Connect with us

පුවත්

මැතිවරණ කොමිසමට පළාත් සභා මැතිවරණය තැබීමට නීති ප්‍රතිපාදන ඇතැයි කුසල් පෙන්වා දෙයි!

Published

on

අලුත් නීතියක් සම්පාදනය වන තෙක් පරණ නීතියට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා වෙත ලිපියක් යොමුකරමින් දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා පෙන්වා දී තිබේ.

ඔහු සිය ලිපිය මගින් කිසිදු රාජ්‍ය අධිකාරයකින්, ආයතනයකින් හෝ දේශපාලන පක්ෂයකින් අවසරයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට හැකි පහසු ඉක්මන් දිනයක් තීන්දු කරන මෙන්ද සිය ලිපිය මගින් ඉල්ලීමක් කර ඇත.

පෙරේරා මහතා විසින් මැතිවරණ කොමිසමට යවන ලද ලිපිය පහත දැක්වේ.

2025 මැයි 21 වන දින

ආර්. එම්. ඒ. එල් රත්නායක

සභාපති

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම

මැතිවරණ ලේකම් කාර්යාලය

තැ. පෙ. අංක 02

සරණ මාවත

රාජගිරිය

[email protected]  

සභාපති තුමනි,

දිගු කාලයක් ප්‍රමාද කෙරුණු සහ මැතිවරණ කොමිසම මග හරින පළාත් සභා නීතිය සම්බන්ධයෙනි

දිගු කලක් ප්‍රමාද කෙරුණු පළාත් සභා මැතිවරණය බොහෝ විට මේ වසර අග හෝ ලබන වසර ආරම්භයේ පැවැත්වීමට ආණ්ඩුව කල්පනා කරන බැවින්, “ආණ්ඩුව ඒ සම්න්ධව තවම මැතිවරණ කොමිසම විමසා නැත” මැයෙන් වූ ප්‍රවෘත්තියක් පසුගිය මැයි 20 වන දින “ද මෝනිං” පුවත් පතෙහි මම කියවූයෙමි.

එම ප්‍රවෘත්ති වාර්තාවෙහි, “පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම්, එක්කෝ සීමා නිර්ණ කටයුතු සම්පූර්ණ කළ යුතුයි. නැතිනම්, පරණ ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට පවතින නීතිය සංශෝධනය කළ යුතුයි. මෙයින් එකක් සිදු කළ යුතුයි” යනුවෙන් ඔබ පැවසූ බැව් සඳහන්ව තිබිණ.

මෙය කිව යුතු ය. මෙය පැරණි, අවලංගු වූ තර්කයකි. ඔබට පෙර මැතිවරණ කොමිසමේ සභාපති වූ මහින්ද දේශප්‍රිය ද ආණ්ඩුවේ දේශපාලනය සමග ගැට ගැසෙන්නට එය යොදා ගත්තකි. මීට සය වසරකට පෙර 2019 අප්‍රේල් 19 වන දින මා “ඩේලි මිර” පුවත් පතට ලියූ “අප රැගෙන යන්නට ලොල් දේශපාලන අවුල” මැයෙන් වූ ලිපියෙහි මේ හොර ගල් ඇහිලීම ගැන මම මෙසේ ලීවෙමි. “නව නීති සම්පාදනයට මැදිහත්වීමේ වගකීමක් මැතිවරණ කොමිසමට හෝ එහි සභාපතිට නැත. ඔවුන්ගේ වගකීම වන්නේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීම ය. මැතිවරණ කොමිසම නොකරන්නේද එයම ය. ඒ වෙනුවට ඔවුන්ගෙන් කෙරෙන්නේ මේ රටේ තවමත් වලංගු නීතිය වන 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත උල්ලංඝණය කිරීම ය”.

සභාපති තුමනි, මෙය අදටත් සත්‍ය වන අතර අදටත් වලංගු ය. “ද මෝනිං” පුවත් පතේ ප්‍රවෘත්තියෙන් ඉහතින් උපුටා දැක්වුනු ඔබගේ තර්කය, පවතින නීතියෙහි වලංගුභාවය සම්බන්ධ විකෘතියකි. ඔබට අනුව, 2018 නොවැම්බර දක්වා බලාත්මක වූ සීමා නිර්ණ කොමිසම මගින් තීන්දු කළ නව සීමා නිර්ණ මත පවතින නීති සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව මගින් අරඹා ඇති හෙයින්, මැතිවරණ පැවැත්වීමට දැන් නීතියක් නැත. ඒ අනුව ඔබ කියන්නේ, එක්කෝ සීමා නිර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය. නැතිනම් පවතින නීතිය සංශෝධනය කළ යුතු යැයි කියා ය.

ඔබ කියන අයුරු අලුත් නීතියක් සම්පාදනය වන තෙක් පරණ නීතිය අත හැර දැමෙන්නේ නැති බව කවුරුත් දන්නා කාරණාවකි. පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් කරමින් සම්මත වූ පනතකට කතානායක සිය අත්සන තබන තෙක් එය බලාත්මක නොවන හෙයින්, එතෙක් පවතින නීතය බලාත්මකව පවතින්නේය. එයට මූලික සරළ හේතුව නම්, සමාජයක නෛතික හිඩැසක් රික්තයක් පැවතිය නොහැකි වීමය. මේ කාරණයේදී ඔබ දක්වන අදහස අනුව, 2017 සැප්තැම්බරයේ සිට ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණ නීතියක් තිබී නැත. එවගේම කවදා හෝ දවසක සීමා නිර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නැතිනම් පවතින නීතිය සංශෝධනය කිරීමට ආණ්ඩුව තීන්දු කරන තෙක් පළාත් සභා සඳහා මැතිවරණ නීතියක් නොතිබෙනු ඇත.

ඔබ කියන අයුරු, කවදා හෝ සීමා නිර්ණ කටයුතු සම්පූර්ණ කිරීමට හෝ පවතින නීතිය සංශෝධනය කරන්නට ආණ්ඩුව තීන්දු කරන තෙක්, පළාත් සභා මැතිවරණ අත්හිටුවා තැබීම ඔබගේ වගකීම නොවේ. ඔබගේ වගකීම වන්නේ “ස්වාධීන” කොමිසමක් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සභාපති ලෙස ඔබව නඩත්තු කරන මේ රටේ බදු ගෙවන්නන්ගේ ස්වෛරී අයිතිය බොල් තර්ක මත සහ දේශපාලන අවශ්‍යතා මත උල්ලංඝණය නොවන ලෙස ආරක්ෂා කිරීම ය. 

ඒ අනුව මා ඔබෙන් ඉල්ලා සිටින්නේ, කිසිදු රාජ්‍ය අධිකාරයකින්, ආයතනයකින් හෝ දේශපාලන පක්ෂයකින් අවසරයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට හැකි පහසු ඉක්මන් දිනයක් තීන්දු කරන මෙන් ය.

ස්තුතියි.

මෙයට විශ්වාසී,

කුසල් පෙරේරා

බෙල්ලන්විල

පිටපත් – කොමිසමේ සියලු සභිකයින් වෙත

          සියලු මාධ්‍ය වෙත

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

පුවත්

හරක් කටාට පැනයාමට උදව් කළ පොලිස් කොස්තාපල් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ්

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්වරයෙකු වන රවිදු සන්ධීප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කරන ලදී.

මෙම නඩුව අද (22) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවීම සිදුවිය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර මහ්තා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම විත්තිකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත්, ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(2) වගන්තිය ප්‍රකාරව, මෙම විත්තිකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටින ලදී.

එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් විරෝධය පළ කර ඇති බව  ද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

වැඩිදුරටත් සඳහන් වෙන්නේ, මෙම නඩුව යළි ලබන 28 වැනිදා කැඳවීමට නියෝග කර ඇත බවය. 

Continue Reading

පුවත්

“කොතලාවල වෛද්‍ය උපාධිය කැඩෙට්, විදෙස් සිසුන්ට විතරයි”

Published

on

By

මෙම වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමි වන්නේ කැඩෙට් භටයන්ට සහ විදෙස් සිසුන්ට පමණක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  2025- 2026 කණ්ඩායම සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළ කර ඇති දැන්වීමක වගන්ති නිවැරදි කිරීමක් සිදු කළ යුතුව ඇති බවය.

ඒ අනුව, 2025- 2026 අධ්‍යයන වර්ෂය සඳහා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ අවස්ථාව කැඩෙට් නිලධාරීන්ට සහ විදෙස් සිසුන්ට පමණක් හිමි වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට පසුගිය රජය මඟින් කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි.

දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලීසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම් මත පමණක් වෛද්‍ය උපාධිය ලබා දීමේ පෙර පැවති ක්‍රමවේදය වෙනස් කරමිනි.

ඒ අනුව, 2024 අධ්‍යයන වර්ෂයේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම් කරුවන්ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්ව විද්‍යාලවල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් අනුගමනය කරනු ලබන Z අගයට (Z, Score) අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක් ද සහිතව සකස් කරනු ලැබූ ඇති නිර්ණායක අනුගමනය කරමින්, ගෙවීමේ පදනම මත එලෙස වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගෙන තිබුණි.

කෙසේවෙතත්, මේ වසරේ සිට කැඩෙට් භටයන්ට සහ විදෙස් සිසුන්ට පමණක් කොතලාවල වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වීමට අවස්ථාව ලබා දීමට වත්මන් රජය තීරණය කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved