Connect with us

පුවත්

විදුලි බිල ඇත්තටම වැඩිවෙයි ද? (UPDATE)

Published

on

පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.

අද (08) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් පැනයක් යොමු කරමින් අසා සිටියේ IMF උවමනාව අනුව ඉදිරියේ දී විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේ ද ? යනුවෙනි.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලිබිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බවය.

කෙසේවෙතත් ලබන මාසයේ මුල් සතිය වනවිට මේ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් පළ කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“ඇත්තටම අපිටත් ඕනේ ගෙවල්වලට වගේම කර්මාන්ත සඳහා අවම මිලට විදුලිය ලබාදෙන්න. ඒක තමා අපේ ප්‍රමුඛ අරමුණ. සමහර වෙලාවට ඔබතුමන්ලාම අනිත්පැත්තට කෑ ගහනවා. එක පැත්තක අඩු කරනවා කියනවා. ගන්න මිල අඩුකරලා තමා දෙන මිලත් අඩු කරන්නේ. අනිවාර්යෙන්ම අඩු කිරීමේ හෝ වැඩි නොකර සිටීමේ අරමුණින් තමා අපි වැඩ කරන්නේ. මොකද මේ තත්ත්වය තුළ අපි කටයුතු කරන්නේ. අපි කොහේවත් IMF කිව්වා කියලා වැඩිකරලා නෑ. එහෙම තීරණයක් අරගෙනත් නෑ. විදුලිබල මණ්ඩලය ගණනයන් තාම භාරදීලත් නෑ. මේ මාසේ අග ලබන මාසේ මුල වෙද්දි තමා මහජන උපයෝගීතා කොමිසමෙන් ගන්නේ. තාම තීරණය කරලා නෑ. අපි සුබවාදීව හිතනවා වැඩිකිරීමට නොයා ඉන්න. නමුත් අනිත් පැත්තෙන් ගොඩක් දේවල් තියෙනවා. ණය තියෙනවා. ණය ගෙවීමේ යම් පංගුවක් විදුලිබිලට එකතු වෙන්න තියෙනවා. ලබන මාසේ මුල වෙද්දි අපිට කියන්න පුළුවන්. ඒ වගේ නෙගටිව් තැනක ආණ්ඩුව නෑ.”


(පෙර පුවත 2025 මැයි 08 පෙ.ව.7.36 )

විදුලි ගාස්තු සංශෝධනය ලඟදීම?

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ජුනි, ජුලි මාසය තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවය.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව එකී යෝජනා අධ්‍යයනය කර සති 03ත් 6ත් අතර කාලය තුළ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එම කාලය තුළ අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම ද සිදුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තුව සංශෝධනය කරන බවට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

කෙසේවෙතත් ඊට අදාළ යෝජනා මෙතෙක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව වාර්තා වේ.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය පසුගිය ජනවාරි මස 17 වැනිදා සිදුවු අතර එහිදී විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළේය.

සබැඳි පුවත්

පුවත්

පාසල් වලට ඩෙංගු මැඬලීමේ දිනයක්

Published

on

By

මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මැඬලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ජූලි 09වන දා සංවිධානය කර තිබේ.

“Clean Sri Lanka Day” නමින් නම් කර තිබෙන මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙන අතර පාසල් දරුවන් තුළ පාරිසරික, සමාජීය හා ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම ඉන් අරමුණු කෙරේ.

එමෙන්ම, මීට සමගාමිව මෙරට පාසල් 10,096ම ආවරණය වන පරිදි චිත්‍ර, පොස්ටර් ප්‍රදර්ශන, නාට්‍ය සංස්කෘතික සහ සංගීතමය අංග මෙන්ම දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ  ආණ්ඩුකාර කාර්යාලවල සහායද මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.මෙම වැඩසහටන ඉදිරියේදී විද්‍යා පීඨ හා වෘත්තීය අධ්‍යාපන ආයතනවලද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, අතිරේක ලේකම් උදාරා දික්කුඹුර යන මහත්ම මහත්මීහුද, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය කොහෙල්වල විපස්සී ස්වාමීන් වහන්සේද, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සමාජීය) කපිල සෙනරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රාජ්‍ය සේවයට අලුත් බඳවා ගැනීම් 30,000ක්

Published

on

By

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7 කට පමණ පසුව වීම විශේෂත්වයකි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද මෙහිදී බඳවා ගැනීම් සිදු කරන බවය.

මීට අමතරව කළමණාකාර සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනෙනු ඇති බවද වාර්තා වේ.

අමාත්‍යවරයා පවසා ඇත්තේ, සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවය

Continue Reading

පුවත්

අර්ජුන් ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි නඩුව එළඹෙන ජූලි මස 23වනදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

නොච්චියාගම  පී. ඩී. ජී. ඇග්‍රි බිස්නස් සමාගමෙන් කැබලි කරන ලද බඩ ඉරිඟු කිලෝ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඊට අදාළ මුදල් නොගෙවා රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදලක් වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ  චෝදනාවකට අදාළව මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව කැඳවු අවස්ථාවේ  අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මෙමෙ නියෝගය නිකුත් කළේය.

ඊට අදාළ විමර්ශනයන් හි ප්‍රගතිය දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කරන ලදී.

අදාළ නඩුව  කැඳවීමට නියමිත ලබන ජූලි මස 23 දින සැකකාර අර්ජුන් ඇලෝසියස් මහතා යළි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින  ලෙසටද  නියෝග කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved