Connect with us

පුවත්

බදු  ගෙවන සියලුදෙනාට ජනපතිගෙන් ආරාධනයක් (UPDATE)

Published

on

මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, බදු ගෙවන සියලුදෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බවය.

මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පුරවැසියාට කාර්යක්ෂතාවයෙන් යුතු රාජ්‍ය සේවයක් ලබාදීමට ඩිජිටල්කරණය හඳුන්වාදෙන බව ද පැවසු ජනාධිපතිවරයා, රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති කළු යාන්ත්‍රණය බිඳ දමා සියලුදෙනා නීතියට අවනත වෙන ක්‍රියාවලියක් සකස් කරන බව ද කියා සිටියේය.

“බදු මුදල් ගැන ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු ලබාගැනීම ප්‍රශ්නයක් පමණක් නොව. එතැනින් එහාට ගිය ජාලගත ප්‍රශ්නයක් මෙතෙන තියෙනවා. අපිට රේගුවට, සුරාබදු එකට චෝදනා කළ හැකි වුවත් ඵලක් නෑ. මෙය එකට ගොඩගැහුණු එකිනෙකට අන්තර් සබඳතා ඇති ජාලයක්. එය බිඳිය යුතු නැද්ද ? රාජ්‍ය යාන්ත්‍රණය මීට සුදානම් විය යුතුයි. එසේ නොමැති නම් කල්තියා යන්න පුළුවන්. මම අවංකව කියන්නේ. මෙම යාන්ත්‍රණය බිඳින්නේ නැත්නම් රට අඟලක්වත් මෙතැනින් එහාට යන්නේ නෑ. අර්බුදයේ ගැඹුරටම යන්න පුළුවන්. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. ව්‍යාපාරිකයෝ සාධාරණ ලෙස ව්‍යාපාර කරලා, ඔවුන් සාධාරණ බද්දක් ගෙවනවා නම් එය ආරක්ෂා කරගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක්. එනිසා බදු මුදල් ගෙවන හැමෝටම මම ආරාධනා කරනවා. “ඔබ ගෙවන්න…අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා.” රුපියලක් නාස්ති කරනවා හෝ වංචා කරනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම අපි මැදිහත් වෙන බව මම සහතික වෙන්නම්.”

“බදු ශක්ති” නමින් ක්‍රියාත්මක මෙම බදු සතිය අද සිට ලබන 07වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මේ අතර, 2024 – 2025 තක්සේරු වර්ෂයේ සිට අදාල බදු ගෙවීම් සම්බන්ධ වර්තාවන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එක් කිරීම අද සිට දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත වේදීකාවක් ඔස්සේ පමණක් සිදුවන අතර එම මාර්ගගත වේදීකාව රටේ ජනතාව වෙනුවෙන් විවෘත කිරීම අද උදෑසන සිදුවිය.

එය සංකේතවත් කරමින් පළමු බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත් වේදීකාවට එක් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී සිදුවිය.


(පෙර පුවත 2025 ජුනි 02 පෙ.ව.8.17 )

අදින් ආරම්භ වෙන “ජාතික බදු සතිය”

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

“බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද සිට ලබන 07වනදා දක්වා වු සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කළේය.

ඡායාරූප සටහන

කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ “තක්කඩ” පැළ සිටුවයි (ඡායා)

Published

on

By

ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවා රැක බලාගැනීම සඳහා වන ව්‍යාපෘතිය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 

ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින්  “තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද ආරම්භ කෙරුණු අතර එය ඉදිරියේදී පැළ 6000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ලවණ පරිසරයට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාක විශේෂ දෙකකින් යුත් මෙම “තක්කඩ ශාකය” රතු දත්ත ලැයිස්තු වාර්තාවට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයකි. අද දින මෙම ස්ථානයේ රෝපණය කෙරුණු Scaevola taccada ශාක විශේෂය අඩි 5 ක් 6 ක් පමණ උසට පඳුරු වශයෙන් වැඩෙන ශාක විශේෂයක් වන බැවින් නාගරික පරිසරයට ගැලපෙන නිර්දේශිත උස ප්‍රමාණයකින් සහ හරිත වර්ණයකින් යුතු ඉතා ආකර්ශනීය ශාකයක් ලෙස නගරයට අලංකාරයක් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය පරිසර හා රථ වාහන කොට්ඨාස, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා එල් බී ෆිනෑන්ස් සමාගම සහ හෙම්සඳූ මාර්කටින් වෙළඳ ආයතනය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. 

කොළඹ නාගරික මන්ත්‍රී ව්‍රායි කලී බල්තසාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුල්‍ය හා ආර්ථික කටයුතු) ජී. එම. ආර්. ඩී. අපොන්සු යන මහත්ම මහත්මීන් සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

පැය 7කට පස්සේ එළියට බැස්ස ශෂීන්ද්‍ර (UPDATE)

Published

on

By

අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම පැය 7 1/2ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම හරහා රජයට පාඩු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 ජූනි 05 පෙ.ව.9.47 )

ශෂීන්ද්‍ර  අල්ලස් කොමිසමට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

පොල් වගාකරුවන්ට ගෙවන වන්දි මුදල ඉහළට

Published

on

By

මාතර දිස්ත්‍රික්කය තුළ කලක සිට බරපතළ තත්ත්වයේ පවතින ‍පොල් වගාව ආශ්‍රිත ‘වැලිගම කොළ මැලවීමේ රෝගය හා කුණුවීමේ රෝගය’ පාලනය කිරීම සඳහා එම ගස් කපා ඉවත් කරන්නන් සඳහා ගෙවන මුදල වැඩිකර තිබේ.

පොල් වගාකිරීමේ මණ්ඩලය පවසා සිටින්නේ, රෝගී තත්ත්වයට ගොදුරු වූ පොල් ගස් කපා ඉවත්කිරීම වෙනුවෙන් වගාකරුවන්ට මෙතෙක් ලබාදුන් රුපියල් 3,000ක වන්දි මුදල රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි.

දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති මෙම රෝගය එම පළාතේ පොල් වතුවල තවදුරටත් ඇත්නම් එම රෝගී ගස් කපා ඉවත්කරන මෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් වගා කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම රෝගය අනෙකුත් පොල් ගස් අතර පැතිරයාම වැළැක්වීමට ඇති එකම විකල්පය එය වන අතර, ඒ  හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පොල් ගස් 6,200ක ප්‍රමාණයක් මාස 3ක් ඇතුළත කපාදැමීම සඳහා සලකුණු කර ඇත.

මේ වෙනුවෙන් විශාල පිරිස් බල ඇණියක් සහ විවිධ දෙපාර්තමේන්තුවල සහභාගිත්වයෙන් සිදුකිරීමට ඊයේ (4) පැවති මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ජාතික සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද තීරණය වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ මෙම රෝගය ව්‍යාප්ත වී ඇති භූමි ප්‍රමාණය මුළු දිවයිනේම පොල් වගාකරන සමස්ත භුමි ප්‍රමාණයෙන් 5%ක් වේ.

දකුණු පළාතේ 2024 වර්ෂය තුළ වාර්තා වී ඇති පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 854.93ක් වේ.

මේ අතර කපා ඉවත්කරනු ලබන පොල්ගස් වෙනුවෙන් අලුතින් සිටුවීම සඳහා පොල් පැළ ලබාදීමේ විශේෂ වැඩසටහනක්ද පොල් වගා කිරීම මණ්ඩලය මගින් ආරම්භකර ඇත.

කොළ මැලවීම හා කුණුවීමේ රෝගය පිළිබඳව 2008 වසරේදී පමණ පොල් වගාකිරීමේ මණ්ඩලය වෙත වාර්තාවීමෙන් පසුව එම තත්ත්වය හඳුනාගැනීම හා පාලනය කිරීම සඳහා වන ප්‍රතිකර්මයන් පිළිබඳව පොල් පර්යේෂණ ආයතනය සමග එක්ව පර්යේෂණ කටයුතු සිදුකරන ලදී.

එහිදී මෙම රෝගී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කිසිඳු ප්‍රතිකර්මයක්, පලිබෝධ නාශකයක් උපකාරී නොවන බව පරීක්ෂණ මගින් තහවුරු විය.

මෙම රෝගය අනෙකුත් පොල් ගස් වෙතද පැතිරී යන බව නිරීක්ෂණය වූ බැවින් හා එම තත්ත්වය වැළැක්වීම සඳහා වෙනත් කිසිඳු විකල්පයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරු කරගැනීමෙන් පසුව මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වන එකම විසඳුම ලෙස මෙම රෝගය වැළඳුන පොල් ගස් විනාශ කිරීම 2010 වසරේදී පමණ ආරම්භ කරන ලදී.

මෙම රෝගී තත්ත්වය පිළිබඳව වගාකරුවන් දැනුවත් කලද මුල් අවස්ථාවේදී රෝගය වැළඳුන පොල් ගස්වලින් වසරක් 2 ක් පමණ යන තෙක් කැපී පෙනෙන රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බැවින් හා ඵල දරණ පොල් ගස් කපා ඉවත් කිරීමට පොල් වගාකරුවන් මැලිකමක් හා අකමැත්තක් දැක්වූ බැවින් මෙම රෝගය දකුණු පළාත තුළ ක්‍රමයෙන් ව්‍යාප්ත විය.

එනමුත් මේ වනවිට, පොල් වගාකරුවන්ගේ සහයෝගයෙන් හා පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් රෝගී ගස් හඳුනා ගැනීම, එම ගස් සලකුණු කිරීම, ගස් එන්නත් කිරීම හා විනාශ කිරීම යන ක්‍රියාවලිය නිසි පරිදි සිදු කිරීම මගින් දකුණු පළාත තුළ මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී තිබූ ග්‍රාම නිලධාරී වසම් 692න් ග්‍රාම නිලධාරී වසම් 80ක් මෙම රෝගී තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකිවී තිබේ.

මේ හේතුවෙන් මෙම රෝගයට ගොදුරු වු බවට හඳුනාගනු ලැබූ ග්‍රාම නිලධාරී වසම් 692න් එහාට මෙම රෝගය පැතිරී යාම වළක්වා ගැනීමට මේ වනවිට හැකිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved