නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා සහකාර පොලිස් අධිකාරවරුන් සඳහා පවතින බලතල සංශෝධනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජුනි මස පළමුවන දින එනම් හෙට දින සිට බලාත්මක වන පරිදි ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
නව ගැසට් නිවේදනය හරහා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, මහ සැරයන් හා ඊට පහළ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන්, අනුමත කාර්ය පටිපාටි ප්‍රකාරව තම පරිපාලන බලප්‍රදේශය තුළ ස්ථාන මාරුකිරීමේ බලතල පවරා තිබේ.
එමෙන්ම අදාළ නිලයන්ට අයත් පොලිස් නිලධාරින් වැඩතහනමට ලක්කිරීම හා විනය පාලන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ බලතල ද නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පවරා ඇති බව ගැසට් නිවේදනයේ සඳහන්.
කෙසේවෙතත් එම නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් සේවය අතහැර යාම සම්බන්ධයෙන් කරනු ලබන නියෝගවලට එරෙහි අභියාචනා සලකාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබාදී තිබූ බලතල නව ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබේ.
සහකාර පොලිස් අධිකාරීවරුන්ට, පොලිස් පරීක්ෂක සහ පොලිස් පරික්ෂක නිලයට පහළ නිලයන් දරන නිලධාරීන් සහ පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන් සඳහා තම පරිපාලන බලප්‍රදේශය තුළ විනය ශාලා දඬුවම් නියම කිරීමට බලතල පවරා ඇති බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.
මේ අතර පොලිස්පතිවරයා හෝ පොලිස් නිලධාරියෙකු විසින් ලබාදුන් කිසියම් නියෝගයක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන පොලිස් නිලධාරියෙකු හට අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන පරිදි තවත් ගැසට් නිවේදනයක් ජාතික පොලිස් කොමිසන් සභාව මගින් නිකුත් කර ඇත.
උසස්වීමක්, ස්ථාන මාරුකිරීමක් හෝ විනය කරුණක් සම්බන්ධයෙන් ලබාදුන් කිසියම් නියෝගයකට හෝ සේවයෙන් පහකිරීමක් පිළිබඳව අතෘප්තියට පත්වන නිලධාරීන්ට ඊට එරෙහිව ලිඛිත අභියාචනයක් ජාතික පොලිස් කොමිසම වෙත යොමුකිරීමේ හැකියාව පවතින බව එහි දැක්වෙයි.
ඊට අදාළ කොන්දේසි මාලාවක් ද ජාතික පොලිස් කොමිසම විසින් ගැසට් නිවේදනය හරහා ප්‍රකාශයට පත්කර තිබේ.