Connect with us

පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

Published

on

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුනි 23 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පිළිගත් අතර මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) සමඟ ඵලදායී ලෙස සහ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට රජයේ කැපවීම පිළිබඳව සිහිපත් කළාය. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පරිවර්ථනය පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ ඇය, සියලු ප්‍රජාවන්ගෙන් ලැබුණු ඓතිහාසික ජනවරම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් පිළිබිඹු කරන බවද සඳහන් කළාය.

ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම සහ අවශ්‍ය සමාජ පරිවර්තනය මෙන්ම ආයතනික වෙනස්කම් සමඟ නීතිමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම යන ප්‍රධාන සාධක තුනක් කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. සමාජයීය, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ ආර්ථික අයිතිවාසිකම් ඇතුළුව මානව හිමිකම්වල සම්පූර්ණ ව්‍යුහමය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා රජය කැපවී ක්‍රියා කරන බව ඇය නැවත අවධාරණය කළාය. අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) වැනි දේශීය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සඳහා සහාය වන බවද ඇය අවධාරණය කළාය.

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මැදිහත්වීම මහ කොමසාරිස්වරයා අගය කළ අතර මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ජාතික සංහිඳියාව ඉදිරියට ගෙන යාමේදී ද්විපාර්ශවික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද විශේෂයෙන් සඳහන් කලේය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් තවත් නිලධාරීන් පිරිසක්ද සහභාගී විය. ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ විදේශ කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ඇතුළත් විය.

පුවත්

නෙළුම්වැව උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කරන්න සැලසුම්

Published

on

By

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සැලසුම් සකස් කර ඇත.

මීට අදාළ සාකච්ඡාවක් අද (24) දින පෙරවරුවේ එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, එහි නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි. 

මෙතෙක් මෙම උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම එහි සංචාරය කිරීමට දෙස් විදෙස් සංචාරකයන් දක්වන උනන්දුව අඩු වීමට හේතුවක් වී තිබිණි.

මෙම සාකච්ඡාවේදී නෙළුම්වැව උණුදිය උල්පත් සංවර්ධනය කිරීමේ වැදගත්කම, එහි ඇති සංචාරක සහ තාක්ෂණික විභවතාව මෙන්ම වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි.

උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශයේ වන ගහනය වැඩි කිරීම, දූපත අලංකරණය සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීමට පහසු වන ආකාරයට ගොඩබිමේ සිට දූපත දක්වා පාලමක් ඉදිකිරීම ආදී කරුණුද මෙහිදී සාකච්ඡාවට ලක් විය. 

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්,  වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. ඩබ්. වසන්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය භූගත ජලවිද්‍යාඥ ධර්ම ගුණවර්ධන යන මහත්වරු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා තවත් ආයතන කිහිපයක නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක්

Published

on

By

නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් කටයුතු කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත මෙම කාර්ය සාධක බළකාය පත් කිරීමට පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවකවදය ඉන් තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන බැවින් නවකවදය පමණක් නොව ශිෂ්‍යන් වෙත ශිෂ්‍යන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම එම පාර්ශවවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට සිදුවන හිංසනයන් ද නතර කිරීම එම කාර්ය සාධක බළකායේ අරමුණ වී ඇති බවය.

ඒ අනුව එම කාර්ය සාධක බළකායේ සාමාජිකයින් ලෙස පහත සඳහන් නියෝජිතයින් පත්කර තිබේ.

