Connect with us

පුවත්

කල් දාන්න ඡන්දයක් නැතැයි ජනපති පාර්ලිමේන්තුවට කියයි!

Published

on

කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

“විපක්ෂ විවාදය ඉල්ලුවේ අත්‍යවශ්‍ය සේවා ගැන නෙමෙයි. ඡන්දෙ කල් දානවා කියලයි. ඡන්දෙ කල් දමා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. මම මේ විවාදයට ඇතුල් වුණේ නෑ. මම කලින්ම මේ බව කිව්වා. මට දේශපාලනය උවමනා නෑ කියා මා කිව්වා.

මැතිවරණ කොමිසමත් මේ ඡන්දෙ ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බැහැ කියලා. දිවුරුම් පෙත්සම දුන් නිසා වචන කීපයක් කතා කරන්න මා සිතුවා යැයි ජනාධිපතිවරයා කීය.

සම්පූර්ණ කතාව මෙසේය.

අද අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ඡන්දයක් විපක්ෂයෙන් ඉල්ලා තිබෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම ඡන්ද ඉල්ලන්නේ නැහැ. මේ රටේ විදුලිබලය අත්‍යාවශ්‍ය සේවාවක්. ඇයි මෙම සේවාවන්වලට විරුද්ධ වෙන්නේ. අඛණ්ඩව විදුලි බලය ලබා දෙනවාට විපක්ෂය විරුද්ධයි ද? විවාදයක් අවශ්‍ය නම් විවාදයක් ලබාදීමට අපි සූදානම්. නමුත් විවාදය ඉල්ලුවේ අත්‍යාවශ්‍ය සේවා පිළිබඳව නොවෙයි. විවාදය ඉල්ලා තිබුණේ ඡන්දය කල්දානවා කියලා. ඡන්දය කල්දාලා නැහැ. කල්දාන්න ඡන්දයකුත් නැහැ. මම මීට පෙරත් පවසා තිබෙනවා. මම මේ ඡන්ද විවාදයට සම්බන්ධ වන්නේ නැහැ. මට දේශපාලනය වුවමනාත් නැහැ.

නමුත් මැතිවරණ කොමිෂමත් මෙම ඡන්දය පිළිබඳ උසාවියට ගොස් තිබෙනවා. ඔවුන් කියනවලු ඡන්දයක් පවත්වන්න බැහැ කියලා. නමුත් දිවුරුම් පෙත්සමක් ලබාදී ඇති නිසා මම මේ පිළිබඳ වචන කිහිපයක් කතා කළයුතුයි. නැත්නම් මා යටතේ සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අනෙකුත් නිලධාරීන්ට විශාල අසාධාරණයක් සිදු වෙනවා.

“මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කොමිසමට දන්වා ඇත” යනුවෙන් ඔවුන් සඳහන් කර තිබෙනවා. ඒක සම්පූර්ණ අසත්‍යයක්.

රටේ ආර්ථික තත්ත්වය අනුව මේ අවස්ථාවේ ඡන්දය පැවැත්වීමට අපට මුදල් නොමැති බව වගේම මෙම අවස්ථාවේ ඡන්දයක් පැවැත්වීම රටේ ආර්ථිකයට හිතකර නොවන බවත් ඒ නිසා මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 5,000ට අඩු කරගෙන මැතිවරණය පවත්වන්න කියලා මම පසුගිය දෙසැම්බර් 14 වෙනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දුන්නා. මමයි මුලින්ම ඒ දැනුම් දීම සිදු කළේ. මම හිතුවා මේ කාරණය ඒ අයට දැනුම්දීම මගේ යුතුකමක් කියලා. මොකද මෙය සාමාන්‍ය කොමිසමක් නොවන නිසා.

පාර්ලිමේන්තුව විසින් සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයේ අන්තර්කාලීන විධිවිධාන යටතේ 3 වැනි කොටසේ සඳහන් වෙනවා, “මේ පනත ක්‍රියාත්මක වන දිනයට පෙරාතුව ම වූ දිනයේදි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හෝ සාමාජික ධූරය දරණ සෑම තැනැත්තෙක්ම මේ පනත ක්‍රියාත්මක වන දින සිට බලපැවැත්වෙන පරිදි ඒ ධූරය දැරීම නතර වන්නේය” කියලා.

ඒ වගේම “ මේ පනත ක්‍රියාත්මක වන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී ඉහත සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා හෝ යම් සාමාජිකයෙකු හෝ වශයෙන් ධූරය දරණ තැනැත්තෙකුට එකී අදාළ කොමිෂන් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VII අ වන පරිච්ඡේදයට අනුකූලව ස්ථාපිත කරනු ලබන දිනය තෙක් තම අදාළ ධූරවල බලතල හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම දිගටම කරගෙන යනු ලැබිය හැක්කේය. යනුවෙනුත් එහි සඳහන්. 21 වන සංශෝධනයට කතානායකතුමා අත්සන් තබා ඇත්තේ ඔක්තෝබර් 31 වනදා යි.

ඒ අනුව ඇත්ත වශයෙන් මේ තිබෙන්නේ තාවකාලික කොමිසමක්. මේ තාවකාලික කොමිසම තිබුණේ ව්‍යවස්ථාව යටතේ. මේ කොමිෂන් සභාව වගකියන්නේ පාර්ලිමේන්තුවට මිස වෙනත් කිසිවෙකුට නොවෙයි. එසේ නම් මෙය ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියා මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු සාකච්ඡා කළයුතුයි. මම දැනුවත්ව එවැන්නක් සිදුව නැහැ. එය තමයි පළමු වැරැද්ද. දෙවනුව එම කොමිසමේ සාමාජිකයන් හමු වූ අවස්ථාවලදීත් මම මේ තත්ත්වය පැහැදිළි කළා. ඉතින් ලේකම්වරයාට චෝදනා කිරීමට අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයා ලෙස මම අවශ්‍ය දැනුම් දීම සිදු කළා.

ඉන් අනතුරුව ජනවාරි මස 05 වැනිදා ප.ව 3.00ට මමත්, අගමැතිතුමාත්, නීතිපතිතුමාත් මේ අය මුණ ගැසුණා. මේ මුණගැසීම සිදුවුයේ ඡන්දය කල්දැමීම ගැන සාකච්ඡා කරන්න නොවෙයි. අප මුණ ගැසුණේ මේ කොමිසම බෙදිලා තිබුණ නිසයි. ඔවුන් ප්‍රකාශ කළා දෙසැම්බර් 23 වැනිදා ඡන්දය පැවැත්වීමට තිරණය කළා කියලා. නමුත් දෙදෙනෙක් කිව්වා, කොමිසම නාම යෝජනා කැඳවීමට දිනයක් තීරණය කළේ නැහැ කියලා.

එක්කෙනෙක් කිව්වා අපි තිරණය කළා කියලා. එක් අයෙක් දෙපැත්තතටම කතා කළා. පස්වන කෙනා නුවර මහ රෝහලේ සිටියේ. අනතුරුව නීතිපතිතුමා කිව්වා කරුණාකර කොමිසමේ වාර්තා ටික ලබා දෙන්න කියා. එවිට කිව්වා වාර්තා නැහැ කියලා.

ඉන් අනතුරුව නීතිපතිතුමා කිව්වා ඔබලා එක ස්ථාවරයකට පැමිණයහොත් නීති කටයුතු සඳහා සහාය දීමට පුළුවන්, ඒ සඳහා නිවැරදි දිනයක් යොදාගන්න කියලා. නමුත් ඒ වෙනුවට එම කොමිසම වෙන නීතිඥයෙක්ව, ඒ කියන්නේ සාලිය පීරිස් මහතාව යොදාගත්තා. එවිට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පැමිණ මට පැවසුවා “සාලිය පීරිස්ව තියාගන්නේ කොහොමද? එයා දේශපාලනයේ සිටින නීතිඥවරයෙක්, දේශපාලනයේ නැති නීතිඥවරයෙක් යොදාගන්න කියා. නැත්නම් නීතිපතිව දෙන්න” කියලා.

මම කිව්වා මේ තත්ත්වය තුළ නීතිපතිව දෙන්න අමාරුයි. මේ සඳහා මම මැදිහත් වන්නේ නැහැ කියලා. ඒ වගේම නීතිඥයෙක් අරගන්නවා නම් ඔහු කිසිම පක්ෂයකට අයත් නැති නීතිඥයෙක් විය යුතු බව මම පිළිගන්නවා.

ඉන් අනතුරුව මේ පිළිබඳ කිසිඳු සාකච්ඡාවක් කළේ නැහැ. අය වැය විසර්ජන පනත සකස් කරන විට තමයි මැතිවරණය සඳහා බිලියන 10ක ඇස්තමේන්තුවක් ලබා දුන්නේ. එහෙත් නව වෙනිදා ලිපියක් එවා තිබෙනවා, අධ්‍යක්ෂ ජනරාල්වරයාට “අක්මුදලක් ඉල්ලුම් කිරීම” ශිර්ෂය යටතේ. එයින් ඉල්ලා තිබෙන්නේ බිලියන 06යි.

කලින් කියනවා බිලියන 10ක් අවශ්‍යයි කියා නමුත් රටේ උද්ධමනයක් ඇති පසුබිමක කියනවා බිලියන 06ක් කියලා. ඒ නිසා විශේෂයෙන්ම මේ ඇස්තමේන්තුව පිළිබඳ අමාත්‍යාංශය විසින් නැවත අවධානය යොමු කර තිබෙනවා.

බිලියන 10ක් ලෙස තිබූ ඇස්තමේන්තුව වෙනුවට බිලියන 06කින් කරන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් දැනුම් දෙනවා. මිල ගණන් වැඩිවීමත් සමඟ වැඩිපුර මුදල් අවශ්‍ය බව පොලිසිය කියනවා. අනිත් දෙපාර්තමේන්තුවලින් සම්පූර්ණ ඇස්තමේන්තුවක් ලබා දුන්නෙත් නැහැ. ඉතින් එක එක දෙපාර්තමේන්තු එක එක ඇස්තමේන්තු අපිට එවනවා. මුදල් නොතිබුණත් ඒකාලයේ මැතිවරණයට මුදල් වෙන් කළා. ඒ නිසා මැතිවරණ කොමිෂමෙන් මෙය දැනුම් දිය යුතුයි. මෙම මූලික ප්‍රශ්නය මෙතන තිබුණා.

මේ එකකටවත් මුදල් අමාත්‍යාංශය පිළිතුරු දීම අවශ්‍ය නැහැ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තිබුණා. මුදල් ඉල්ලුම් ලිපියට අත්සන් කර තිබෙන්නේ “ජී.ආර්.ඒ.කේ ගමලත්, ප්‍රධාන ගණකාධිකාරී, මැතිවරණ කොමසාරිස් ජනරාල් වෙනුවට” යනුවෙන්. එලෙස කිරීමට කිසිවෙකුට බලයක් නැහැ.

“කොමිෂන් සභාවේ බලතල සහ කාර්තව්‍ය කිසිවක් කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමසාරිස් ජනරල් වෙත හෝ කොමිෂන් සභාවේ වෙනත් යම් නිලධාරියෙක් වෙත හෝ පවරා දෙනු ලැබිය හැකි අතර කොමිෂන් සභා විධානයට සහ පාලනයට යටත්ව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා හෝ වෙනත් නිලධාරියෙක් විසින් එම බලතල සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම ද ඉටුකරනු ලැබිය යුත්තේය. (104 ඊ 6)” යන්න තමයි නිත්‍යානුකූල තත්ත්වය.

නමුත් ලිපියේ කොතනකවත් 104 ඊ 6 වගන්තිය ගැන සඳහන් කර නැහැ. අපට මෙම බලතල ලැබුණේ කොමිසමෙන් බව සඳහන් කර නැහැ. ඊට අමතරව කොමසාරිස්වරයා ලියා තිබෙනවා “මගේ සමාංක 2023 ජනවාරි 09 වෙනිදා සහ 2023 ජනවාරි 26 ලිපි මගින් මැතිවරණයේ මූලික කටයුතු සඳහා අක්මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් අක්මුදල් ලබා දී නැත” කියා. මේ අක්මුදල් ලබා දුන්නා නම් ඒ නිලධාරියාට විරුද්ධව විනය ක්‍රියාමාර්ගත ගත හැකියි.

මොකද ලිපිය එවු ගිණුම් නිලධාරියාට කොමිසමෙන් බලය ලබා දී තිබුණේ නැහැ. මෙතන කියන්නේ නැහැ එතුමාටවත් කොමිසමෙන් බලය ලබා දී තිබෙනවා කියා. එහෙම වුණා නම් මුලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධව අධ්‍යක්ෂ ජනරාල්ට විරුද්ධව ඕනෑම අයෙකුට උසාවියට යාමට හැකියාව තිබුණා. ඉන් අනතුරුව එයාට රාජ්‍ය සේවා කොමිසම මගින් දඬුවම් නියම කර, සේවයෙන් ඉවත් කළ හැකියි.

ඊට පස්සේ සභාපතිවරයා ලිපියක් යොමු කළා පෙබරවාරි 03වනදා. එහිවත් සඳහන් කර නැහැ තමන්ට එම බලය ලැබුණා කියා. එක ලිපියකවත් සඳහන් කර නැහැ කොමිසන් සභාවේ තීරණයක් කියලා.

ඊට පසුව පෙබරවාරි 10 වනදා ප්‍රකාශ කළා, “ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසන් සභාවට එරෙහිව දේශපාලන පක්ෂ 02ක් විසින් පවරා තිබූ එස්සීඑෆ්ආර් 6/20/22 හා එස්සීඑෆ්ආර් 7/20/22 අංක දරණ නඩු කොමිෂන් සභාව විසින් දැනටමත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ව්‍යවස්ථාපිත කටයුතු ඉටුකර ඇති නිසා සහ ඉටු කරමින් පවතින්නේය යන හේතු මත ප්‍රතික්ෂේප කරමින් ඡන්ද විමසීමේ කටයුතු එලෙසම කරගෙන යන ලෙස ගරු ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත” කියලා.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බැලූ විට එහෙම තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී නැහැ.

ඒ වගේම දැන් පෙත්සම්කරුවන්ම ඇවිත් කියනවා “මැන්ඩාමුස් ආඥාවක්” අවශ්‍ය නැහැ කියලා. එතකොට මොකක්ද උසාවිය ලබාදෙන තීන්දුව. මැන්ඩාමුස් ආඥාවක් අවශ්‍ය නැත්නම් උසාවියට ලබාදීමට තීන්දුවක් නැහැ.

මෙතනදි ආණ්ඩුවට කිසිම බැඳීමක් නැහැ. අවම වශයෙන් ආණ්ඩුවට විරුද්ධව නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලන්න තිබුණා. ඒ කිසිවක් මෙහි සිදුව නැහැ. ඒ නිසා මම හිතන්නේ නැහැ මෙම එක් නිලධාරියෙකුටවත් මේ පිළිබඳව දොස් නඟන්න පුළුවන් කියලා.

අවසාන ප්‍රශ්නය වුණේ ඡන්දය ගැන. අප දන්න තරමින් මේ මොහොත වනතෙක් ඡන්දය පැවැත්වෙන දිනයක් නම් කර නැහැ. නිල වශයෙන් නම් කළ නීත්‍යානුකූල ඡන්ද දිනයක් නැහැ. ඇතැමුන් මාර්තු 09 ගැන සඳහන් කරනවා. මම දන්න තරමින් මැතිවරණයක් පිළිබඳව තවමත් නීත්‍යානුකූල තීරණයක් ගෙන නැහැ.

මැතිවණ කොමිෂමේ එවැනි සාකච්ඡාවක් පැවැත්වෙනවා නම් අවම වශයෙන් සාමාජිකයන් තිදෙනෙක්වත් එහි සිටිය යුතුයි.

දැන් මම ජනවාරි 22 වෙනිදා “සන්ඩේ ටයිම්ස්” පුවත්පත කියවනවා.

“මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව පෙරදා රාත්‍රියේ සම්බන්ධකරගත් විට ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනෙක්ව සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අනුමැතිය ලබාගත් බවත් පස්වන සාමාජිකයා වන එම්.එම්. මොහොමඩ් මහතා මැතිවරණ කොමිසම් කාර්යාලයේ රැඳී සිටි බවත්ය”

ඒ කියන්නේ මේ දෙදෙනායි තීරණය ගත්තේ. ඒ සභාපතියි, එම්.එම්. මොහොමඩ් යන අය. ඒ අයම කියනවා ඊට පසුව අනිත් අය කතා කර අනුමැතිය ගත්තලු. තීරණය ගත්තේ මේ දෙදෙනා. මේ පිළිබඳ අනිත් තුන්දෙනාගෙන් ඇහුවොත් ඒ අය මේ ස්ථාවරත්වයේ ඉන්නේ නැහැ. අවශ්‍ය නම් මම ඊට සාක්ෂි ගෙනත් දෙන්නම්. ඇත්ත වශයෙන්ම මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිල තීරණයක් ගෙන නැහැ.

ඉතින් අපි ගිහින් සල්ලි දුන්නොත් මගේ ලේකම් ඉවත් කර පොලිසියට කියන්න වෙයි එයාට විරුද්ධව නඩු පවරන ලෙස. රජයේ මුද්‍රණාලයාධිපතිට සිදු වන්නේ එයයි. එවිට ඒ අයගේ රැකියා නැති වෙනවා. ඉතින් මේ රජයේ නියෝජිතයන්ට දොස් පවරන්න බැහැ.

ඇත්ත වශයෙන්ම අද රටේ ආර්ථික තත්ත්වය අනුව අපට මුදල් නැහැ. එසේ නොමැතිව මැතිවරණ කල් දැමීමට හෝ නතර කිරීමට අවශ්‍ය නැහැ. ඉදිරියේ දී සියලුදෙනා සාකච්ඡා කර තීරණයකට එන්න පුළුවන්, මුදල් ලබා දෙන්නේ කොහාමද කියලා. දැනට මුදල් නැහැ. ඒ වගේම මුදල් තිබුණත් ඡන්දයකුත් නැහැ.

මෙහි ප්‍රධානම දේ තමයි මෙම කොමිසම වගකියන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව දන්වා තිබෙනවා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස. ඒ නිසා එම තේරීම් කාරක සභාව පත් කර කරුණු සියල්ල වාර්තා කර එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන්න.

මොකද මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. මැග්නා කර්ටා ගිවිසුම, 1688 විප්ලවයෙන් පසුව මුදල් බලතල සියල්ල තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා තේරීම් කාරක සභාවක් හරහා එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන්න.

ඊළග කාරණය තමයි අයවැයෙන් වෙන් කළ මුදල් සියල්ල එකවර ලබාදීමට නොහැකියි. එම වෙන් කළ මුදල් ලබා දෙන්න කියලා නිශ්චිත දිනයක් කොහොවත් සඳහන් වන්නේ නැහැ. අයවැයෙන් වෙන් කළ මුදල් අවුරුද්ද අවසන් වන විට වියදම් කරන්න ඕන. නමුත් අයවැයෙහි සඳහන් ආකාරයටම වියදම් කිරීමට හැකි වන්නේ ආදායම් ලැබුණොත් පමණයි. නැත්නම් මේ සභාවෙන් අහන්න සිදු වෙනවා මහ බැංකුවට දන්වා මුදල් මුද්‍රණය කරනවද කියලා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම අනුව මුදල් මුද්‍රණය කිරීමට හැකියාවක් නැහැ.

ඒ වගේම තමයි විපක්ෂය අහනවා චක්‍ර ලේඛයකින් ඡන්දය කල් දාන්න පුළුවන් ද කියලා. අපි එවැන්නක් සිදු කර නැහැ. ඡන්දය පැවැත්විය යුතුයි. නමුත් තිදෙනෙක් ගන්න අවශ්‍ය තීන්දුව දෙදෙනෙක් අරගෙන නම් කොහොමද ඡන්දය පවත්වන්නේ?

අප කටයුතු කර ඇත්තේ නීතිය අනුවයි. අපි තීරණයක් ගත්තා පැරිස් සමුළුව, චීනය සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟත්වයක් ඇතිකරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් යම් තීරණයක් දෙන තුරු බදු මුදල් භාවිතයට නොගන්නා බවට.

මම මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට. ආර්ථිකය ගොඩනැගුවේ නැත්නම් අපට රටක් නැහැ. මම එක ප්‍රශ්නයක් මේ සභාවෙන් අහනවා. රට නැති කරගෙන ව්‍යවස්ථාව රකින්න පුළුවන්ද ? ව්‍යවස්ථාව ආරක්ෂා කර ගන්න පුළුවන් වන්නේ රට ආරක්ෂා කළොත් විතරයි.

මම අග්‍රාමාත්‍යවරයාටත් දැනුම් දී තිබෙනවා විපක්ෂය යෝජනා කළ ආර්ථික විනාශයට වගකිවයුත්තන් පිළිබඳ තේරීම් කාරක සභාව පිළිබඳ යෝජනාව මාර්තු 03 වන සතියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට. ආණ්ඩුව ඊට සහාය ලබා දෙනවා. ඒ වගේම විපක්ෂයෙන් යෝජනා වුණා මැතිවරණ කොමිෂම මාරු කිරීමට. අපි ඒ සඳහාත් සහාය ලබා දෙන්නම්.

පුවත්

සබරගමුව සරසවියේ අවුල් හොයන්න ස්වාධීන කමිටුවක්!

Published

on

By

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ  මතුව තිබෙන සියලු  දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්)  නිර්දේශ කරන ලදී. 

එහිදී  වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදෙන ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා  වූයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයයේ  2023 මූල්‍ය  වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ  පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 04 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී  සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ සිදුවීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී එම සිදුවීමට පාදක වූ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ  අවුරුදු උත්සවය පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය පාලකවරයා එම සංවිධානය කෙරුණු අවුරුදු උත්සවය පිළිබඳව පාලනාධිකාරිය විසින් තමන්ව දැනුවත්ව නොකළ බව පැවසුවේය. නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව එම අවුරදු උත්සවය සඳහා අනුමතිය ලබාදී ඇති බවද ඒ මහතා පැවසුවේය.  එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාර තුළ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම් දී තිබූ  බවද ශිෂ්‍ය විනය පාලකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය. ඒ අනුව පාලනාධිකාරිය අතින්  යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම්  පිළිබඳ සොයාබැලීම්, මග හැරී ඇතිබව නිරීක්ෂණ වන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. මේ සිදුවීමට අදාළවද නිසි කාර්යක්ෂම ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට කාරක සභාව අමාත්‍යාංශ නිලධාරීන්ට  උපදෙස් ලබාදෙන ලදී.

මේ අතර 2022 වසරේදී ඉඹුල්පේ  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට කොන්ත්‍රාත් කරුවෙකු සඳහා විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවරසර ලබාදීම පිළිබඳ  සිදුවීමද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී. පාලනාධිකාරිය විසින් මෙලෙස පස් කපාගෙන යාමට අභ්‍යන්තරව අවසර ලබා දුන්නද  පසුව එය වැරදි ක්‍රියාවක් යැයි  හැඟී යාමෙන් පසු  නිසි අවසරය අදාළ කොන්ත්‍රාත්කරුට ලබා නොදුන් බව  විශ්වවිද්‍යාල බලධාරීහු මෙහිදී අදහස් දක්වමින්  පැවැසුහ. කෙසේ වෙතත්  2022.10.19 වැනි දින අදාළ කොන්ත්‍රාත්කරු මෙ‍ෙලස පස් කපාගෙන යාම සම්බන්ධව  විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ පාලනාධිකාරිය දැනුවත් කලද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිදුවීම පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක්  ගොනු කර ඇත්තේ 2024 වසරේදී බව කාරක සභාවේදී අනාවරණය  විය.

මේ අතර විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන් පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. එහිදී අදහස් දක්වමින් නිලධාරීහු පෙන්වා දුන්නේ සමස්ථයක්  ලෙස  වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ගෙන් 7000කට ආසන්න ප්‍රමාණයක් පළමු අවස්ථාවේ  ලියාපදිංචි නොවන බව  පැවසුහ. කෙසේ වෙතත්  වටකිහිපයක් ලියාපදිංචි කිරීමෙන් පසු අදාළ පුරප්පාඩු සංඛ්‍යාව  සම්පුර්ණ කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ ඒ අනුව රාජ්‍ය  විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීම දැඩිව අවධානය යොමු කිරීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය  කළේය.

තවද 2014 වසරේදී රුපියල් මිලියන 123 කට වඩා වැඩි මුදලක් වැයකර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාගාරය ඉදිකර තිබුනත්  ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම ,බොරළු මිශ්‍ර පස් සේදී යාම නිසා මතුපිට රළු ස්වභාවයක්  ගැනීම හා පැති බැම්ම පුපුරා යමා ආදී  ගැටලු  රැසක් පැන නැගී තිබු බව විගණන කාර්යාලය විසින්  පෙන්වා දෙන ලදී. ඒ අනුව කෝප් කමිටුව දුන් පෙර නිර්දේශ මත ක්‍රීඩාපිටියේ පැති බැම්ම හා ක්‍රීඩාගාරය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය( CECB ) විසින් පිළිසකර කර විශ්වවිද්‍යාලය වෙත බාරදී තිබුනද ක්‍රීඩාපිටිය නිසි ලෙස භාරගෙන නඩත්තු නොකරන බව   විගණනය විසින් පෙන්වා දෙන ලදී. ඒ හේතුවෙන්   ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම හා මතුපිට රළු ස්වභවය  හේතුවෙන් සිසුන්ට ක්‍රීඩා කිරීමේදී දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.  

මේ සම්බන්ධව කරුණු විමසීමේදී  විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් පෙන්වා දුන්නේ එම ප්‍රදේශයේ පවතින භෞතික පිහිටීම මත ක්‍රීඩාපිටියේ  වේයන්ගේ පස්  තැනින් තැන මතුවන බවයි.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ක්‍රීඩාංගණය නඩත්තු කිරීම සඳහා නිශ්චිත පුද්ගලයෙකුට වගකීමක් සහිතව භාරනොදීම පිළිබඳව විමසා සිටියේය. එමෙන්ම මෙවැනි විශාල ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක වන විට එය අධීක්ෂණය කිරීම සඳහා ඉංජිනේරුවරයෙකු ස්ථිරව පත් නොකොට  වැඩ ඉංජිනේරුවරයෙකු මාර්ගයෙන් අදාළ  අධීක්ෂණ කටයුතු සිදුකිරීම  පිළිබඳවද විගණනය විසින් පෙන්වා දුන් කරුණ පිළිබඳවද විමසා සිටියේය. ඒ සඳහා පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා පෙන්වාදුන්නේ  තමන්ට උපකුලපතිවරයා විසින් එම රාජකාරිය නොපැවරූ බවයි. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාපිටිය  නඩත්තු කිරීම සඳහා වරෙක පිරිසිදු කිරීමේ අංශයට භාරදී ඇති අතර  වර්තමානය වනවිට ක්‍රීඩා අංශයට බාර දී ඇති බව  කාරක සභාවේදී අනාවරණය විය.

මේ අතර  විශ්වවිද්‍යාලයේ  කාර්ය මණ්ඩලය සඳහා නිවාස සංකීර්ණයක්  ඉදිකිරීමේදී  වැඩ ඉංජිනේරුවරයාගේ සහතිකය මත  අදාළ  කොන්ත්‍රාත්කරු  ඉල්ලුම් නොකළ  ලක්ෂ 26කට අධික මුදලක්  ලබා දී ඇති බවද  මෙහිදී අනාවරණය විය.

එමෙන්ම  විශ්වවිද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ  කොන්ත්‍රාත්කරු විසින් ගිවිසුම්ගත වැඩ පැහැර හැර,  ඉදිකිරීම් වැඩ නවතාදමා තිබියදී අත්තිකාරම් බැඳුම්කරය මුදල් කර නොගැනීම හේතුවෙන්ද රුපියල් ලක්ෂ 288කට අධික මුදලක අලාභයක් සිදුව ඇති බව විගණන කාර්යාලය පෙන්වා දී තිබු අතර එම අලාභය වෙනුවෙන් අධිභාර නිවේදනයක්ද නිකුත් කර තිබුනත් මේ වනවිටත් එය අධිභාර කරගෙන නොතිබුණි.  

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක්  නැවත සිදු නොවීම උදෙසා සියලු ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රමවත්ව අධීක්ෂණය කිරීම සඳහා  ව්‍යාපෘති කළමනාකාරවරයෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබු නමුත් ඔහුද මාස 4කට අඩු කාලයක් පමණක් සේවය කර ඉල්ලා අස්වී  ඇති බව කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී. එමෙන්ම  සේවා පහසුකම් වල පවතින ඌනතා ලබාදෙන ලෙස ඉල්ලීම් කලද  එම ඉල්ලීම් ඔහුට නොලැබීම හේතුවෙන්  ඉල්ලා අස්වීම පිළිබඳවද කාරක සභාව තුල දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ගරු නීතිඥ දයාසිරි ජයසේකර, එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ,  සුදත් බලගල්ල, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩ විතාන,  (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, ලක්මාලි හේමචන්ද්‍ර  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading

පුවත්

බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස  කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (06) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා වෙත භාරදී තිබේ.

Continue Reading

පුවත්

හඳුන්නෙත්ති චාමරගෙන් සපෝට් එකක් ඉල්ලයි (වීඩියෝ)

Published

on

By

අද (05) දිනයේදී පාර්ලිමේන්තුවේදී හඳුන්නෙත්ති අමාත්‍යවරයා සීනි සහ එතනෝල් පිලිබඳ ඇසු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීම සිදු කරන ලදී..

එහිදී ඔහු කියා සිටියේ සීනි මෙට්‍රික් ටොන් විසිතුන්දහස් අනුහයක් සහ එතනෝල් ලීටර් විසි තුන්ලක්ෂ පනස්දහසක් රජය සතු වන බවය.

එසේම සීනි නිෂ්පාදනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වශයෙන් ඔහු යෝජනා කරනු ලබන්නේ ඒකාබද්ධ වල පැළෑටි කළමනාකරණය, පලිබෝධ හා රෝග පාලනය , ඒකාබද්ධ පාංශුපෝෂක කළමනාකරණය , වඩාත් සුදුසු ප්‍රභේද තෝරා ගැනීම ආදිය යි.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනු ලැබුවේ එතනෝල් සඳහා රජයේ අවම මිල වන්නේ රුපියල් 800 බවයි. මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරින් මත්පැන් නිෂ්පාදන සමාගම තුලින් මුදල් ලබා ගන්නා බවද, ඔවුන් පිලිබඳ හෙලිදරව් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය.

එසේම ඔහු සඳහන් කලේ තමන් සතුව ඇත්තේ ගොවියන්ට ගෙවන ප්‍රමාණ අඩු කිරීම හෝ එතනෝල් මිල වැඩි කිරීමේ තීරණය බවය.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ එතනෝල් රුපියල 1200ට ලබා දුන් බවයි.  

වීඩියෝ  – Voice Tube

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved