Connect with us

පුවත්

පොල් වගාකරුවන්ට ගෙවන වන්දි මුදල ඉහළට

Published

on

මාතර දිස්ත්‍රික්කය තුළ කලක සිට බරපතළ තත්ත්වයේ පවතින ‍පොල් වගාව ආශ්‍රිත ‘වැලිගම කොළ මැලවීමේ රෝගය හා කුණුවීමේ රෝගය’ පාලනය කිරීම සඳහා එම ගස් කපා ඉවත් කරන්නන් සඳහා ගෙවන මුදල වැඩිකර තිබේ.

පොල් වගාකිරීමේ මණ්ඩලය පවසා සිටින්නේ, රෝගී තත්ත්වයට ගොදුරු වූ පොල් ගස් කපා ඉවත්කිරීම වෙනුවෙන් වගාකරුවන්ට මෙතෙක් ලබාදුන් රුපියල් 3,000ක වන්දි මුදල රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි.

දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති මෙම රෝගය එම පළාතේ පොල් වතුවල තවදුරටත් ඇත්නම් එම රෝගී ගස් කපා ඉවත්කරන මෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් වගා කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම රෝගය අනෙකුත් පොල් ගස් අතර පැතිරයාම වැළැක්වීමට ඇති එකම විකල්පය එය වන අතර, ඒ  හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පොල් ගස් 6,200ක ප්‍රමාණයක් මාස 3ක් ඇතුළත කපාදැමීම සඳහා සලකුණු කර ඇත.

මේ වෙනුවෙන් විශාල පිරිස් බල ඇණියක් සහ විවිධ දෙපාර්තමේන්තුවල සහභාගිත්වයෙන් සිදුකිරීමට ඊයේ (4) පැවති මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ජාතික සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද තීරණය වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ මෙම රෝගය ව්‍යාප්ත වී ඇති භූමි ප්‍රමාණය මුළු දිවයිනේම පොල් වගාකරන සමස්ත භුමි ප්‍රමාණයෙන් 5%ක් වේ.

දකුණු පළාතේ 2024 වර්ෂය තුළ වාර්තා වී ඇති පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 854.93ක් වේ.

මේ අතර කපා ඉවත්කරනු ලබන පොල්ගස් වෙනුවෙන් අලුතින් සිටුවීම සඳහා පොල් පැළ ලබාදීමේ විශේෂ වැඩසටහනක්ද පොල් වගා කිරීම මණ්ඩලය මගින් ආරම්භකර ඇත.

කොළ මැලවීම හා කුණුවීමේ රෝගය පිළිබඳව 2008 වසරේදී පමණ පොල් වගාකිරීමේ මණ්ඩලය වෙත වාර්තාවීමෙන් පසුව එම තත්ත්වය හඳුනාගැනීම හා පාලනය කිරීම සඳහා වන ප්‍රතිකර්මයන් පිළිබඳව පොල් පර්යේෂණ ආයතනය සමග එක්ව පර්යේෂණ කටයුතු සිදුකරන ලදී.

එහිදී මෙම රෝගී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කිසිඳු ප්‍රතිකර්මයක්, පලිබෝධ නාශකයක් උපකාරී නොවන බව පරීක්ෂණ මගින් තහවුරු විය.

මෙම රෝගය අනෙකුත් පොල් ගස් වෙතද පැතිරී යන බව නිරීක්ෂණය වූ බැවින් හා එම තත්ත්වය වැළැක්වීම සඳහා වෙනත් කිසිඳු විකල්පයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරු කරගැනීමෙන් පසුව මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වන එකම විසඳුම ලෙස මෙම රෝගය වැළඳුන පොල් ගස් විනාශ කිරීම 2010 වසරේදී පමණ ආරම්භ කරන ලදී.

මෙම රෝගී තත්ත්වය පිළිබඳව වගාකරුවන් දැනුවත් කලද මුල් අවස්ථාවේදී රෝගය වැළඳුන පොල් ගස්වලින් වසරක් 2 ක් පමණ යන තෙක් කැපී පෙනෙන රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බැවින් හා ඵල දරණ පොල් ගස් කපා ඉවත් කිරීමට පොල් වගාකරුවන් මැලිකමක් හා අකමැත්තක් දැක්වූ බැවින් මෙම රෝගය දකුණු පළාත තුළ ක්‍රමයෙන් ව්‍යාප්ත විය.

එනමුත් මේ වනවිට, පොල් වගාකරුවන්ගේ සහයෝගයෙන් හා පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් රෝගී ගස් හඳුනා ගැනීම, එම ගස් සලකුණු කිරීම, ගස් එන්නත් කිරීම හා විනාශ කිරීම යන ක්‍රියාවලිය නිසි පරිදි සිදු කිරීම මගින් දකුණු පළාත තුළ මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී තිබූ ග්‍රාම නිලධාරී වසම් 692න් ග්‍රාම නිලධාරී වසම් 80ක් මෙම රෝගී තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකිවී තිබේ.

මේ හේතුවෙන් මෙම රෝගයට ගොදුරු වු බවට හඳුනාගනු ලැබූ ග්‍රාම නිලධාරී වසම් 692න් එහාට මෙම රෝගය පැතිරී යාම වළක්වා ගැනීමට මේ වනවිට හැකිව තිබේ.

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට කළුතර දක්වා වන දුම්රිය සංඥා පද්ධතිය අද හා හෙට විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, පානදුර සිට මොරටුව දක්වා කොටස පරීක්ෂා කළ බවත්, එය ආරක්ෂිත බවට දුම්රිය සංඥා නිලධාරීන් සහතිකයක් ලබා දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

පසුගිය 05 වැනිදා මොරටුව මෝදර ප්‍රදේශයේදී දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් ‘සාගරිකා’ දුම්රිය එම ස්ථානයේ නතර කළ අතර, දුම්රිය මාර්ගය ද තාවකාලිකව වසා දැමුණි.

ඒ සමග මුහුදුබඩ මාර්ගයේ සංඥා පද්ධතිය පිළිබඳව ගැටලුවක් මතු වූයේ, එසේ තිබියදීත් බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අඟවන කොළ පැහැති ආලෝකය සංඥා දිස්වීම හේතුවෙන් පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරුණු බැවිනි.

කෙසේ වෙතත්, දුම්රියේ රියැදුරාගේ විමසිලිමත් බව හේතුවෙන් එහිදී සිදුවීමට ගිය  අනතුරක් වලක්වා ගැනීමට හැකිවිය.

Continue Reading

පුවත්

පොසොන් පොහොය වෙනුවෙන් ලියාපදිංචි දන්සැල් 4,125ක්

Published

on

By

පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා සංවිධානය කර ඇති දන්සැල් 4,125ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

ලබන සඳුදා දින පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසා සිටියේය.

මේ දිනවල පැතිර යන බෝවන රෝග තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දන්සැල් සංවිධායකවරුන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ලබා දීමටද පියවර ගෙන ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

බරපතළ සිර දඬුවම් ලැබූ, නඩු 20ක විත්තිකරුවෙකුට ජනාධිපති සමාව ලැබුණේ කෙසේ ද?

Published

on

By

රුපියල් ලක්ෂ හතලිහක් (රු. 4,000,000) වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ ප්‍රකට මූල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකාරවරයාට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කළා ය.

මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුව ඊයේ (ජූනි 05) යළි කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී, අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය කරන ලදී.

අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ, අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බව ය.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කළේ, විත්තිකරු ඔහුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස ය.

මෙම නඩුව මීට පෙර පසුගිය මැයි මස 2 වන දා අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ඔහුට එරෙහිව තිබූ මූල්‍ය වංචා චෝදනාවට වරදකරු බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් තීන්දු කළා ය.

ඒ අනුව, මුදලින් රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළා ය.

ඊට අමතරව විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළා ය.

තව ද විත්තිකරු විසින් වින්දිත පාර්ශවය හෙවත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මුදලින් රුපියල් ලක්ෂ විස්සක (20) වන්දි මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, එකී දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණ.

එසේ නියම කළ දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවීම සඳහා එම නඩුව ජූනි 05 වන දා යළි කැඳවීමට ද එදින නියෝග කළා ය.

2014 වසරේ පෙබරවාරි මස 17 දින සිට 2014 වසරේ ජූනි මස 9 වන දින අතර කාලය තුළ විත්තිකරු කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ලාභ ලබා ගැනීම සඳහා අරුණ ඉන්දික සෝමරත්න යන අය විසින් විත්තිකරු වෙත භාර දෙනු ලැබූ හෝ ආධිපත්‍යයක් පවරනු ලැබූ රුපියල් ලක්ෂ හතලිහක් සාපරාධ විශ්වාසය කඩ කරමින් වංචා කර සාවද්‍ය පරිහරණය සිදු කරන ලැදයි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

එකී අධිචෝදනාවට විත්තිකරු වරදකරු කෙරිණි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය වංචාව සම්බධන්යෙන් විමර්ශන මෙහෙයවා තිබිණි.

විත්තිකරු අදාළ මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයා ලෙස ක්‍රියාකරමින් මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී කියැවිණි.

එලෙස ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු විස්සකට අධික සංඛ්‍යාවක් පවතින අතර අනුරාධපුර මහාධිකරණයේ ද තවත් නඩු කිහිපයක් පවතින බව අප වාර්තාකරු පවසයි.

ඒ සියලු නඩු මූල්‍ය වංචා සිද්ධීන්ට අදාළ ඒවා වීම විශේෂත්වයකි.

එම නඩුවල පැමිණිලිකරුවන් වන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකි.

ඔහු මූල්‍ය වංචා සිද්ධියකට මීට පෙර ද අධිකරණයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබූ අයෙකි.

මේ අතර, මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා අද (ජූනි 06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ ය.

නඩු 20කට අධික සංඛ්‍යාවකට විත්තිකරු වී සිටින පුද්ගලයෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක සමාව දුන්නේ කෙසේ දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේ ය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඇමතූ අවස්ථාවේදී ඔහු පැවසුවේ, අදාළ සිද්ධිය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව ය.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, වෙසක් පොහොය දිනය වෙනුවෙන් පොදු සමාව පිරිනැමීම යටතේ අදාළ පුද්ගලයා නිදහස් කළ බව ය.

එම නිවේදනය පහත දැක්වේ. (ව්‍යාකරණ දෝෂ සහ අක්ෂර දෝෂ නිවැරදි කර ඇත)

“අනුරාධපුර ගරු මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්.එම්. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගරගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝණය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස ගරු අධිකරණය මගින් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර ඇත.

2025.05.12 වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන 2025.05.05 දින වන විට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත්ව ය.

ඒ අනුව, මෙම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් වී ඇත. මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කළ බවට ලද නියෝගය අනුව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදා හැරිණි.

මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණි.”

මූලාශ්‍රය – බීබීසී සිංහල

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved