Connect with us

පුවත්

රට හොරු ටිකක් රාජ්‍ය බැංකුවක ATM සුද්ධ කරලා !

Published

on

රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍ර 03ක් හැක් කර රුපියල් කෝටියකට අධික මුදලක් සොරාගත් විදේශිකයන්ගෙන් සමන්විත කණ්ඩායම කොටු කර ගැනීමට පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

ඒ.ටී.එම්. යන්ත්‍ර සවි කර ඇති කුටිවලට ඇතුළු වී විද්‍යුත් උපකරණයක් ඊට සම්බන්ධ කර ඒ.ටී.එම්. යන්ත්‍රයේ මෘදුකාංග පද්ධතියට අනවසරයෙන් ඇතුළු වෙමින් යන්ත්‍රය තුළ ඇති සියලු මුදල් ගනිමින් ඔවුන් මේ සොරකම කරන බව ඒ සම්බන්ධයෙන් ගාල්ල, හික්කඩුව සහ බද්දේගම පොලිස් ස්ථාන මඟින් කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

හික්කඩුව, කරාපිටිය, බද්දේගම පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍ර 03කට මෙසේ ඉකුත් 30 වැනිදා අලුයම් කාලයේ ඇතුළු වී මේ විදේශිකයන් මුදල් සොරාගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

පසුගිය 26 වැනිදා ද මේ විදේශිකයන් පිරිස නාරාහේන්පිට පිහිටි වෙනත් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයකට ඇතුළු වී හානි කරමින් මුදල් සොරා ගැනීමකටද උත්සාහ දරා ඇති බවද පොලිසිය කියයි.

මේ විදේශිකයන් ඔවුන්ගේ මුහුණු හඳුනා ගැනීමට නොහැකි වන ලෙස මුහුණු ආවරණ පැලඳ කැප් එකක්ද දමාගෙන ඒ.ටී.එම්. යන්ත්‍ර කුටිය තුළට ඇතුළු වී මේ සොරකම කරන බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මේ සොරකම ගැන තොරතුරු හෙළි වී ඇත්තේ මුදල් සොරා ගැනීමෙන් පසු ඒ.ටී.එම්. යන්ත්‍රයේ දත්ත පද්ධතිය තුළ මුදල් තවදුරටත් ඇති බව පෙන්නුම් කිරීමෙන්ය. 

ඒ.ටී.එම්. යන්ත්‍රයේ මුදල් නැතිව එසේ මුදල් ඇති බව පෙන්නුම් කිරීමත් බැංකු ගනුදෙනුකරුවන් කිසිවකු සිය කාඩ්පත් යොදා මුදල් නොගෙන මුදල් සියල්ලක්ම අතුරුදන් වීමත් ගැන සොයා බැලීමේදී මේ සොරකම ගැන තොරතුරු බැංකු නිලධාරීන්ට මුලින්ම හසු කර ගැනීමට හැකිව තිබේ.

මේ විදේශිකයන් හික්කඩුවේ පිහිටි බැංකුවට ඇතුළු වී එහි ඒ.ටී.එම්. යන්ත්‍රය හැක් කර ඇත්තේ 30 වැනිදා අලුයම 1.40ට පමණය. 

මෝටර් රථයකින් පැමිණි ඔවුන් මඳ වේලාවක් එහි රැඳී සිටිමින් එහි ඒ වන විට තිබුණු සියලු මුදල් දිගටම ඒ.ටී.එම් යන්ත්‍රයෙන් පිටතට ගෙන තිබේ. 

එසේ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් පිටතට ගත් මුදල් ප්‍රමාණය රුපියල් හතළිස් හයලක්ෂ අසූ දහසක මුදලකි.

අනතුරුව ඔවුන් ගොස් ඇත්තේ කරාපිටියේ පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රය වෙතය. 

අලුයම 3.22ට පමණ ඔවුන් යන්ත්‍රය පිහිටි කුටියට ඇතුළු වී එය හැක් කළත් ඔවුන්ට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් පමණි. 

ඊට මුල් වී ඇත්තේ සුදු ජාතික විදේශිකයන් දෙදෙනකු ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කුටියේ වැඩි වේලාවක් රැඳී සිටීම හේතුවෙන් බැංකු ආරක්ෂකයා ඒ ගැන විමසිලිමත් වීම හේතුවෙන් ඒ වන විට ලද මුදල පමණක් රැගෙන ඔවුන් පිටව යෑමය.

තෙවැනි සොරකම සිදු වන්නේ බද්දේගම පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රය තුළය. 

පෙර මෙන්ම ඔවුන් එම යන්ත්‍රයද හැක් කර සොරාගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් පනස්හත් ලක්ෂයකි.

මේ විදේශිකයන් ඒ.ටී.එම්. යන්ත්‍රයේ මෘදුකාංග පද්ධතියට ඇතුළු වන්නේ ඔවුන් සතුව ඇති කුඩා උපකරණයක ආධාරයෙන් බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එම උපකරණය ඒ.ටී.එම්. යන්ත්‍රය හා සම්බන්ධ කර ඇතැයි පෙනී ගොස් ඇත්තේ බැංකු කාඩ්පතක් ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළු කර ගනුදෙනුවක් කිරීමත් සමඟිනි. මේ විදේශිකයන් ඒ.ටී.එම්. යන්ත්‍රය අසල රැඳී සිටිමින් ගනුදෙනුකරුවකු ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ගැනීමත් සමඟ ඊට ඇතුළු වී සිය උපකරණ යන්ත්‍රය හා සම්බන්ධ කරමින් මේ සොරකම කරන බව පෙනී ගොස් තිබේ. 

මේ කටයුත්ත ඔවුන් කරනු ලබන්නේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ සවි කර ඇති ආරක්ෂක කැමරාව වැසෙන සේ ස්ටිකරයක් අලවමිනි.

මේ විදේශිකයන් ගමන් කළ මෝටර් රථයේ අංකය ඔස්සේ කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ එම මෝටර් රථය ගම්පහ පුද්ගලයකුට අයත් එකක් බවටය. 

එම මෝටර් රථය පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ විදේශිකයන් ඒ.ටී.එම්. යන්ත්‍ර අසලට පැමිණි මෝටර් රථයේ වර්ගය සහ ගම්පහ පුද්ගලයාගේ නමින් ලියාපදිංචි වී ඇති මෝටර් රථයේ වර්ගය වෙනස් බවය. 

ඒ අනුව පැහැදිලි වී ඇත්තේ ව්‍යාජ අංක තහඩු සවි කළ මෝටර් රථයකින් පැමිණ මේ සොරකම කර ඇති බවය.

මේ විදේශිකයන් පැමිණ ඇත්තේ අම්බලන්ගොඩ පැත්තේ සිට බවත් ඒ අය අධිවේගි මාර්ගය භාවිත කරමින් ගාල්ලට පැමිණ සහ ගාල්ලෙන් පිටව ගොස් තිබෙන බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 

ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

කටුනායකට නව කැමරා පද්ධතියක්

Published

on

By

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනා ගැනීමේ කැමරා සවිකිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් සඳහන් කරනු ලැබුවේ දැනට එහි ආරක්ෂක කැමරා සවිකර ඇත්තේ කවුළු 08ක පමණක් බවය.

මෙම වැඩපිළිවෙළ යටතේ ආගමන විගමන කවුලු 30කට එම ආරක්ෂිත උපාංග පොලිසිය මැදිහත්වීමෙන් සවිකිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධකරුවන්, වරෙන්තුකරුවන් හා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් විදේශගත වීම හා විදේශවල සිට පැමිණීමේදී හඳුනා ගැනීම එමගින් සිදු කළ හැකිය.

එමෙන්ම මෙම කැමරා පද්ධතියේ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා අධීක්ෂණය කෙරෙනු ඇත.

Continue Reading

පුවත්

ගෝඨාභය සමඟ  “වේරැස් ගඟේ ” පැටලුණ භාතිය – සංතුෂ්

Published

on

By

‘වේරැස් ගඟ ව්‍යාපෘතිය’ සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එම ව්‍යාපෘතියේ මූලික අදියරේ උත්සව කටයුතුවලට වියදම් කර රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවේ සැකකරුවන් ලෙස භාතිය – සන්තුෂ් යන ජනප්‍රිය ගායක යුගල නම් කරන ලෙස විත්තියේ නීතීඥ නුවන් ජයවර්ධන මහතා ඉල්ලා සිටියේය.

ඒ, ඊයේ (05) මේ සම්බන්ධව නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේ දීය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාද මෙහි සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතීඥවරයා විසින් එහිදී ඉල්ලා සිටින ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, නාගරික සංවර්ධන අධිකාරිය පැවතියේ ඔහු යටතේ ය.

විත්තියේ නීතීඥ නුවන් ජයවර්ධන මහතා මෙම සිදුවීමේ දෙවන සැකකාරිය ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරි වන එම්.ඒ.ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධිර නමැති සැකකාර කාන්තාව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

බෙල්ලන්විල ඇවිදින මංතීරුව ද ඇතුළත් වූ වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීම වෙනුවෙන් පැවැත් වූ අති දැවැන්ත විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් නිසි ක්‍රමසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකර රජයේ මුදල් ඒ වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඉඩම් ගොඩකිරීමේ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටි ආරච්චි මහත්මිය කරුණු දක්වමින් පැමිණිල්ලට පාදක වූ වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු සඳහා රජයෙන් මුදල් වෙන්කර නොතිබියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 276 ක් වෙන්කර ඇතැයි දැනුම් දුන්නාය.

ඉහළ බලධාරීන්ගෙන් ඇතිවන පීඩා නිසා එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිවරියන් දෙදෙනෙකු එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව තම සේවාදායිකාව ඒ සඳහා පත්කර ඇති බව ද විත්තියේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම ව්‍යාපෘතිය 2014 සැප්තැම්බර් 9 වන දා විවෘත කිරීමට නියමිතව තිබී ඇති බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකයන්ට දැනුම් දී ඇත්තේ සැප්තැම්බර් 5 වන බව ද ඔහු පැවසීය.

දින හතරක් වන කෙටි කාලයක් තුළ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමට සිදුව ඇති බවත් එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ එම සංස්ථාවේ සභාපතිවරයා බවත් ඔහු සඳහන් කළේ ය.

එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතා එම ව්‍යාපෘතිය නැරඹීම සඳහා පෙරහුරු පවා පවත්වා ඇති බවත් එවන් තත්ත්වයක් තුළ තම සේවාදායිකාව කටයුතු කර ඇත්තේ දැඩි පීඩනයෙන් බවත් විත්තියේ නීතීඥ නුවන් ජයවර්ධන මහතා සඳහන් කළේය.

මෙම විවෘත කිරීමේ උත්සවයේ සියලුම කළමනාකරණය කිරීමේ කටයුතු භාතිය ජයකොඩි නමැති අයෙකුට අයත් “ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්” නමැති ආයතනයකට භාර දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂට හා භාතිය සන්තුෂ් යන දෙපළ මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කළ යුතුව ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

විත්තියේ නීතීඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ තම සේවාදායිකාව අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කර ඇති නමුත් ඇය ක්‍රියාකර ඇත්තේ ඇයට ඇතිවූ පීඩනය හා ඇයට හැකි පමණින් බවය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා යන අය මෙම සිද්ධියේ පළමු සැකකරු වන බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ වන විට ඇප මත මුදාහැර සිටින බවය.

අධිකරණය වෙත ඉදිරිපත් කළ දෙවන සැකකාරිය සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිනු ලැබීය.

දෙපාර්ශවයේ දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට නියෝග කලාය.

අදාළ නඩුව ජූනි 24 වන දා නැවත කැඳවීමට නියමිතය.

Continue Reading

පුවත්

ඩෙංගු රෝගීන්ගෙන් 25% ක්ම පාසල් සිසුන්

Published

on

By

ලංකාවේ ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පාසල්වලින්  50% ක්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බවය.

එම ස්ථාන 14% කින් මදුරු කීටයින්ද හමුවී ඇති බව ඇය ප්‍රකාශ කළා ය.

මෙවැනි තත්ත්වයක් හමුවේ පාසල් පද්ධතිය පිරිසිදුව තබා ගැනීමට සිසුන් මව්පියන් හා ගුරුවරුන් විසින් වගබලා ගැනීම අතිශයින් වැදගත්  කාර්යයක් බව ඩෙංගු මර්දන ඒකකය විසින් ආවධාරණය කරයි.

මේ අතර පාසල්වල ඩෙංගු මර්දනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පාසල් කාලාපවලට බෙදා පිරිසිදු කිරීම මෙන්ම ඒ සඳහා වගකියන ගුරුවරයෙකු පත් කිරීමටද උපදෙස් දී ඇත.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අංශ සමග ඒකාබද්ධව පාසල්වල ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීමට විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවය.‍

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24361 කි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved