ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ මෝටර් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් තුන්දෙනෙකු පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නේය.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම සැකකරුවන් අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට පමුණුවනු ලැබීය.
එහිදී මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නොමැති බවත් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.
මෙම නඩුව මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය.
මෙම සැකකරුවන් අතර සිටි මොහොමඩ් ශෆ්නි නැමැති සැකකරු තමන්ට ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍යව තිබෙන බව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව සැකකරුවන් තුන්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෙසු සැකකරුවන් තුන්දෙනා හෙට (29) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.
(පෙර පුවත 2025 මැයි 28 පෙ.ව.9.24 )
හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 3ක් අත්ඩංගුවට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් ඊයේ (27) වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 04ක්ද කොළඹ දිසා අපරාධ කොට්ඨාශය සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකුරුවන් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නාරාහේන්පිට පොලීසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
සබැඳි පුවත්