Connect with us

පුවත්

රාජ්‍ය අනුග්‍රයද ? රාජ්‍ය ගෞරවයද ? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

Published

on

හෙළයේ නිළි රැජිණ, රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වූ බවත්, ගෞරව සහිතව සිදු කළ යුතු කටයුත්තකදී ලබා දිය යුතු පහසුකම් ඒ සඳහා ලබා දුන් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් දෙනෙකු මෙය පටලවාගෙන ඇත්තේ, රාජ්‍ය ගෞරවය ලබා දීමේදී ඇතුළත් කළ යුතු අංග මෙම කටයුතු සඳහා ඇතුළත් කිරීම හේතුවෙන් විය යුතු බවය.

එමෙන්ම, මෙහිදී වඩා වැදගත් වූයේ මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ අයගේ කැමැත්ත අකමැත්ත බවත් එහිදී පවතින ක්‍රමවේදයක් පමණක් සලකා බැලීමකින් තොරව පවුලේ කැමත්තට මූලිකත්වය දී කටයුතු කළ බවත් නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේය

“රාජ්‍ය ගෞරවය, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා වන නිර්නායකයන් කිහිපයක් පවතිනවා. පූර්ණ රාජ්‍ය ගෞරව, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය ගෞරව, වෙනත් ආදි ලෙස මෙවැනි අවස්ථාවලදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ…

“ඒ අනුව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා ඒ වගේම රාජ්‍ය ගෞරව සහිතව සිදුකළ යුතු කටයුතුවලදී ලබාදිය යුතුයම් පහසුකම්ද සහිතව. පූර්ණ රාජ්‍ය අනුග්‍රහයකටත් වඩා රාජ්‍ය ගෞරවයකදී ලබාදිය යුතු දේවලුත් ඇතුළත් කරලා තමයි අපි මේ කටයුතු සිදුකළේ. ඊටත් වඩා මෙතනදි වැදගත් වෙන්නේ මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයින්ගේ කැමැත්ත අකමැත්ත. ඒ අයත් සමග සාකච්ඡා කරලා තමයි මේ තීන්දුව ගත්තේ. වෙන ක්‍රමවේදයන් ඔස්සේ පමණක්ම නෙමෙයි අපි මේ ක්‍රමවේද ඉදිරිපත් කරලා කැමැත්ත අකමැත්ත විමසලා බැලුවා. ඒ අයගේ කැමැත්ත අකමැත්ත මත තමයි සමහර දේවල් අපි කළේ…”

මේ අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේදී මාලනී ෆොන්සේකා මහත්මියට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධවද මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියහ.

ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අරමුදලින් ලබා ගත් අරමුදල් සම්බන්ධ තොරතුරු තමා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ බවය.

“මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අරමුදලින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තොරතුරු. එතන මිලියන 1,220ක් සම්බන්ධයෙන් ඒ තොරතුරු. එතන කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, දිමු ජයරත්න, දයාසිරි ජයසේකර, ඇතුළු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තමයි මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ….”

“….මම හිතන්නේ මේක විකෘති කරලා පසුගිය දවස් කීපයේ තමයි මේක වාර්තා කරලා තිබුණේ. අපි ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත අය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක ඉතිං තව කලාකරුවන්ට ලබා දීලා තියෙනවා, ලබා දෙන්න පුළුවන්. කලාකරුවන්ට ලබා දුන් වාර්තාවක් අපි ඉදිරිපත් කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. මාලනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් අපිට නිසි ගෞරවය තියෙනවා. සිනමාවට කරන ලද ඉතා ඉහළ  කැප කිරීම සම්බන්ධව රටක් විදිහට අපේ ඇගයීමක් තියෙනවා…..”

ඒ නිසා මම හිතනවා රජයක් හැටියට ඇයට ලබා දිය හැකි ඉහළම ගෞරවය පවුලේ කැමැත්ත අනුව අපි ලබා දුන්නා. ඒ අය මේකෙන් සෑහීමකට පත්වෙනවා…”

පුවත්

මෙරට පුද්ගලයකු වසරකට ප්ලාස්ටික් කිලෝ 12ක් පාරිභෝජනය කරනවා – ඇමැති ජයකොඩි

Published

on

By

මෙරට පුද්ගලයකු වසරකට දළ වශයෙන් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 12ක් පාරිභෝජනය කරන බව පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි පැවැසීය.

ලෝක පරිසර දිනය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙම මාධ්‍ය හමුව පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජූනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයේ තේමාව වන්නේ ‘ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය අවසන් කරමු’ යන්නයි.

කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී ජූනි 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලෝක පරිසර දිනය සැමරීමට සැලසුම් කර ඇති අතර, එහිදී ජනාධිපතිවරයා විසින් ‘කෑගලු ප්‍රකාශනය’ ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙරටදී වසරකට මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක (250,000)ක පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය වන බවත්, ඉන් සියයට දහයක් (10%)ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කෙරෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

ලෝකයේ ප්ලාස්ටික් පාරිභෝජනය ඉකුත් වසර (2024) වන විටදී මෙට්‍රික් ටොන් මිලියන හාරසිය විස්සක් පමණ වන බවද, මෙම ප්‍රමාණය වසර 2050 පමණ වන විටදී මෙට්‍රික් ටොන් බිලියන තිස් හතරක් දක්වා ඉහළ යනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.

සූර්යාලෝකය, බැක්ටීරියා ක්‍රියාකාරිත්වය ආදී විවිධාකාර හේතු මත ප්ලාස්ටික් කුඩා අංශුවලට (මිලි මීටර් පහට වඩා කුඩා අංශු) කැඩී ගොස් මයික්‍රෝ ප්ලාස්ටික් නිර්මාණය වන බවත්, මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම මයික්‍රෝ ප්ලාස්ටික් මිනිසුන්ගේ සහ සතුන්ගේ රුධිර වාහිනී පද්ධතිවලට එකතු වී ඒවාට හානි සිදුවන බව කී ඒ මහතා මයික්‍රෝ ප්ලාස්ටික් ජලයට එක්වීම නිසා ජලජ ජීවීන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවද සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) පත්මා අබේකෝන් මෙහිදී කියා සිටියේ මෙරටදී වසරකට ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස්නව දහසත් (249,000) – දෙලක්ෂ පනස දහසත් (250,000)ත් අතර ප්‍රමාණයෙන් සියයට හැත්තෑ තුනක් (73%)ක් පමණ එකතු කළද, ඉන් අනතුරුව සිදු කරන්නේ ඒවා විවිධ ස්ථානවල ගොඩගැසීම බවයි.

මුහුදු තෘණ පරිසර පද්ධතිය විසින් කාබන් අවශෝෂණය කරගන්නා බවත්, එය වනාන්තරවලට වඩා සිව් ගුණයත් දස ගුණයත් අතර ප්‍රමාණයකින් ඉහළ බවත් පෙන්වා දුන් ඇය මුහුදට ප්ලාස්ටික් එකතුවීම හේතුවෙන් මුහුදු තෘණ පරිසර පද්ධති විනාශ වන බවද සඳහන් කළාය.

Continue Reading

පුවත්

ස්ටාර්ෂිප් යානයේ සියලු සබඳතා බිඳ වැටෙයි

Published

on

By

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගම දියත් කළ මිනිසුන් රහිත වඩාත් බලගතු ස්ටාර්ෂිප් යානය සමඟ පැවති සියලු සබඳතා බිඳවැටී තිබේ.

මේ අනුව යානය කැබලිවලට කැඩී ඉන්දීය සාගරය මතට ඇදවැටෙනු ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම අද සිය 9 වැනි ස්ටාර්ෂිප් අභ්‍යවකාශ චාරිකාව සිදුකළා.

ඒ අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

කෙසේ නමුත් ස්ටාර්ෂිප් යානාව සමඟ පැවති සියලු සබඳතා බිඳවැටුණු බවට එම සමාගම නිවේදනය කළේ ගුවන්ගමනේ අසාර්ථකත්වය සනිටුහන් කරමින්ය.

SpaceX සමාගමට අනුව යානයේ කොටස් කඩාවැටීමට නියමිතව ඇත්තේ ඉන්දීය සාගර කලාපය වෙතටයි.

මේ අනුව එහි සැලකිය යුතු කලාපයක් නිදහස්ව තැබිය යුතු බවත්, ගුවන්ගමන් පවා වෙනස් කිරීමට සිදුවනු ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ නමුත් යානයේ කොටස් ඇදවැටීමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තාවී නොමැති බව එම සමාගම පවසයි.

Continue Reading

පුවත්

මීගමුවේ අදත් වෙඩි තැබීමක්

Published

on

By

මීගමුව, තලාදූව ප්‍රදේශයේ දී අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

පෞද්ගලික හේතුවක් මුල්කර ගනිමින් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි වාර්තා වේ.

පුද්ගලයින් දෙදෙනෙකු එකිනෙකා අතර අද සවස් කාලයේ දී බහින්බස් වීමක් හට ගෙන ඇති අතර, පසුව එක් අයෙකු සන්තකයේ තිබූ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිතැබීමෙන් ජීවිත හානි සිදුව නොමැති බවද වාර්තා වේ.

කෙසේවෙතත් මීගමුව පොලීසිය විසින් අදාළ පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවියට නීත්‍යානුකූල බලපත්‍රයක් ඇති බවත් අදාළ පුද්ගලයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවටත් කරුණු හෙළිදරව් වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved