Connect with us

පුවත්

රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට

Published

on

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2022 දෙසැම්බර් මස 23 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වෙත නිල වශයෙන් අද  (03දා) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණ

කොළඹ මහානාම විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, පාසල් අවධියේදී විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු වශයෙන් සහ ශිෂ්‍යභට කණ්ඩ‍යේ සාමාජිකයෙකු මෙන්ම විද්‍යාලීය මලල ක්‍රීඩා සංචිතයේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරමින් විෂය බාහිර සහ ක්‍රීඩාවන්ගෙන් දස්කම් පෙන්නුම් කර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

1987 වර්ෂයේදී 16 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, සිය මූලික පුහුණුව ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සාර්ථකව සම්පූර්ණ කර ඇත. එමෙන්ම 1989 වර්ෂයේ ජූනි මස 15 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1990 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා ඇති අතර, 1999 වර්ෂයේදී පකිස්ථානයේ ජලතරණ මෙහෙයුම් පාසල වෙතින් ජලතරණය සම්බන්ධ විශේෂඥතාව ලබා, ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින්, 2020 වර්ෂයේ අගෝස්තු මස 07 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

ඉන්දියාවේ වෙලින්ටන් හි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් 2004/2005 කාලසීමාවේ මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඔහු, ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. තවද, ඔහු 2017 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති අතර, ජාත්‍යන්තර අධ්‍යයන පිලිබඳ කොළඹ, බණ්ඩාරනායක මධ්‍යස්ථානයෙන් ගැටුම් නිරාකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක්ද සාර්ථකව හදාරා ඇත.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලාගෙන පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණශූර පදක්කමෙන් රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න දෙවතාවක් පිදුම් ලබා ඇති අතර, ඔහුගේ අගනා සේවය හා නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇත. එමෙන්ම, ඔහුගේ දක්ෂතාවය කැපවීම සහ ආදර්ශමත් කාර්ය සාධනය ඇගයීම වෙනුවෙන් නාවික හමුදාධිපතිවරුන් විසින් අවස්ථා තුනකදී (03) ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිළතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද ඔහු, අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, කොමදෝරු මුහුදු පුහුණු, නාවික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ, අධ්‍යක්‍ෂ නාවික පුහුණු, නාවික අණභාර නිලධාරි (ත්‍රිකුණාමලය දකුණ), නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා ත්‍රිකුණාමලය වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු සහ වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කර ඇත.

තවද, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කල කිර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන ලද මෙහෙවර උදෙසා ඔහු, අමරපුර මහා සංඝ සභාව වෙතින් ශාසනාභිවෘද්ධිදායක දේශමාන්‍ය ගෞරව නාමයෙන් ද පිදුම් ලබා ඇත.

රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ ආදරණීය බිරිඳ උදේනි කුලරත්න මහත්මිය වන අතර, අසෙල් කුලරත්න (අවු 22) ඔවුන්ගේ එකම පුතණුවන් වේ.

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved