Connect with us

පුවත්

තරුණයෙකුට හිංසා කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Published

on

2019 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී අමානුෂික වද හිංසාවට ලක් කිරීම තුළින් ඌරගස් මංහන්දිය පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා සහ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ඔවුන් සිය පෞද්ගලික මුදල් වලින් ලක්ෂ 10 බැගින් වන්දි සහ නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (18) නියෝග කරන ලදී.

එම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වේ.

ඒ අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු වග උත්තරකාර උරගස්මං හංදිය පොලිසියේ ස්ථානාධිපති හරිත් සහ එහි අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් යන නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසමට යොමු කරන ලෙසත් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් නියෝග කර තිබේ.

මත්තක ප්‍රදේශයේ පදිංචි පී.ඒ.එස්. මධුෂාන් නමැත්තකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ තමන් සේවය කළ ආයතනය ගබඩාවේ තිබූ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරගස් මං හංදිය පොලීසිය තමන්ව සොයන බවට ලැබුණු තොරතුරකට අනුව නීතිඥවරයෙකු සමග එම පොලිස් ස්ථානයට ගිය බවය.

පසුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කරන බවට පොලීසියට නීතිඥවරයාට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

පසුව දෙවන වග උත්තරකාර අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමන්ගේ දෑත් වලට මාංචු දමා බිම දිගේ අපරාධ අංශය පිටුපස තිබූ කාමරයකට රැගෙන ගොස් තවත් පොලිස් නිලධාරියෙකුගේ සහාය ඇතිව පහර දුන් බවට පෙත්සම්කරු චෝදනා කලේය.

මේ හේතුවෙන් තමන්ගේ අත් වල මෙන්ම පිටුපස ප්‍රදේශයෙත් විශාල වේදනාවක් හටගත් බවත් ඔහු සඳහන් කර සිටියි.

ඉන් පසුව  අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමාගේ ලිංගේන්ද්‍රිය තද කරමින් පහර දුන් බවත් ඒ අවස්ථාවේදී ඇතිවූ වේදනාව හේතුවෙන් තමන් සිහිසුන් වූ බවත් පෙත්සම්කරු කියා සිටියේය.

පසුදා පළමු වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සොරකම සමථයට පත් කිරීම සඳහා ලක්ෂ තුනක මුදලක් වෙළඳසැලේ හිමිකරුට ගෙවිය යුතු බව සඳහන් කරමින් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කලේය.

ඉන් අනතුරුව නාගොඩ රජයේ රෝහලට ඇතුළත්ව දින 12ක් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කරයි.

එහෙත් වග උත්තරකරුවන් සිය විරෝධතා වලින් ප්‍රකාශ කර තිබුණේ තමන් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට අදාළ වන කරුණු ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වූ බව දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයටත් පත් කරමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කලේය.

එමෙන්ම පෙත්සම්කරු සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තා පිරික්සීමේදී ඔහු බරපතල වද හිංසනයට භාජන වී තිබෙන බව අධිකරණය හමුවේ තහවුරු වන බව ඔවුන් ප්‍රකාශ කළහ.

මේ තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර තිබේ.

පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අත්දැකීම් ඇති ඒ මහතා පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

Continue Reading

පුවත්

සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවට මේ වනතෙක් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මේ වසරේ ගතවූ මාස 6 තුළ නවකවධ සිද්ධි 30කට අධික සංඛ්‍යාවක් නවකවධ පැමිණිලි විමර්ශන අංශයට වාර්තාවී තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි චරිත් දිල්ශාන් නම් සිසුවා පසුගිය අප්‍රේල් මස 29 වනදා ලිපියක් ලියා සියදිවි නසාගෙන තිබුණි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශය මගින් ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිදුවීම පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඇතුළු පාර්ශ්ව රැසකින් ප්‍රකාශද සටහන් කරගනු ලැබීය.

ඒ අනුව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවය.

අදාළ සිසුවා විශාදය රෝගයෙන් පෙළී නොමැති බවත් අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ සිටින ඇතැම් උසස් නිලධාරීන් විශ්වවිද්‍යාලය තුළ ඇති නවකවධ සිදුවීම් පිටතට අනාවරණය වීම වළක්වාලීමට කටයුතු කරන බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

වසරේ මේ දක්වා කාලය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශයට එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 30කට අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් සබරගමුවෙන් බවත් එම සංඛ්‍යාව 10කට අධික බවත් පැවසෙයි.

එමෙන්ම නැගෙනහිර හා ඔලුවිල් විශ්වවිද්‍යාලවලින්ද නවකවධ සිද්ධි පිළිබඳව පැමිණිලි ලැබී ඇත.

ඒවා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විමර්ශන නිලධාරීන් පවසයි.

අදාළ සිද්ධිවලට චෝදනාලත් සිසුන් වැරදිකරුවන් වුවහොත් වසර 20ක සිරදඬුවමකට ලක්වීමටද සිදුවෙයි.

මේ අතර නවකවධ සිද්ධි පිළිබඳව පැමිණිලි ඇත්නම් 1997 දුරථකන අංකයට දැනුම්දෙන ලෙස පොලීසිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

ජනප්‍රිය මලයාලම් නළු මොහන්ලාල් අගමැති සහ කථානායක හමුවෙයි (ඡායා)

Published

on

By

චිත්‍රපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් අද (19) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තුවට පැමිණි ජනප්‍රිය නළු මොහන්ලාල් ඇතුළු පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද එක්ව සිටියේය.

සංචාරය අතරතුරදී ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්ම මහත්මීන් හමුවී සුහද පිළිසඳරකටද සහභාගී විය.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.


(පෙර පුවත 2025 ජූනි 19 ප.ව.12.30 )

ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට (වීඩියෝ)

ඉන්දීය සිනමාවේ සුපිරි නළු මොහාන්ලාල් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි මෙම සුපිරි නළුවා අද පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වෙන අතරතුර කථානායක ගැලරියට පැමිණ තිබේ.

නියෝජ්‍ය කථානායකවරයා විසින් ඔහුගේ පැමිණීම සඳහන් කරමින් උණුසුම්ව පිළිගන්නා බව සඳහන් කරන ලදී.

ඔහුගේ මෙම පැමිණීම සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්විය.

වීඩියෝ – Voice tube

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved