මෙරට පුද්ගලයකු වසරකට දළ වශයෙන් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 12ක් පාරිභෝජනය කරන බව පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි පැවැසීය.
ලෝක පරිසර දිනය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙම මාධ්‍ය හමුව පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ජූනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයේ තේමාව වන්නේ ‘ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය අවසන් කරමු’ යන්නයි.
කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී ජූනි 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලෝක පරිසර දිනය සැමරීමට සැලසුම් කර ඇති අතර, එහිදී ජනාධිපතිවරයා විසින් ‘කෑගලු ප්‍රකාශනය’ ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙරටදී වසරකට මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක (250,000)ක පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය වන බවත්, ඉන් සියයට දහයක් (10%)ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කෙරෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
ලෝකයේ ප්ලාස්ටික් පාරිභෝජනය ඉකුත් වසර (2024) වන විටදී මෙට්‍රික් ටොන් මිලියන හාරසිය විස්සක් පමණ වන බවද, මෙම ප්‍රමාණය වසර 2050 පමණ වන විටදී මෙට්‍රික් ටොන් බිලියන තිස් හතරක් දක්වා ඉහළ යනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.
සූර්යාලෝකය, බැක්ටීරියා ක්‍රියාකාරිත්වය ආදී විවිධාකාර හේතු මත ප්ලාස්ටික් කුඩා අංශුවලට (මිලි මීටර් පහට වඩා කුඩා අංශු) කැඩී ගොස් මයික්‍රෝ ප්ලාස්ටික් නිර්මාණය වන බවත්, මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම මයික්‍රෝ ප්ලාස්ටික් මිනිසුන්ගේ සහ සතුන්ගේ රුධිර වාහිනී පද්ධතිවලට එකතු වී ඒවාට හානි සිදුවන බව කී ඒ මහතා මයික්‍රෝ ප්ලාස්ටික් ජලයට එක්වීම නිසා ජලජ ජීවීන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවද සඳහන් කළේය.
පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) පත්මා අබේකෝන් මෙහිදී කියා සිටියේ මෙරටදී වසරකට ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස්නව දහසත් (249,000) – දෙලක්ෂ පනස දහසත් (250,000)ත් අතර ප්‍රමාණයෙන් සියයට හැත්තෑ තුනක් (73%)ක් පමණ එකතු කළද, ඉන් අනතුරුව සිදු කරන්නේ ඒවා විවිධ ස්ථානවල ගොඩගැසීම බවයි.
මුහුදු තෘණ පරිසර පද්ධතිය විසින් කාබන් අවශෝෂණය කරගන්නා බවත්, එය වනාන්තරවලට වඩා සිව් ගුණයත් දස ගුණයත් අතර ප්‍රමාණයකින් ඉහළ බවත් පෙන්වා දුන් ඇය මුහුදට ප්ලාස්ටික් එකතුවීම හේතුවෙන් මුහුදු තෘණ පරිසර පද්ධති විනාශ වන බවද සඳහන් කළාය.