්ත්‍රී ධූරය බැගින් දිනා ගැනීමට සමත් විය.

කොළඹ නගරාධිපති වෙනුවෙන් තවත් ඡන්දයක්

එක් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදුවන බව Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර මහතා පෙන්වා දෙයි

කොළඹ මහ නගර සභාවට නියමිත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 110ක් බවත් මෙවර ප්‍රතිඵල අනුව එය 117ක් දක්වා වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

“පත්වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් කාටවත් නැහැ දැන්, ඒ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පළමු සභා රැස්වීම කැඳවිය යුතු යි. 

පළමු සභා රැස්විමේදී නගරාධිපති විය යුත්තේ කවුද කියලා යෝජනා අරගෙන ඡන්දය තියන්න ඕනේ කොමසාරිස්වරයා.”

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවෙන් ගිලිහෙයි ද?

කොළඹ මහ නගර සභාවට තේරී පත්ව ඇති විපක්ෂ කණ්ඩායම්වල එකඟතාව මත ජාතික ජන බලවේගයට එරෙහිව එක් අපේක්ෂකයෙකු නගරාධිපති ධූරයට නම් කර ඔහු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතින බව හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 48ක් ලබා ගත්ත ද නගරාධිපති ධූරය අහිමි වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය.

“විපක්ෂයේ ඔක්කොම එකතු වුණොත්, හොඳ නගරාධිපතිවරයෙක් හෝ වරියක් නම් කළොත් එතනට අනිත් මන්ත්‍රීවරුත් ඡන්දය දෙන්න පුළුවන්.”

කෙසේ නමුත්, නාම යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඉන් එක් අපේක්ෂයෙකු 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තුරු ඡන්ද විමසීමේ ක්‍රමවේදයක් පවතින බව ඔහු කියා සිටියේය.

කොළඹ බලය සජබට ගන්න එජාපයෙත් සහය

කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට මේ වන විට තියුණු තරගයක් නිර්මාණය වී තිබේ. 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ සිය පක්ෂය අනෙකුත් කණ්ඩායම් සමග එක්වී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බව ය.

“අපි බලය ගන්න උත්සහ කරනවා විපක්ෂ කණ්ඩායම් එක්ක එකතු වෙලා. ඒගොල්ලන්ට තියෙන්නේ 48යි, 48න් බැහැ නගර සභාවේ බලය හදන්න ඒකට 60ක් ඕනේ.”

සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ සහය ද ලබා දීමට එකඟ වී ඇතැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ’

කොළඹ නගර සභාවේ බලය ලබා ගැනීමේ ඉදිරි කටයුතු ගැන සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටින්නේ, “අනිවාර්යයෙන් ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවනවා. ඒක ඉතින් වෙන කාටවත් දෙන්නේ නැහැ,” යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, 
“අපි තමයි වැඩියෙන් ම කොළඹ නගර සභාවේ කණ්ඩායම ගත්තේ. ඒ කණ්ඩායමට සමාන කරන්න වෙන කණ්ඩායමක් නෑනේ ඉතින්. යම් අඩුවක් තියෙනවා, මන්ත්‍රීවරුන් ලෙස යම් යම් අය සාකච්ඡා කරගෙන යනවා. දේශපාලන පක්ෂ ලෙස නෙමෙයි.”

මෙවර ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූර අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් නම් කරන ලද අතර කොළඹ පුරපති සටනට සමගි ජන බලවේගයෙන් ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා යෝජනා කර තිබිණි.

පුවත්

දේශබන්දු පරීක්ෂණ කමිටුවේ දෙපාර්ශවයේම සාක්ෂි මෙහෙයවීම අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශ්වයේ යන දෙපාර්ශ්වයේම සාක්ෂි මෙහෙයවීම ඊයේ (01) අවසන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පරීක්ෂණ කමිටුව අද රැස් වූ අතර මෙහිදී පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු විය.

මෙම සාක්ෂිකරුවන් දෙදෙනා රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි අතර ඔවුන්ගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ නීතීඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර එකඟ වූ පරිදි, අද දින මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

ඒසේම දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ වූහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි පෙත්සම විභාගයට අවසර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර දුන්නේය.

එහෙත් පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බව විනිසුන් මඩුල්ල ප්‍රකාශ කර ඇත.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයකර වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවට නීතිඥවරයා තර්ක කර තිබුණි.

එහෙත් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා සඳහන් කර තිබුණේ, සිය සේවා දායකයාව පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිතව වැඩසටහනට ලක්ව සිටි එබැවින් එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිඥවරයා තර්ක කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම අගෝස්තු මස 1 වනදා කැඳවීමටද නියම විය.

Continue Reading

කැබිනට් තීරණ

ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත.

මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබේ.

ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතුය.

එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, 2010‑2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved