අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන්ට එල්ල විය හැකි ජීවිත තර්ජන සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ, අගමැතිනි හරිනි අමරසූරියට මරණ තර්ජන ඇතුළත් විද්‍යුත් තැපෑලක් අගමැති කාර්යාලයට ලැබී ඇති බවය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණිල්ලක් ගොනු කර ඇති අතර විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන්, ගූගල් වෙතින් වාර්තාවක් ඉල්ලා සිටි බවත්, එම වාර්තාව ලැබී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
එම විද්‍යුත් තැපෑලෙහි IP ලිපිනය නෙදර්ලන්තය සහ ජර්මනිය සමඟ සම්බන්ධ වී ඇතැයි සොයාගෙන ඇති බවට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පැවසූ අතර ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ලැබුණු පසු අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවද සඳහන් කරන ලදී.
තවද සජිත් ප්‍රේමදාස මහතගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෙළි කළේ 2024 අගෝස්තු මාසයේදී අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය හරහා පැමිණිල්ලක් ලැබී ඇති බවය.
පාතාල නායකයෙකු වන ‘ලොකු පැටී’ ගේ සහචරයෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට පැමිණිල්ලේ සඳහන් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට හෙළි කලේය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :
“අපි පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. තොරතුරු සපයන්නා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අසත්‍ය බව සොයාගෙන තිබෙනවා. පැමිණිල්ල කළ ජංගම දුරකථන අංකය පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. පැමිණිල්ලට අදාළ කරුණු අසත්‍ය බව ඔප්පු වී තිබෙනවා,”