Connect with us

පුවත්

ජනපති, අගමැති හා විපක්ෂනායකගෙන් වෙසක් පණිවුඩ

Published

on

අද (12) දිනට යෙදෙන සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනයා මහත් උත්කර්ෂයෙන් සමරන සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වෙසක් දින පණිවිඩ නිකුත් කර තිබේ. 

බුදුදහමේ ඉගැන්වීම් අනුව සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවෙමු – ජනාධිපති

බුදුන් වහන්සේගේ දේශනාව තුළ ලෝක සාමය උදෙසා මහැඟි පණිවිඩයක් ගෙන දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, එම ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගනිමින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බවයි.

ජනපති විසින් නිකුත් කල සම්පූර්ණ වෙසක් පණිවිඩය පහතින් දැක්වේ…

මානව සිත්සතන් සුවපත් කිරීමට වෙසක් කාලය වඩාත් සුදුසුයි – අගමැතිනිය

වෙසක් පුන් පොහෝදා වෙනුවෙන් අගමැතිනිය හරිනි අමරසුරිය ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම වෙසක් දිනපණිවිඩය මඟින් අගමැතිනිය රට නිවැරදි පරිවර්තනයකට යොමුකරමින් සිටින අවස්ථාවක මානව සිත්සතන් සුවපත් කිරීම සඳහා වෙසක් කාලය වඩාත් සුදුසු බවට විශ්වාස කරන බව පවසයි.

ඒ සඳහා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැදගැනීමට සියලුමදෙනා හට ආරාධනා කරන බවයි සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් ඇය පෙන්වා දී තිබේ.

සිය නිවේදනයෙන් අගමැතිනිය පෙන්වා දෙන්නේ මේ වනවිට ඇතැම් රටවල පවතින යුද ගිනිදැල් නිවී සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත්වීමේ භාග්‍යය උදාවීම මෙරට සමස්ත රටවැසියන්ගේ මෙන්ම තමන්ගේ ද අපේක්ෂාව බවය. 

අගමැතිනිය විසින් නිකුත් කල සම්පූර්ණ වෙසක් පණිවිඩය පහතින් දැක්වේ…

අභියෝග හමුවේ හේතුඵල දහම මැනවින් වටහා ගනිමු – විපක්ෂනායක

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පොහොය උන්වහන්සේ ලොවට පෙන්වා දුන් උතුම් ධර්ම මාර්ගය යළි යළිත් මෙනෙහි කිරීමට අවස්ථාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.

මේ වෙසක් දිනයේ අපගේ අධිෂ්ඨානය විය යුත්තේ ද ඒ උදාර දැක්ම අනුව ධර්මය ගුරුතන්හි තබා යහපත් ලෝකයක් ගොඩනැඟීමට අපගේ කැපවීමයි. එය වෛරයෙන් තොර මෛත්‍රියෙන් පිරි ලෝකයක මාවත විවර කර දෙනු ඇත බව ද විපක්ෂනායකවරයා සඳහන් කර තිබේ.

විපක්ෂනායකවරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ වෙසක් දින පණිවිඩය පහතින් දැක්වේ…

සම්බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සිහිකරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පෙළ ගැසෙන මේ වෙසක් සමයේ සමස්ත රටවැසියන් වෙත වෙසක් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

ශ්‍රී ලංකාවාසී අපගේ ජන ජීවිතය ඈත අතීතයේ සිටම බුද්ධ දර්ශනය හා බැඳී පවතී. එය බුදු දහමෙන් අපට ලැබුණු දායාදයකි. අප රටේ විවිධ ජාතීන් විවිධ ආගම් අදහමින් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත් වන අතර සියලුම දෙනා එක්ව වෙසක් උත්සවය වැනි ප්‍රධාන ආගමික උත්සවයක් සැමරීම ඊට හොඳම නිදසුනකි. 

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ අපේ තේමා පාඨය මූලික කරගෙන පිහිටුවාගත් අප රජය යටතේ එළැඹි පළමු වෙසක් උත්සවය මෙයයි. අප දේශය නිවැරදි පරිවර්තනයකට යොමු කරමින් සිටින මෙවන් අවධියක මානව සිත්සතන් සුවපත් කිරීමට ද මෙම වෙසක් කාලය වඩාත් සුදුසු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා සියලුම දෙනා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැඳගනිමුයි මාගේ වෙසක් පණිවුඩය තුළින් ඔබ සැමට ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. 

මේ වනවිට ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී  සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි මෙම වෙසක් සමයේ දී සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ මම ප්‍රාර්ථනා කරමි. 

ඔබ සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!  තුනුරුවන් සරණයි.

ආචාර්ය හරිනි අමරසූරිය 
අග්‍රාමාත්‍ය 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මැයි 12 දින

අගමැතිනිය විසින් නිකුත් කල සම්පූර්ණ වෙසක් පණිවිඩය

“අප මුහුණදී ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේදී බෞද්ධ දර්ශනයේ පෙන්වාදී ඇති හේතුඵල දහම මැනවින් වටහා ගැනීම අතිශය වැදගත් වේ. අප රටක් වශයෙන් මුහුණදී ඇති ගැටලු හමුවේත් ලෝකය හමුවේ මුහුණදී ඇති ගැටලු හමුවේත් විසඳුම් සෙවීමට උත්සුක දරන්නේ ප්‍රශ්නයක් තුළින් පැනනැඟුණු ඵලයට මිස එම ගැටලුව පැනනැඟුණු හේතුව සොයා බලා එය නැති කිරීමට නොවේ.

යමක් ඇති වන්නේ කෙසේ ද එයට හේතුව සොයාබලා පිළියම් යෙදිය යුතු යැයි උගන්වන උතුම් බුදුදහම අප ප්‍රායෝගිකව හඳුනාගත යුත්තේ එබැවිනි.

ශ්‍රී ලංකාව මෙන්ම මුළුමහත් ලෝකය ම මේ මොහොතේ ආර්ථික යුද්ධයකට මෙන්ම සාමය පිළිබඳ වූ අභියෝගයකට මුහුණ දී ඇත. මෙම අභියෝග දිනන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගය තුළ පැහැදිලි විසඳුම් තිබේ.

රාජ්‍ය පාලනයේදී දස රාජ ධර්මය වැනි උත්තරීතර මඟපෙන්වීම් මෙන්ම ආර්ථිකය, සමගිය, සමානාත්මතාව, විවිධත්වය තුළ එකමුතුව ඇතිකර ගන්නේ කෙසේ ද යන්න බෞද්ධ දර්ශනය තුළ ඕනෑ ම ආගමිකයකුට පිළිගත හැකි ආකාරයට ඉගැන්වීම් දක්නට ලැබේ. භෞතික සංවර්ධනයට සමගාමීව ආධ්‍යාත්මික සංවර්ධනය රටක සංවර්ධනයේ ප්‍රබලතම අවශ්‍යතාවක් බව මැනවින් හඳුනාගෙන කටයුතු කිරීම රාජ්‍ය පාලනයේ දී ප්‍රධාන කරුණක් බව අප අවබෝධ කරගත යුතු ය.

අපට ලෝකයට ලබා දිය හැකි මිල කළ නොහැකි වටිනාම සම්පත වනුයේ නිර්මල ථෙරවාදී දහම යි. ඒ සඳහාවූ අවස්ථා පුළුල් කිරීම, මහා සංඝරත්නය දැනුමෙන් පෝෂණය කිරීම, සංඝ සාසනයේ චිරස්ථිතිය සහ පැවැත්ම සඳහාවූ අපගේ වගකීම සහ වගවීම අත් නොහළ යුතු මෙහෙවරක් බව අප තරයේ වටහාගත යුතු ය.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සීයක් ඉක්මවූ මේ මොහොතේ ලොව පුරා බෞද්ධ ජනයා තෙමඟුල සමරනුයේ උන්වහන්සේගේ දහමෙහි විශිෂ්ටත්වය හඳුනාගෙන ඇති නිසාවෙනි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී වදාළේ ද මගෙන් පසුව ධර්මය ගුරුතන්හි තබා කටයුතු කරන ලෙසයි.

මේ වෙසක් දිනයේ අපගේ අධිෂ්ඨානය විය යුත්තේ ද ඒ උදාර දැක්ම අනුව ධර්මය ගුරුතන්හි තබා යහපත් ලෝකයක් ගොඩනැඟීමට අපගේ කැපවීමයි. එය වෛරයෙන් තොර මෛත්‍රියෙන් පිරි ලෝකයක මාවත විවර කර දෙනු ඇත.

ඔබ සැමට ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා. සැමට තෙරුවන් සරණයි!

විපක්ෂනායකවරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ වෙසක් දින පණිවිඩය 

පුවත්

හේමසිරි සහ පූජිතගේ නඩුව කල් යයි

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි ජූලි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුව අද (30) නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මේ වන විට අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා තිබෙන හෙයින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරප්පාඩුව සඳහා නව විනිසුරුවරයකු අගවිනිසුරුතුමිය විසින් පත් කරන තෙක් බලා සිටින බව සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාල නඩු ජුලි මස 28 වන දා යළි කැඳවීමට නියම විය.

මෙම චෝදනා සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මීට පෙර නියම කර තිබුණි.

එහෙත් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණි.

එම ඇපෑල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අදාළ නඩුවල විත්ති වාචකය කැඳවා යළි විභාගයක් පවත්වා තීන්දුව ලබා දෙන ලෙසය.

ඒ අනුව මෙම නඩුව යළි කැඳවා තිබේ.

Continue Reading

පුවත්

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලේ සංශෝධනයක්

Published

on

By

මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.

ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනයේ ජුනි මසට අදාලව වෙනස් වීමක් සිදු වූයේ නැත.

ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවයි එම සංස්ථාව විසින් දැනුම් දෙන ලදී.

මේවන විට ඉන්ධන මිල ගණන් පවතින්නේ මෙසේය,

  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක්
  • ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක්
  • ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක්
  • සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක
  • භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක්

ඉදිරි කාලයේදී තෙල් මිල ශත 50කින් හෝ අඩු වීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

Continue Reading

පුවත්

 “පොඩි සහරාන්” මුදාහැරේ

Published

on

By

බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්‍රදේශයේ සැරිසරමින් ජංගම දුරකථනයකින් ඒ අවට වීඩියෝ ගත කලේ යැයි කියන පස්රූල් රහ්මාන් මොහොමඩ් නොහොත් “පොඩි සහරාන්” මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද(30) නියෝග කළේය.

බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කළ පස්රූල් රහ්මාන් මොහොමඩ් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

රහ්මාන් මොහොමඩ් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් සඳහන් කර සිටියේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කිසිදු ත්‍රස්තවාදී හෝ අන්තවාදී කටයුත්තක් සම්බන්ධයෙන් අපරාධමය වරදක් සැකකරු සම්බන්ධයෙන් අනාවරණය නොවන බවය.

පසුගිය 27 දින බම්බලපිටිය දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණ වන පරිදි වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදීමට සැලසුම් කරන්න ඇති බවට සැකපිට රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් ලබා දුන් තොරතුරක් අනුව බෝරා පල්ලිය අසල දුම්රිය මාර්ගයේදී බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට වෙතට භාර දුන් බවත්,සැකකරු රදවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

සැකකරු පෞද්ගලික ආයතනයක අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයකු බවත් ඔහු විසින් දුරකථන උපාංගයක් අලුත් වැඩියා කිරීමට ලබා දුන් ස්ථානයකට ඒ ලබා ගැනීමට නැවත පැමිණි අවස්ථාවේදී මෙසේ වීඩියෝ ගත කර ඇති බවත් සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved