Connect with us

ඡායාරූප සටහන

ලෝක බැංකු සභාපති – ජනපති හමු වෙයි (ඡායා)

Published

on

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා  (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. 

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු  සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. 

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. 

ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්(Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury),  ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා  නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan)  යන මහත්වරුද මීට එක්ව සිටියහ. 

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය  සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,  මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

ජනපති, අගමැති, විපක්ෂනායක හා පක්ෂනායකයින් අද ඡන්දය ප්‍රකාශ කල අයුරු

Published

on

By

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය .

සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බව කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සිය ඡන්දය ප්‍රකාශ කලේ කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කලේ රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ පිහිටි චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කර තිබුණේ මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සිය ඡන්දය භාවිතා කර තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

සර්වජන බලය පක්ෂ නායක දිලිත් ජයවීර මහතා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කර ඇත්තේ මිරිහාන ශ්‍රී චන්දාරාම විහාරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

 මහ නගර සභා 28ක් නගර සභා 36ක් ඇතුළු පළාත් පාලන ආයතන 336කට නියෝජිතයන් අසන්න වශයෙන් 8000කට වැඩි සංඛ්‍යාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තෝරාගැනීමට නියමිත ය.

Continue Reading

ඡායාරූප සටහන

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් 04ක්

Published

on

By

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහත්වරු ඉදිරියේ සිදු විය.

වියට්නාම ජනාධිති මන්දිරයේ දෙරට අතර අද (05) පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෙම අවබෝධතා ගිවිසුම් හා එකඟතා  ගිවිසුමට අත්සන් තබනු ලැබීය.

මෙහිදී වියට්නාම සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රේගු කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහාය පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇත. 

වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, වියට්නාමයේ කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර කෘෂිකර්ම සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුම හා වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා යන ගිවිසුම්වලට මෙහිදී අත්සන් තැබිණි.

මෙම ගිවිසුම් මඟින් විශේෂඥතාව බෙදා ගැනීම, රාජ්‍යතාන්ත්‍රිකයින්, විද්වතුන්, නිලධාරින්, විශේෂඥයින් සහ පර්යේෂකයින් හුවමාරු කර ගැනීම මෙන්ම අධ්‍යයන හා පර්යේෂණ වැඩසටහන්, විවිධ පාඨමාලා, සම්මන්ත්‍රණ, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ අනෙකුත් අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම්වලට අදාළ විශේෂඥතාව සංවිධානය කිරීම සහ හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත ය.

දෙපාර්ශ්වයට අදාළ වෙළෙඳාම පිළිබඳ තොරතුරු සහ වෙළෙඳපොළ බුද්ධිය හුවමාරු කර ගැනීම, දෙරටේම පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශන, ප්‍රදර්ශන සහ ප්‍රවර්ධන අවස්ථා සඳහා ඒකාබද්ධ සහභාගිත්වය සහ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් අතර රැස්වීම් සංවිධානය කිරීම ඇතුළු පුළුල් පරාසයක වෙළෙඳ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා මෙම අවබෝධතා ගිවිසුම යටතේ අවකාශ සැලසේ.

මෙම සහයෝගිතාව මඟින් විශේෂයෙන් සැකසූ ආහාර, ධීවර කටයුතු, ඇඟලුම් සහ අගය එකතු කළ කෘෂිකර්මාන්තයට සැලකිය යුතු වෙළෙඳපොළ අවස්ථාවන් දෙරටට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Continue Reading

ඡායාරූප සටහන

ජනපති බායි ඩිං විහාරස්ථානය වැඳ පුදා ගනියි (ඡායා)

Published

on

By

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඊයේ (04) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන බායි ඩිං (Bai Dinh) විහාරස්ථානයට පැමිණ වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා සහ වියට්නාම් ජාතික ධජ අතැතිව වියට්නාම් ජනතාව එහි පිවිසුම් දොරටුව අසලදී ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විහාරස්ථාන භූමියේ සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැකබලා ගැනීමට මඟ දෙපස විශාල පිරිසක් රැස්ව සිට ඇති අතර ඔහුද දෙරටේ ජාතික ධජ ලෙලවමින් සිය ආචාරය පිළිගැන්වූ බව සඳහන් වේ.

ජනාධිපතිවරයා විහාරස්ථානයේ ප්‍රධාන බුද්ධ මන්දිරය වෙත පැමිණ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, භික්ෂුන් වහන්සේලා විසින් සෙත්පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කර තිබේ.

අනතුරුව, ජනාධිපතිවරයා විහාරස්ථාන භූමියේ පිහිටි ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන ඇති අතර, එම බෝධීන් වහන්සේ 2023 වසරේදී බායි ඩිං (Bai Dinh) විහාරස්ථාන භූමියේ  රෝපණය පිණිස ශ්‍රී ලංකාවෙන් පූජා කරන ලද අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ ශාඛාවකි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ බෝධීන් වහන්සේ වටා ඉදි කරන ලද ප්‍රාකාරයද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙහිදී විවෘත කර ඇත.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විහාරස්ථාන පරිශ්‍රයේ  සල් ශාකයක් රෝපණය කර ඇති අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සවි කර ඇති පුවරුවද  නිරීක්ෂණය කළ බව වාර්තා වේ.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා විසින් විහාරාධිපති හිමියන් වෙත  සිහිවටන තිළිණයක්ද පිළිගන්වා ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු දූත පිරිස මෙම අවස්ථාවට එක්වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved