ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් සහ කාර්ය මණ්ඩලයට අදාළව නඩු කටයුතු සහ නීති උපදෙස් ලබා දීමේ සැලකියයුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් සැලසීමේ අරමුණින් පාර්ලිමේන්තුව සඳහා නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබේ.
මෙම තීරණ ගනු ලැබුවේ උක්ත කාරක සභාව පසුගිය දා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධනත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
එමෙන්ම, පාර්ලිමේන්තුව තුළ දැනට ක්‍රියාත්මක වන සංඥා භාෂා පරිවර්තන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමටද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව ආබාධ සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ප්‍රාග්ධන ආයෝජන අරමුදලේ (Commonwealth Parliamentarians with Disabilities (CPwD) Capital Investment Fund) අනුග්‍රාහකත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 05 සහ 06 සඳහා සංඥා භාෂා පරිවර්තන පහසුකම් ලබාදීමට නියමිතය.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වැහිපීලි ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රධාන තඹ ද්වාරයේ ක්‍රියාකාරී යාන්ත්‍රණය නිවැරදි කිරීම, සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම, පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම, ගිනි අනාවරක පද්ධතියක් (Fire Detection System)ස්ථාපනය කිරීම ආදී කටයතු ප්‍රමුඛතා කාර්යයන් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ සහය ඇතිව සිදුකිරීමටද කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.
ඊට අමතරව, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ වැඩිදියුණු කිරිම් කටයුතු සඳහාද කාරක සභාවේ අනුමතිය හිමිවිය.
ඒ අනුව, 2025 අයවැය ප්‍රතිපාදන සහ නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම කටයුතු සිදු කිරීමට නියමිතය.
සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල සැපයුම් පද්ධතියක් කථානායක නිල නිවසේ ස්ථාපිත කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිවිය.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගයෙන් මෙම කටයුතු සිදු කිරීමට යෝජිත අතර පාර්ලිමේන්තු සැපයුම් සහ සේවා කාර්යාංශය මගින් නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ සූර්ය බල පද්ධති දෙකක් ස්ථාපනය කිරීමට නියමිතය.