1. මහාචාර්ය කේ.එල්.වසන්ත මහතා – උප සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
2. මහාචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය – අධ්‍යක්ෂ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සාධාරණත්වය සදහා වන මධ්‍යස්ථානය,(CGEE) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
3. මහාචාර්ය හේමමාලි ගුණතිලක මහත්මිය -සාමාජික, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
4. මහාචාර්ය විජය ජයතිලක මහතා – CGEE ආයතනයේ හිටපු සාමාජික
5. ආචාර්ය සයුරි පෙරේරා මහත්මිය – මනෝ චිකිත්සක අධ්‍යනාංශය,වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
6. ශානිකා මලල්ගොඩ මහත්මිය – ජාතික ළමාරක්ෂක අධිකාරිය
7. අප්සරා කල්දේරා මහත්මිය – අතිරේක ලේකම්,අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය
8. ගුණදාස සමරසේකර මහතා – අතිරේක ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය
9. ආචාර්ය චින්තක පෙරේරා මහතා – අධ්‍යක්ෂ,බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය
10. ඒ.ජී.ඒ.ජාලිත කුමාර මහතා – අධ්‍යක්ෂ,ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය-කොළඹ 15
11. ජේ.පී.විජයතිලක ජයසිංහ මහතා – කොළඹ විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක නියෝජනය
12. ඩබ්.ඒ.ඒ.වේරහැර මහතා – පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල විනයාරක්ෂක අංශ නියෝජනය
13. කවිදු බිම්සර මහතා – ලේකම්, මහා ශිෂ්‍ය සංගමය, කොළඹ විශ්වවිද්‍යාලය. නීති පීඨ ශිෂ්‍ය.
14. සජිනි වත්සලා මෙනෙවිය – ලේක්ම්, මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාලය. නීති විද්‍යාල ශිෂ්‍ය.
15. පොලිස්පතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු
16. නීතිපතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු

මෙරට විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් සහ සංස්කෘතියක් නිර්මාණය කිරීම, ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය යෝජනා සකස් කිරීම, ඊට අවශ්‍ය නීතිමය රාමු යාවත්කාලීන කිරීම සඳහා යෝජනා සකස්කිරීම, හිංසනය සහ ප්‍රචණ්ඩත්වය නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම, සිදුවීම් වාර්තා කිරීමට සහ ඒවාට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අදාළ ක්‍රමවේද සැකසීම, යන අරමුණු වෙනුවෙන් රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධ කරගැනීම, වින්දිතයින්ගේ ආරක්ෂාව සහ ගෞරවය සුරැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, වින්දිතයින්ට සිදුවූ මානසික බලපෑම් සැලකිල්ලට ගනිමින් යථා තත්වයට පත්කරලීම සඳහා අවශ්‍ය කටයුතු වෙත යොමු කිරීම වැනි කාර්යන් මෙම කාර්ය සාධක බළකාය හරහා සිදුකිරීමට අපේක්ෂිතය. 

සිදුවීම් සඳහා ප්‍රතිචාර දැක්වීමකට පමණක් සීමා නොවී හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් උසස් අධ්‍යාපන ආයතන තුළ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් ආදී වැඩසටහන් ජාතික වැඩපිළිවෙළකට අනුව සංවිධානය කිරීම වැනි කරණුද සැලකිල්ලට ගනිමින් ඉහත අරමුණු පෙලගස්වා ඇත.

ඉදිරියේදී මෙම කාර්ය සාධක බළකාය යටතේ විශ්වවිද්‍යාල මට්ටමින් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් ඒකක පිහිටුවීමට ද යෝජනා වී ඇත.

Continue Reading

පුවත්

දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

Published

on

By

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් සම්බන්ධව එම සත්වෝද්‍යානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මගින් දන්වා ඇත්තේ  “Dehiwala Zoo – ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය” නමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් පවත්වාගෙන යමින් සත්වෝද්‍යානයේ කීර්ති නාමය අවභාවිත කරමින් ෆේස්බුක් ගිණුම් පරිශීලකයින්ගෙන් මුදල් ලබා ගැනීම් සම්බන්ධව මේ වන විට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණිලි ලැබෙන බවය.

මෙම ෆේස්බුක් ගිණුම සමග දෙහිවල සත්වෝද්‍යානයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වාදෙන එම සත්වෝද්‍යානය සඳහන් කර ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සංවත්සරය වෙනුවෙන් දිනුම් ඇදීමක් පවත්වන බවත් එම දිණුම් ඇදීම අවසානයේ ජයග්‍රාහකයින්ට විවිධ ත්‍යාග ලබා දෙන බවත් ආදී වශයෙන් පවසමින් මෙම මුදල් ලබා ගැනීම් සිදුකරන බවට පැමිණිලි ලැබුණු බවය.

ඒ අනුව ලිපියක් මගින් එම සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ නොමද ආකර්ශනයක් හිමි වී ඇති දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කීර්ති නාමයට හා විශ්වාසනීයත්වයට හානි වන මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසය.

ඒ අනුව සිදුවන සමාජ මාධ්‍ය මගින් සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් සිදුකරනු ලබන මෙම මුදල් වංචාව සම්බන්ධව අවධානය යොමු කරමින් මෙය හැකි ඉක්මනින් වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved