වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන් එම තනතුරෙන් ඉවත් කිරීමට වරාය විෂය භාර අමාත්‍ය විජිත හේරත් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම අධිකාරියේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රභාත්. ජේ. මලවිගේ මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද? නැද්ද? යන තීන්දුව ඊයේ (16) දින ප්‍රකාශ නොකළ අභියාචනාධිකරණය එම පෙත්සම යළි ජූලි මස 23 වැනිදා කැඳවන ලෙස ඊයේ (16) නියෝග කළේය.
එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීන්දුව සහ ඊට අදාළ අතුරු තහනම් නියෝග නිකුත් කරනවාද? නැද්ද? යන තීරණ ඊයේ පෙරවරුවේ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.
ඒ අනුව ඊයේ පෙරවරුවේ නඩුකරය කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ප්‍රකාශ කළේ එම තීන්දුව ඊයේ දහවල් ප්‍රකාශයට පත් කරන බවයි.
ඒ අනුව ඊයේ දහවල් එම නඩුකරය කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා ඉදිරියේය.
එහිදී අභියාචනාධිකරණ විනිසුරු කුමාරන් රත්නම් මහතා ප්‍රකාශ කළේ මෙම නඩුකරය තමන් ඉදිරියේ කැඳවන ලෙස අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරයා විසින් නියම කර තිබෙන බවයි.
ඒ අනුව මෙම පෙත්සම යළි තමන් ඉදිරියේ කැඳවීමට දිනයක් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් මෙම නඩුකරය මාස අටකට ආසන්න කාලයක් අධිකරණය හමුවේ විභාග වීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා කල් තැබුණු බව පෙන්වා දුන්නේය.
ඒ අනුව අදාළ පෙත්සම යළි ජූලි මස 23 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළේය.
පෙත්සම්කරු කියා සිටින්නේ වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන් 2024 වසරේ ඔක්තෝබර් මස 2 වනදා එවක වරාය විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම තනතුරින් ඉවත් කරමින් ලිපියක් නිකුත් කළ බවත් පසුව එම තනතුරට ටී.කේ.ජී.එල්. හේමචන්ද්‍ර පත් කෙරුණු බවයි.
කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව නිසි පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව තමන්ව ඉවත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන්ව අදාළ තනතුරින් ඉවත් කිරීමට හේතු පැහැදිලි කිරීමක් සිදු නොකළ බවත් චෝදනා කර සිටි.
ඒ අනුව තමන් එම තනතුරින් නෙරපීමට ගනු ලැබූ තීරණයක් නීතියට පටහැනි බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.
මූලාශ්‍රය – අරුණ