Connect with us

පුවත්

ඩෑන්ගේ සහෝදරයාගේ ඝාතනයට හේතුව අයිස් කේස් එකක්!

Published

on

ඔරුගොඩවත්ත ගුවන්පාලම යටදී කපා කොටා මරාදැමුණු අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා නව සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයකු වන පතිරණගේ ප්‍රකාශ් තිළිණ කුමාර ගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පෙරේදා (04) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් තිදෙනකුම වැල්ලම්පිටිය පන්සල්හේන පාරේ පදිංචිකරුවන් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය. 

අනෙක් අය වෑබඩ පදිංචිකරුවෙකි.

මේ ඝාතනය සිදුවූයේ පසුගිය වසරේ ජූලි 25 වැනිදා රාත්‍රී කාලයේ විදුලිය විසන්ධිව පැවති අවස්ථාවේදීය.
වෑබඩ සැකකරු බන්දුල පියල් නොහොත් බන්දු නමැති අවුරුදු 50ක් වයසැති අයෙකි. 

සෙසු සැකකරුවන් වයස අවුරුදු 25ත් – 21ත් අතර පසුවන්නන් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය. 

මොවුන්ගෙන් දෙදෙනකු පිය – පුතුන් බවත් ඔවුන් ඝාතනයට ලක්වූ පුද්ගලයාට ඈතින් ඥාති සම්බන්ධයක් පවතින බවත් පැවසේ.

මේ ඝාතනයට යොදාගත් කඩු දෙක වෑබඩ පදිංචි සැකකරුගේත් වැල්ලම්පිටියේ පදිංචි දුලාන් මධුෂංක නොහොත් දුලා නමැති සැකකරුගේ නිවෙසේත් සඟවා තිබියදී සොයාගෙන ඇත.

ඊට අමතරව මේ ඝාතනයට සැකකරුවන් පැමිණි මෝටර් රථයද පොලිසිය සොයාගෙන තිබේ.

අයිස් නමැති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවුණු ආරවුලක් මත සහ බලය පිළිබඳ ගැටලුවක් මුල්කරගෙන මේ ඝාතනය සිදු කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

ඝාතනයට ලක්වූ මේ පුද්ගලයාට එරෙහිව පහරදීම් සහ බියවැද්දවීම් සම්බන්ධයෙන් චෝදනාද තිබී ඇතැයි පොලිසිය සඳහන් කළේය. 

එසේම පුද්ගලයකුව කපා කොටා තුවාල කිරීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබී ඇතැයිද පැවසේ. 

ඒ සම්බන්ධයෙන් ඔහු ඇප ලබා සිට ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 

ඇප කොන්දේසියකට අනුව සෑම මසකම අවසන් ඉරිදා ඔහු වැල්ලම්පිටිය පොලිසිය හමුවේ පෙනී සිටද ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මියගිය 34 හැවිරිදි පතිරණගේ ප්‍රකාශ් තිළිණ කුමාර ‘අමානෝ‘ වැහි පීලි නිපැයුම් කර්මාන්ත ශාලාවක යන්ත්‍ර ක්‍රියාකරුවකු (මැෂින් ඔපරේටර්) ලෙස සේවයෙහි නිරත වූ අයෙකි.

ඔහුගේ සේවා ස්ථානයද පිහිටියේ ඔරුගොඩවත්ත ගුවන් පාලමට ආසන්නයේමය.

ඔරුගොඩවත්ත, මීතොටමුල්ලේ කුරුනියාවත්තේ පදිංචිව සිටි ප්‍රකාශ් තිලිණ කුඩා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට රසට ගුණට කෑම වේලක්

Published

on

By

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍රගත කරගනිමින් ආරම්භ කිරීමට ද අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව එම රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළුව පරිපාලනයට සහ මෙම විෂයට අදාළ නිලධාරීන්,  ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ වෛද්‍යවරුන්, පෝෂණවේදීන්, ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව අති විශාල මුදලක් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර පාන ලබා දීම සදහා වැය කරන බවත් එම මුදලට සාධාරණයක් ඉටුවන්නේ ද යන්න ගැටළු සහගත තත්ත්වයක් පවතින බවය.

මේ වන තෙක් රෝහලෙන් රෝගියාට ලබා දෙන ආහාර වේල පිළිබඳව රෝගියා තෘප්තිමත් ද නැද්ද යන්න පිළිබඳව විමසීමක්වත් නොකරන තත්ත්වකට එම සේවාව පත්ව ඇති බව ද අවධාරණය කළ අමාත්‍යවරයා රෝහලෙන් ලබා දෙන වර්තමාන ආහාරවේල පිළිබඳවත්, එය රෝගියාට ලබා දෙන ක්‍රමයේත් වෙනසක් ඇති කළයුතු බවද පැවසුවේය.

මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේ දී මෙරට සියලු රජයේ රෝහලවල ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වන බවය.

එමෙන්ම අපේක්ෂා රෝහල තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පවතින ගැටළු පිළිබඳව ද ඔහු අදාළ නිලධාරීන්ගෙන් මෙහිදී විමසා සිටියේ ය.

මේ වන විට අපේක්ෂා රෝහල තුළ එකවර 2,000කට ආහාර පාන සැකසීම සඳහා පහසුකම් සහිත නවීන මුළුතැන්ගෙයක් සකස් කර ඇති බවත්, එයට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති බව මෙහි දී අණාවරණය වී තිබේ.

නවීන ආකාරයට මෙම ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහි දී මතුව ඇත.

මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට එහි නම ආහාර පාන දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමටත් මෙහි දී යෝජනා වී ඇත.

තනි පිඟානකට හොදි, එළවළු. මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට‍ බත්, එළවළු, මස් හෝ මාළු යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය බවත්, එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්‍රියතාවක් ඇති වන බවත් වෛද්‍යවරුන් මෙහි දී අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඉදිරියේ දී රජයේ සියලුම රෝහල්වල ක්‍රියාත්මක කිරීමට නම් රෝහල්වල මුළුතැන්ගෙවල් නවීකරණයට ලක්කළ යුතු බවත් දැනට පවතින ගෑස් උඳුන වෙනුවට වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කළ හැකි උඳුන් මෙන්ම නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහි දී ඉස්මතු වී ඇත.

මෙහි දී මතු වූ කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ අමාත්‍යවරයා ඊට කඩිනම් විසඳුම් ලබාදී මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට කටයුතු කරන බව අවධාරණය කළේ ය.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සුනිල් ගලගම, සාලින්ද බණ්ඩාර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර යන මහත්ම මහත්මීන්, වෛද්‍යවරුන්, පෝෂණවේදීන් ඇතුළුව පිරිසක් සහභාගි වූහ.

Continue Reading

පුවත්

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය වේලාවන් සංශෝධනයක්

Published

on

By

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම මාර්ගය භාවිත කරනු ලබන මහජනතාවගේ දැඩි ඉල්ලීම මත සති අන්තයේ පමණක් ධාවනය කරනු ලබන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (07) දින සිට දිනපතා ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

එමෙන්ම මීට සමගාමීව දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 05.45ට කන්කසන්තුරය දක්වා ධාවනය කරන ලද යාල්දේවි දුම්රිය හෙට දින සිට කොළඹ කොටුවෙන් පිටත්වන වේලාවද සංශෝධනය කර තිබේ.

ඒ අනුව එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අනුව මාසයකට පෙර දුම්රිය ආසන වෙන් කර ගත් මගීන් හට යාල් දේවී දුම්රිය පිටත්වන නව වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය විය යුතු බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved