Connect with us

පුවත්

බැසිල් පුටුවෙන් වැටිලා එක්තැන් වෙලා!

Published

on

මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඉකුත් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු මුදල් අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ මහතාට කර තිබූ නියෝගයකට ඒ මහතා පෙනී සිට නැතැයි වාර්තා වේ.මේ නඩුව, 

2017 වසරේ දී FCID ය විසින් ගොනුකර ඇති අතර, නීත්‍යානුකූල නොවන ආකාරයකින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ පන්සියයක් භාවිත කරමින් මාතර, එළියකන්ද ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් බිරියගේ සහෝදරියගේ නමට මිල දී ගැනීමේ සිද්ධියට අදාළව පවතී.

මෙම නඩුවේ පළමු සැකකරු ලෙස තිස්ස ගලප්පත්ති යන අයත්, දෙවැනි සැකකරු ලෙස මුදිත ජයකොඩි යන අයත්, තුන්වැනි සැකකරු ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාත්, සිවුවැනි සැකකාරිය ලෙස අමාත්‍යවරයාගේ බිරියගේ සහෝදරියක වන අයෝමි ගලප්පත්ති මහත්මියත් නම් කර ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනකු අධිකරණයේ පෙනී සිටිය ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරියගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති යන අය අධිකරණයේ පෙනී නොසිටියහ. 

මෙහි දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙලෙස පැවසුවා ය.

“ස්වාමීනී, මෙම නඩුවේ තුන්වැනි සැකකරු වන බැසිල් රාජපක්ෂට 2024 සැප්තැම්බර් මස 18 වැනි දින විදේශගතවීමට අවසර ලබා දී ඇත්තේ අද (23) දක්වා පමණයි. එවැනි පසුබිමක ඔහු අද අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැහැ. එබැවින් සාධාරණ හේතු දැක්වීමකින් තොරව අධිකරණය මඟහැරීම සම්බන්ධයෙන් ඔහුගේ ඇප අවලංගු කර වරෙන්තු නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

මෙහි දී බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙලෙස පැවසුවේය.

“ස්වාමීනී, මගේ සේවාදායකයා මැයි මස 18 සහ 19 දින යළි මෙරටට එන්න ගුවන් ටිකට්පත් වෙන් කරලයි තිබුණේ. නමුත් අමෙරිකාවේ සිටිය දී ඔහු පුටුවකින් ඇදවැටී අනතුරකට ලක්වෙලා ගෙල සහ ස්නායු ආශ්‍රිතව ආබාධ මතුවෙලා තිබෙනවා. මාස හයක් (06) ගුවන් ගමන්වල යෙදෙන්න එපා කියලා අමෙරිකාවේ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා”

එම අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් යළිත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය පවසා සිටියේ ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවල පරස්පරතා ඇති බවයි.

“ස්වාමීනී. මේ එක්ස්-රේ වාර්තා බැලුවාම බෙල්ලේ උලුක්කුවක්, වැරදි ඉරියව්වක් නිසා මාංස පේශිවල සුළු ඇඳීමක් පිළිබඳ විතරයි සටහන් වෙන්නේ. එසේම එය සතියකින් දෙකකින් සුවවෙන බවට වෛද්‍යවරුන් පවසා තිබෙනවා. වෛද්‍ය වාර්තා නිකුත් වී ඇත්තේ 2025 මාර්තු මස 18. ඔය කියන විදිහට මාස හයක් (06) ගුවන් ගමන්වලින් වළකින්න කියලා වෛද්‍ය වාර්තා නිර්දේශයක් තිබුණා නම් ඇයි මැයි මස 18, 19 දිනයන්හි ගුවන් ටිකට්පත් වෙන් කළේ. එම නිසා ස්වාමීනි, මෙම වෛද්‍ය වාර්තා පිළිනොගෙන සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස මා ඉල්ලා සිටිනවා” 

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා – 

“ස්වාමීනී, මගේ සේවාදායකයා ලෙඩක් නැතුවවත් ආවේ නැහැ කියලා පෙන්වන්න හදන්නේ හොරෙක් කියලා හිතල ද? නමුත් මේවා අමෙරිකාවේ වෛද්‍ය වාර්තා. අපේ වෛද්‍යවරුන් වගේ හොර නැහැ. ඊළඟ නඩු දිනයේ දී අධිකරණයට පැමිණෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව හරි කැමැතියි මගේ සේවාදායකයා, රාජපක්ෂලා ලොකු ලෙඩක් හැදිලා මැරිලා යනවා නම්. හොඳ වුණත් නරක වුණත් ඒ මිනිස්සුත් ලංකාවේ ඉන්න ඕනේ. මගේ සේවාදායකයා අද ආවේ නැත්තේ අසනීප තත්ත්වය නිසා. ඉදිරි නඩු දිනයේ ඔහු අධිකරණයට එනවා. ඒ නිසා ස්වාමිනී මේ අවස්ථාවේ ඔහුට වරෙන්තු නිකුත් කිරීමක් හෝ ඇප අවලංගු කිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නෑ.”

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුට වරෙන්තු නිකුත් කිරීමක් හෝ ඇප අවලංගු කිරීමක් නොකරන බව සඳහන් කරමින් ඉදිරි නඩු දිනයේ දී අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් නඩුව ලබන නොවැම්බර් 21 දක්වා කල් තැබීය.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

මෙරට පුද්ගලයකු වසරකට ප්ලාස්ටික් කිලෝ 12ක් පාරිභෝජනය කරනවා – ඇමැති ජයකොඩි

Published

on

By

මෙරට පුද්ගලයකු වසරකට දළ වශයෙන් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 12ක් පාරිභෝජනය කරන බව පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි පැවැසීය.

ලෝක පරිසර දිනය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙම මාධ්‍ය හමුව පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජූනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයේ තේමාව වන්නේ ‘ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය අවසන් කරමු’ යන්නයි.

කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී ජූනි 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලෝක පරිසර දිනය සැමරීමට සැලසුම් කර ඇති අතර, එහිදී ජනාධිපතිවරයා විසින් ‘කෑගලු ප්‍රකාශනය’ ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙරටදී වසරකට මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක (250,000)ක පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය වන බවත්, ඉන් සියයට දහයක් (10%)ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කෙරෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

ලෝකයේ ප්ලාස්ටික් පාරිභෝජනය ඉකුත් වසර (2024) වන විටදී මෙට්‍රික් ටොන් මිලියන හාරසිය විස්සක් පමණ වන බවද, මෙම ප්‍රමාණය වසර 2050 පමණ වන විටදී මෙට්‍රික් ටොන් බිලියන තිස් හතරක් දක්වා ඉහළ යනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.

සූර්යාලෝකය, බැක්ටීරියා ක්‍රියාකාරිත්වය ආදී විවිධාකාර හේතු මත ප්ලාස්ටික් කුඩා අංශුවලට (මිලි මීටර් පහට වඩා කුඩා අංශු) කැඩී ගොස් මයික්‍රෝ ප්ලාස්ටික් නිර්මාණය වන බවත්, මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම මයික්‍රෝ ප්ලාස්ටික් මිනිසුන්ගේ සහ සතුන්ගේ රුධිර වාහිනී පද්ධතිවලට එකතු වී ඒවාට හානි සිදුවන බව කී ඒ මහතා මයික්‍රෝ ප්ලාස්ටික් ජලයට එක්වීම නිසා ජලජ ජීවීන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවද සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) පත්මා අබේකෝන් මෙහිදී කියා සිටියේ මෙරටදී වසරකට ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස්නව දහසත් (249,000) – දෙලක්ෂ පනස දහසත් (250,000)ත් අතර ප්‍රමාණයෙන් සියයට හැත්තෑ තුනක් (73%)ක් පමණ එකතු කළද, ඉන් අනතුරුව සිදු කරන්නේ ඒවා විවිධ ස්ථානවල ගොඩගැසීම බවයි.

මුහුදු තෘණ පරිසර පද්ධතිය විසින් කාබන් අවශෝෂණය කරගන්නා බවත්, එය වනාන්තරවලට වඩා සිව් ගුණයත් දස ගුණයත් අතර ප්‍රමාණයකින් ඉහළ බවත් පෙන්වා දුන් ඇය මුහුදට ප්ලාස්ටික් එකතුවීම හේතුවෙන් මුහුදු තෘණ පරිසර පද්ධති විනාශ වන බවද සඳහන් කළාය.

Continue Reading

පුවත්

ස්ටාර්ෂිප් යානයේ සියලු සබඳතා බිඳ වැටෙයි

Published

on

By

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගම දියත් කළ මිනිසුන් රහිත වඩාත් බලගතු ස්ටාර්ෂිප් යානය සමඟ පැවති සියලු සබඳතා බිඳවැටී තිබේ.

මේ අනුව යානය කැබලිවලට කැඩී ඉන්දීය සාගරය මතට ඇදවැටෙනු ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම අද සිය 9 වැනි ස්ටාර්ෂිප් අභ්‍යවකාශ චාරිකාව සිදුකළා.

ඒ අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

කෙසේ නමුත් ස්ටාර්ෂිප් යානාව සමඟ පැවති සියලු සබඳතා බිඳවැටුණු බවට එම සමාගම නිවේදනය කළේ ගුවන්ගමනේ අසාර්ථකත්වය සනිටුහන් කරමින්ය.

SpaceX සමාගමට අනුව යානයේ කොටස් කඩාවැටීමට නියමිතව ඇත්තේ ඉන්දීය සාගර කලාපය වෙතටයි.

මේ අනුව එහි සැලකිය යුතු කලාපයක් නිදහස්ව තැබිය යුතු බවත්, ගුවන්ගමන් පවා වෙනස් කිරීමට සිදුවනු ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ නමුත් යානයේ කොටස් ඇදවැටීමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තාවී නොමැති බව එම සමාගම පවසයි.

Continue Reading

පුවත්

මීගමුවේ අදත් වෙඩි තැබීමක්

Published

on

By

මීගමුව, තලාදූව ප්‍රදේශයේ දී අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

පෞද්ගලික හේතුවක් මුල්කර ගනිමින් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි වාර්තා වේ.

පුද්ගලයින් දෙදෙනෙකු එකිනෙකා අතර අද සවස් කාලයේ දී බහින්බස් වීමක් හට ගෙන ඇති අතර, පසුව එක් අයෙකු සන්තකයේ තිබූ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිතැබීමෙන් ජීවිත හානි සිදුව නොමැති බවද වාර්තා වේ.

කෙසේවෙතත් මීගමුව පොලීසිය විසින් අදාළ පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවියට නීත්‍යානුකූල බලපත්‍රයක් ඇති බවත් අදාළ පුද්ගලයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවටත් කරුණු හෙළිදරව් වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved