Connect with us

පුවත්

ජනපති හා නවසීලන්ත නියෝජ්‍ය අගමැති අතර හමුවක්

Published

on

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් (Winston Peters) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි සිදු විය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද ලැබු සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජය වෙත නවසීලන්ත රජයේ සහ ජනතාවගේ සුබපැතුම් පිරිනැමූ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා ඉතා ශක්තිමත් ලෙස තහවුරු කර ගැනීම තම රජයේ අරමුණ බවද කියා සිටියේය. 

නව රජය යටතේ ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින ධනාත්මක වර්ධනය පිළිබඳ සතුට පළ කළ නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් නව රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය.

එමෙන්ම රට නිවැරදි දිශාවට ගෙන යාමේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැසසුමට ලක් කළ අතර,  ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධනයක් උදා කිරීමට එම වැඩපිළිවෙළ ඉවහල් වනු ඇති බවට විශ්වාසය පළ කළේය. 

මෙම පසුබිම තුළ නවසීලන්ත රජය ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහාය ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකා – නවසීලන්ත සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බව සඳහන් කළේය. 

එමෙන්ම  ජනතාව අතර දිගු කලක් තිස්සේ පැවති බෙදීම් දිගුකාලීන ගැටුම්වලට හේතු වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංහිඳියාවේ වැදගත්කම පිළිබඳවද පැහැදිලි කළ අතර තම රජය සංහිඳියා ක්‍රියාවලියේ ප්‍රධාන කුළුණ ලෙස ජාතික සමගිය ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී තිබෙන බව ප්‍රකාශ කළේය.

කෘෂිකර්මාන්ත, අධ්‍යාපන සහ සංචාරක යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දෙරටම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන මෙම ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් සමීපව කටයුතු කිරීමටද මෙහිදී එකඟ වුහ.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්  රෝෂන් ගමගේ යන මහත්වරු  සහ නවසිලන්ත විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

මෙරට පුද්ගලයකු වසරකට ප්ලාස්ටික් කිලෝ 12ක් පාරිභෝජනය කරනවා – ඇමැති ජයකොඩි

Published

on

By

මෙරට පුද්ගලයකු වසරකට දළ වශයෙන් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 12ක් පාරිභෝජනය කරන බව පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි පැවැසීය.

ලෝක පරිසර දිනය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙම මාධ්‍ය හමුව පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජූනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයේ තේමාව වන්නේ ‘ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය අවසන් කරමු’ යන්නයි.

කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී ජූනි 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලෝක පරිසර දිනය සැමරීමට සැලසුම් කර ඇති අතර, එහිදී ජනාධිපතිවරයා විසින් ‘කෑගලු ප්‍රකාශනය’ ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙරටදී වසරකට මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක (250,000)ක පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය වන බවත්, ඉන් සියයට දහයක් (10%)ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කෙරෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

ලෝකයේ ප්ලාස්ටික් පාරිභෝජනය ඉකුත් වසර (2024) වන විටදී මෙට්‍රික් ටොන් මිලියන හාරසිය විස්සක් පමණ වන බවද, මෙම ප්‍රමාණය වසර 2050 පමණ වන විටදී මෙට්‍රික් ටොන් බිලියන තිස් හතරක් දක්වා ඉහළ යනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.

සූර්යාලෝකය, බැක්ටීරියා ක්‍රියාකාරිත්වය ආදී විවිධාකාර හේතු මත ප්ලාස්ටික් කුඩා අංශුවලට (මිලි මීටර් පහට වඩා කුඩා අංශු) කැඩී ගොස් මයික්‍රෝ ප්ලාස්ටික් නිර්මාණය වන බවත්, මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම මයික්‍රෝ ප්ලාස්ටික් මිනිසුන්ගේ සහ සතුන්ගේ රුධිර වාහිනී පද්ධතිවලට එකතු වී ඒවාට හානි සිදුවන බව කී ඒ මහතා මයික්‍රෝ ප්ලාස්ටික් ජලයට එක්වීම නිසා ජලජ ජීවීන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවද සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) පත්මා අබේකෝන් මෙහිදී කියා සිටියේ මෙරටදී වසරකට ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස්නව දහසත් (249,000) – දෙලක්ෂ පනස දහසත් (250,000)ත් අතර ප්‍රමාණයෙන් සියයට හැත්තෑ තුනක් (73%)ක් පමණ එකතු කළද, ඉන් අනතුරුව සිදු කරන්නේ ඒවා විවිධ ස්ථානවල ගොඩගැසීම බවයි.

මුහුදු තෘණ පරිසර පද්ධතිය විසින් කාබන් අවශෝෂණය කරගන්නා බවත්, එය වනාන්තරවලට වඩා සිව් ගුණයත් දස ගුණයත් අතර ප්‍රමාණයකින් ඉහළ බවත් පෙන්වා දුන් ඇය මුහුදට ප්ලාස්ටික් එකතුවීම හේතුවෙන් මුහුදු තෘණ පරිසර පද්ධති විනාශ වන බවද සඳහන් කළාය.

Continue Reading

පුවත්

ස්ටාර්ෂිප් යානයේ සියලු සබඳතා බිඳ වැටෙයි

Published

on

By

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගම දියත් කළ මිනිසුන් රහිත වඩාත් බලගතු ස්ටාර්ෂිප් යානය සමඟ පැවති සියලු සබඳතා බිඳවැටී තිබේ.

මේ අනුව යානය කැබලිවලට කැඩී ඉන්දීය සාගරය මතට ඇදවැටෙනු ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම අද සිය 9 වැනි ස්ටාර්ෂිප් අභ්‍යවකාශ චාරිකාව සිදුකළා.

ඒ අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

කෙසේ නමුත් ස්ටාර්ෂිප් යානාව සමඟ පැවති සියලු සබඳතා බිඳවැටුණු බවට එම සමාගම නිවේදනය කළේ ගුවන්ගමනේ අසාර්ථකත්වය සනිටුහන් කරමින්ය.

SpaceX සමාගමට අනුව යානයේ කොටස් කඩාවැටීමට නියමිතව ඇත්තේ ඉන්දීය සාගර කලාපය වෙතටයි.

මේ අනුව එහි සැලකිය යුතු කලාපයක් නිදහස්ව තැබිය යුතු බවත්, ගුවන්ගමන් පවා වෙනස් කිරීමට සිදුවනු ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ නමුත් යානයේ කොටස් ඇදවැටීමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තාවී නොමැති බව එම සමාගම පවසයි.

Continue Reading

පුවත්

මීගමුවේ අදත් වෙඩි තැබීමක්

Published

on

By

මීගමුව, තලාදූව ප්‍රදේශයේ දී අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

පෞද්ගලික හේතුවක් මුල්කර ගනිමින් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි වාර්තා වේ.

පුද්ගලයින් දෙදෙනෙකු එකිනෙකා අතර අද සවස් කාලයේ දී බහින්බස් වීමක් හට ගෙන ඇති අතර, පසුව එක් අයෙකු සන්තකයේ තිබූ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිතැබීමෙන් ජීවිත හානි සිදුව නොමැති බවද වාර්තා වේ.

කෙසේවෙතත් මීගමුව පොලීසිය විසින් අදාළ පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවියට නීත්‍යානුකූල බලපත්‍රයක් ඇති බවත් අදාළ පුද්ගලයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවටත් කරුණු හෙළිදරව් වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved