Connect with us

පුවත්

දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

Published

on

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් සම්බන්ධව එම සත්වෝද්‍යානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මගින් දන්වා ඇත්තේ  “Dehiwala Zoo – ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය” නමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් පවත්වාගෙන යමින් සත්වෝද්‍යානයේ කීර්ති නාමය අවභාවිත කරමින් ෆේස්බුක් ගිණුම් පරිශීලකයින්ගෙන් මුදල් ලබා ගැනීම් සම්බන්ධව මේ වන විට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණිලි ලැබෙන බවය.

මෙම ෆේස්බුක් ගිණුම සමග දෙහිවල සත්වෝද්‍යානයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වාදෙන එම සත්වෝද්‍යානය සඳහන් කර ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සංවත්සරය වෙනුවෙන් දිනුම් ඇදීමක් පවත්වන බවත් එම දිණුම් ඇදීම අවසානයේ ජයග්‍රාහකයින්ට විවිධ ත්‍යාග ලබා දෙන බවත් ආදී වශයෙන් පවසමින් මෙම මුදල් ලබා ගැනීම් සිදුකරන බවට පැමිණිලි ලැබුණු බවය.

ඒ අනුව ලිපියක් මගින් එම සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ නොමද ආකර්ශනයක් හිමි වී ඇති දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කීර්ති නාමයට හා විශ්වාසනීයත්වයට හානි වන මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසය.

ඒ අනුව සිදුවන සමාජ මාධ්‍ය මගින් සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් සිදුකරනු ලබන මෙම මුදල් වංචාව සම්බන්ධව අවධානය යොමු කරමින් මෙය හැකි ඉක්මනින් වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

පුවත්

මැදපෙරදිග තත්ත්වය ගැන අධ්‍යනයට කමිටුවක්

Published

on

By

මැදපෙරදිග පවතින තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුව පත්කර ඇත්තේ පසුගිය දා (23)  කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ය.

එම කමිටුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.

කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ වසන්ත සමරසිංහ,කුමාර ජයකොඩි සහ සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යවරුන්ය.

Continue Reading

පුවත්

මියගිය ලෙඩ්ඩුන්ටත් සැත්කම් කල වෛද්‍යවරිය

Published

on

By

දූෂණ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රෝගීන් ලවා තමන්ට අයත් පෞද්ගලික ආයතනයකින් ශල්‍ය උපකරණ ගෙන්වාගෙන මොළය මියගිය රෝගීන්ටත් සැත්කම් සිදුකර ඇති බව ඊයේ (24) අධිකරණයේදී අනාවරණය වුණි.  

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනාම ජුලි 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාරගත කිරීමට නියෝග කළාය.

අල්ලස් පනතේ දූෂණය නම් වරද යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත මහතා  වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැක්වීය.

“ස්වාමීනී සැකකාර වෛද්‍යවරිය ජයවර්ධනපුර රෝහලේ එකම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය. ඊ.වී.ඩී නමැති ශල්‍ය උපකරණ ජයවර්ධනපුර රෝහලේ රුපියල් 17,500ක මුදලකට ගන්න පුළුවන්.  නමුත් සැකකාර වෛද්‍යවරිය රෝගින්ට කියලා තියෙන්නේ ඒවා පිටින් ගන්න කියලා. එය සිදුකර තිබෙන්නේ, සෙසු සැකකරුවන් දෙදෙනා හරහායි. රෝගීන් යොමුකරලා තියෙන්නේ එම්.එන්.එම්. මෙඩිකල් සර්විස් නමැති ආයතනයකට. එහිදී රු.17,500ක රෝහලින් මිලදී ගන්න පුළුවන් ශල්‍ය උපකරණය රෝගින්ට අලෙවි කරලා තියෙන්නේ රුපියල් 150,000 සිට 250,000 අතර මුදලකට. ඊට අදාළ බිල්පත් විමර්ශනවලදී අනාවරණය වුණා. රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ. මිලදී ගන්නා ශල්‍ය උපකරණ කිසිම අවස්ථාවක රෝගීන්ගේ අතට දීලා නැහැ. ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ ප්‍රධාන හෙද නිලධාරීනියගෙන් ප්‍රශ්න කළ විට ඇය කියාසිටියේ ඇතැම් විට සැකකාර වෛද්‍යවරියම එම උපකරණ ශල්‍යාගාරයට රැගෙන එන බව.”

අනතුරුව විමර්ශන නිලධාරියා සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

“ස්වාමිනි, මෙම වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ  පමණක් ඇයට එරෙහිව ඇමතුම් 92ක් අල්ලස් කොමිසට ලැබිලා තියෙනවා. දැනට වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් 88කගෙන්  ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල සමාජ කැළඹීමක් හටගෙන තිබීමත්, වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ චාමර ප්‍රසාද් අබේවර්ධන නමැත්තාට ජීවිත තර්ජනය එල්ල වී තිබීමත් සලකා බලා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

අනතුරුව සැකකාර වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

“ස්වාමීනි….ශල්‍යකර්මවලට අවශ්‍ය ශල්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීම අලුත් දෙයක් නෙවෙයි. ජයවර්ධනපුර කියන්නේ මුදල් අය කරලා සැත්කම් කරන තැනක්. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නොවෙයි. ඒ නිසයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 සිට. මගේ සේවාදායිකාව කිසිදු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ. එබැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු ඉදිරිපත් වී නැති නිසා ඇය ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා.”

විත්තියේ නීතිඥවරුන්ගේ ඇප ඉල්ලීමත් සමඟ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මෙසේ කරුණු දැක්වීය.

“ස්වාමීනි… මේ සැකකාර වෛද්‍යවරිය ඖෂධවලින් සුව කළ හැකි රෝගින්වත් සැත්කම්වලට භාජනය කර තිබෙනවා. මොළය මියගිහින් හදවත යන්ත්‍රවලට සම්බන්ධ කර තිබූ රෝගීන්ටත් මෙම සැකකාර වෛද්‍යවරිය සැත්කම් සිදුකර තිබෙනවා. අවසානයේදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා එම සැත්කම් කර තිබෙන්නේ, රෝගීන් මියගොස් දින පහකට පසුව බව. ස්වාමීනි… මෙම සැකකාර වෛද්‍යවරිය විශාල දේශපාලන බලයක් හිමි තැනැත්තියක්. ඇයට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා සිදුවෙන්න පුළුවන්.”

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

බොරැල්ලේ වෙඩි තැබීමක්

Published

on

By

ඊයේ (24) පස්වරු 5.45 ට පමණ බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලියන් සම්බන්ධයෙන් ද මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර බොරැල්ල පොලීසිය විමර්ශන සිදුකරයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved