විශේෂාංග
රටට අවශ්‍ය පක්ෂ නායකයින් ඉල්ලන මැතිවරණය නෙවෙයි
Published
2 years agoon
By
editor
“ආණ්ඩුව සම්බන්ධ විශ්වාසය ජනතාව අතර භංගවී ඇතැයි පක්ෂයේ හෙංචයියෙක් තීන්දු කරනවා. එය නැවත තහවුරු කර ගැනීමට දෙගුණයකටත් වඩා මහන්සි වෙන්න සිදුවේ යැයි කියනවා. එය එසේ නම්, වඩා පහසු වන්නේ ජනතාව විසුරුවා හැර ආණ්ඩුව අලුතෙන් ජනතාවක් පත්කර ගැනීම නෙවෙයිද?” (Brecht on Brecht : An Improvisation – Book by George Tabori, 1967).
අද අප ඉන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ඒ ප්‍රශ්න කිරීමත් විහිළුවක් නොවන, විකාර රූපි දේශපාලන සමාජයක ය. අවුරුදු 04 ට පෙර අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව සමග විපක්ෂය හවුල්වී 2018-2019 සිට පළාත් සභා මැතිවරණ අත්හිටවූ රටේ, ජනතාවගේ ඒ ප්රජාතන්ත්රවාදී අයිතිය ගැන මේ නායකයින් තවමත් කිසිවක් නොකියන රටේ, පළාත් පාලන මැතිවරණය කල් යෑමට එරෙහිව කොළඹට මහා ගාලගෝට්ටි කැඳවනු ලැබේ. ඒවා ඡන්දදායකයින්ගේ ගාලගෝට්ටි නොවේ. මැතිවරණ කොමිසම පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මගින් නාම යෝජනා බාර දුන් අපේක්ෂකයින් 80,720 ක් ඇතත් මාර්තු 09 ට දින නියම කර දැන් කල් තබා ඇති පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටින ඒ අපේක්ෂකයින්ගේ හවුලක් කොතැනකවත් දකින්නට අසන්නටද නැත.
ඡන්දදායකයින් වශයෙන්ද හවුල් නොවන, තීන්දු කෙරුණු පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේද නොවන මේ ගාලගෝට්ටි, විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙක තුනක නායකයින්ගේ න්‍යාය පත්‍රයට අනුව රාජපක්ෂ විරෝධය දඩමීමා කර ගනිමින් කොළඹට පාක්ෂික හිතවතුන් කැඳවා ගන්නා විරෝධතා පමණි. මේවා සමාජයේ වර්ධනය වන පොදු ආණ්ඩු විරෝධයේ ප්‍රකාශන ය. ඔවුන් ඒ ආණ්ඩු විරෝධය යොදා ගැනීමට උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවට ජනවරමක් නැතැයි පළාත් පාලන මැතිවරණයෙන් ඔප්පු කිරීමට ය. මහ මැතිවරණයකින් පත් කෙරෙන පාර්ලිමේන්තුවක් සමග ආණ්ඩුවක් පිහිටු වන්නට ලබා දෙන ජනවරම, ආණ්ඩු මාරු සඳහා කිසිදු සම්බන්ධයක් නැති පළාත් පාලන මැතිවරණයකින් අහෝසි නොවන බව මේ දේශපාලන නායකයින් දැන සිටිය යුතුය. ඒ සරළ කාරණාව හෝ නොදන්නා සේ පළාත් සභා මැතිවරණ අහෝසි කර, පළාත් සභා ඡන්දෙන් ආණ්ඩු පිහිටුවන ජන වරම් ගැන කතා කරන ඔවුන්ට ආණ්ඩු බාරදීම අතිශය භයානක යැයි මම කියමි.
පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබා දෙන ජන වරම එසේ තිබියදී ආණ්ඩු විරෝධයක් ගොනු වන්නේ දෛනික ජීවිතයේ බහුතර ජනතාවට බලපාන්නාවූ සාධාරණ හේතු ගණනාවක් සමග ය. එහෙත් ඒ කිසිවක් මැතිවරණයක් ඉල්ලා මොර දෙන ප්රජාතන්ත්රවාදය හා සෘජු සම්බන්ධයක් නැත. ඒ සියල්ල සෘජුව සම්බන්ධ වන්නේ ජීවත්වීමේ ආර්ථික අසීරුකම් සමග ය. සමහර අමන දේශපාලනඥයින් “ප්රජාතන්ත්රවාදය කන්නද?” කියා අසන්නේ ඒ කාරණා අතර ඇති එක වර නොපෙනෙන සහසම්බන්ධය තේරුම් ගැනීමට නොහැකි බැවින්ය.
ජීවත්වීමේ අසීරුව බරපතල වූයේ දසක ගණනාවක් පුරා අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ක්‍රමානුකූලව ගොඩ ගැසුණු විදේශ ණය කන්දරාව පසුගිය වසර ආරම්භ වන ආසන්නයේදී නාය යෑමට වූයෙනි. දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තරමට භාණ්ඩ හිඟවීමත් භාණ්ඩ මිල ඉහළ යාමත් සමගය. විදේශ ණය සමග කඩා වැටුණු ආර්ථිකයෙහි ජනතාව ගිලෙන විටය. අවුරුදු 40 ක් පුරා රට දියුණු කළේ යැයි සිතා සිටි විවෘත වෙළඳපල ආර්ථිකයෙහි කිලෝමීටර ගණන් දිග ගෑස්, පෙට්‍රල්, ඩීසල් පෝලීම්වල දින ගණන් හාමතේ ඉන්නට සිදුවූයෙන් කැකෑරුණු ආණ්ඩු විරෝධයෙහිය.
එවැනි ආණ්ඩු විරෝධයක් හමුවේ දේශපාලන පක්ෂ වලට පමණක් නොව, ඕනෑම පුරවැසියෙකුට, පුරවැසි සංවිධානයකට හෝ හවුලකට වහා මහ මැතිවරණයක් ඉල්ලා සිටීමේ අයිතියක් ඇත. ඒ ඉල්ලීම කෙතරම් සමාජගත වන්නේද යන්න මත ආණ්ඩුවට මැතිවරණයක් ලබා දෙන්නේද නොදෙන්නේද යන්න තීන්දු කළ හැක. ඒ සඳහා 2001 දෙසැම්බරයේ පැවැත්වූ මහ මැතිවරණය ඉතාම නිරවුල් අත්දැකීම වන්නේය. ජනාධිපතිනි චන්ද්‍රිකා බ. කුමාරතුංග විසින් 2000 ඔක්තෝම්බරයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වූ පසු පෙරමුණක් ලෙස ඇයට ලැබුණු ආසන 107 න් ස්ථාවර ආණ්ඩුවක් හැදීමට නොහැකි වූයෙන් ඇය ජ.වි.පෙ සමග ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 10 දෙනා හවුල්කර ගැනීමට මංගල සමරවීර ඇමති හරහා සාකච්ඡා කළාය.
මේ අතර, උතුරු-නැගෙනහිර යුද්ධයෙන් ඒ-9 පාර මාන්කුලම් සිට අලිමංකඩ පසුකර මුහමලේ දක්වා රජයේ හමුදාවන්ට අහිමි විය. ඒ යුධ අහිමිවීම් සමග දකුණේද ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි විය. ආර්ථික වශයෙන්ද දකුණේ ජනතාවට අසීරුකම් මෝදු වන්නට විය. ඒ පසුබිමෙහි ජීවන මිල පහත හෙළීමත් දෙමළ ජාතික ප්රශ්නය සාකච්ඡා මගින් විසඳා ගැනීමත් ඉදිරිපත් කරමින් මෙතෙක් ඉතිහාසයේ නොවූ එ.ජා.පය ප්‍රධාන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, වමේ එක්සත් පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය සහ සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයද හවුල් වූ ජාතික පෙරමුණකින් වහා මැතිවරණයක් ඉල්ලා 2001 සැප්තැම්බරයේදී “ජන බල මෙහෙයුම” යැයි කොළඹ නගරය සිව් දෙසින් වැටලූහ. කලින් දින කොළඹ නගරයට ඇතුළුවීම තහනම් කළ ජනාධිපතිනි චන්ද්‍රිකා බ. කුමාරතුංග විරෝධයේ ශක්තිය හමුවේ පසුබා පාර්ලිමේන්තුව විසුරු හැර මැතිවරණයක් පැවැත්වීමට එකඟ වූවාය. අවුරුද්දක් යත්ම 2001 දෙසැම්බර නැවත මැතිවරණයක් පැවැත්වූයේ ඒ හේතුවෙනි. ඒ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස එ.ජා.ප ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණ.
එනමුත් අද ඉල්ලා සිටින්නේ ආණ්ඩු මාරුවක් සඳහා එවැනි මැතිවරණයක් නොවේ. ආර්ථික අර්බුදය සඳහා මේ ආණ්ඩුවට විසඳුම් නැතැයි හා මේ ආණ්ඩුව සුජාත ආණ්ඩුවක් නොවේ යැයි කියන්නේ නම්, ඉල්ලා සිටිය යුත්තේ පළාත් පාලන මැතිවරණය නොව, 2001 දී මෙන් මහ මැතිවරණයකි. එහෙත් ගාලුමුවදොර විරෝධතා විසින් වික්‍රමසිංහ ජනාධිපති කෙරුණු විට, කොළඹ මැදපංතිකයින්ගේ අවුල්වූ ජීවන රටා වැඩි මිලකට හෝ නැවත යථාවත් වෙමින් තිබීම නිසා ඔවුන්ට දැන් ආණ්ඩු වෙනසක අවශ්‍යතාවක් නැත. එනිසා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඉදිරිපත් කළ විට, සැවොම ඒ සමග ගොනු වූහ. එහෙත් ජනාධිපති වික්‍රමසිංහගේ දේශපාලන ගණන් හැදිල්ලේ ඇති රාජකීය අවුල සමග පළාත් පාලන මැතිවරණය ඈතට තල්ලු කිරීමෙන් ඔහු කොළඹ රාජපක්ෂ විරෝධී මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වලට ඔවුන්ගේ ආණ්ඩු විරෝධය මැතිවරණ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ගොනු කරන්නට වේදිකාවක් ඇටවූයේය.
දැන් මේ විපක්ෂ කණ්ඩායම් සටන්පාඨය බවට පත්කර ගෙන ඇත්තේ මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි හඬ නැගීම නොව, මේ ආණ්ඩුවට ජන වරමක් නැතැයි ඔප්පු කිරීමට පළාත් පාලන මැතිවරණය යොදා ගැනීම සහ ඊළග ආණ්ඩුව වෙනුවෙන් තමන්ටද අයිතියක් ඇතැයි පළාත් පාලන මැතිවරණයේ ඡන්ද බලයක් ගොනුකර පෙන්වීම ය. ඒ වෙනුවෙන් හෝ ඔවුන්ට වික්‍රමසිංහගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික මූලෝපායෙන් වෙන්වන, වෙනස්වන ආර්ථික වැඩපිළිවෙලක් ගැන අදහසක් නැත. එනිසා වික්‍රමසිංහට විසඳුම් නොමැති කිසිවකට ඔවුන්ටද පැහැදිලි විසඳුම් නැත.
සැවොම තමන්ගේ විසඳුම් ලෙස කතා කරන්නේ සියලු අපරාධ, සමාජ ව්‍යසන සමගවන මේ බංකොලොත් විවෘත වෙළඳපල ආර්ථිකය යළි පිළිසකර කිරීමක් ගැනය. ජාතික ජන බලවේගය ලෙස පෙනී සිටින ජ.වි.පෙ ඒ ගැන කතා කරන්නේ ඔවුන්ට සුපුරුදු තර්ක ක්‍රමයට “වඳුරො ගැන නෙවෙයි අපි කියන්නේ….අපි කියන්නෙ රිලව් ගැන” වැනි කතාවකි. ස.ජ.බ ආර්ථික විශේෂඥයින් ඊට වඩා තරමක් ශිෂ්ට ය. එනිසා ඔවුහු ඉතා ප්‍රවේසමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ගැනීම අනිවාර්ය යැයි කියන අතර, විවෘත වෙළඳපල ආර්ථිකය අර්ථ දැක්වීමට උත්සාහ කරන්නේ “සමාජ වෙළඳපල” ආර්ථිකයක් යැයි කියා ය. එහෙත් ඔවුන්ගේ යෝජනා අතර “සමාජ වෙළඳපල” ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය වන “සමාජ සම්මුතිය” සඳහාවන යෝජනා නැත.
මේ රටේ ජනතාවට මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය අවශ්‍ය වන්නේ මේ ආණ්ඩුව අවජාතක යැයි කීමටවත් විපක්ෂයේ ඡන්ද බලය පෙන්වීමටවත් නොවේ. මේ රටේ ජනතාව පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටිය යුත්තේ නීිතියට අනුව මැතිවරණ පැවැත් විය යුතු නිසාද නොවේ. නීතියේ සඳහන්වන හෙයින් මැතිවරණ පැවැත්වීමෙන් තහවුරු වන ප්රජාතන්ත්රවාදයක් නැත. නීතියට අනුව මැතිවරණ පැවැත්වීම යනු “පටිපාටමය” ප්රජාතන්ත්රවාදයක් මිස ජනතාවගේ පාලන බලයක් තහවුරු කෙරෙන “සක්‍රීය” ප්රජාතන්ත්රවාදයක් නොවේ. එනිසා ජනතාව පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටිය යුත්තේ තමන්ගේ ව්‍යවස්ථාපිත ප්රජාතන්ත්රවාදී අයිතියක් වන ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සක්‍රීය ලෙස පත්කර ගැනීමටය. තමන් වරිපනම් බදු ගෙවන පළාත් පාලන ආයතනයෙන් නෛතිකව ඒ වෙත පවරා ඇති වගකීම් නොපරිහෙළා කාර්යක්ෂමව ඉටුකරවා ගැනීමේ තමන්ට ඇති අයිතිය වෙනුවෙන් තමන්ගේ නියෝජිතයින් තෝරා පත්කර ගැනීමටය.
එවැනි සක්‍රීය ප්රජාතන්ත්රවාදයක් බුක්ති විඳින්නට තරම් දැනුවත් දියුණු ඡන්දදායකයින් මේ රටේ සියවසකට ආසන්න කාලයක සිට බිහිව නැත. එවැනි දැනුවත් සංවාද කතිකා මේ රටේ පැවතියේද නැත. එබැවින් 1930 ඩොනොමො කොමිසම් වාර්තාවෙහි හඳුනාගෙන තිබූ කුලය, ජාතිය, ආගමට වගේම පසු කාලීනව විවෘත වෙළඳපල ආර්ථිකයෙහි අති පෞද්ගලික වාසි වෙනුවෙන් ඡන්දය භාවිත කරන ආත්මාර්ථකාමී ඡන්දදායකයින් සමග මැතිවරණ සතු ප්රජාතන්ත්රවාදයක් තහවුරු වන්නේ නැත. පළාත් පාලන ආයතනද දූෂිත, අකාර්යක්ෂම හා ප්‍රදේශයේ අවශ්‍යතා වෙනුවෙන් වැදගත් කිසිවක් නොකරන මහජන ආයතන බවට පත්ව ඇත්තේ එබැවින්ය.
මේ ඉන්නා ඡන්දදායකයින් විසින් රටක වැදගත් ආණ්ඩු පාලනයක් සඳහා පාර්ලිමේන්තු පත් නොකෙරෙන්නේද එබැවින්මය. ඔවුන් තෝරා පත්කරන පාර්ලිමේන්තු හැසිරෙන්නේ ඔවුන්ගෙන් ඉල්ලා සිටින ආත්මාර්ථය සඳහා පමණි. එබැවින් ඊළග ආණ්ඩු මාරුවත් කුලවාදී, ජාතිවාදී සහ ආත්මාර්ථකාමී ඡන්දදායකයින්ගේ බාල, දූෂිත නියෝජනයක්ම වනු ඇත.
අද මේ රටට අවශ්‍ය වන්නේ අලුත් ජනතාවකි. මා අලුත් යැයි කියන්නේ “තරුණ” යැයි කියන්නාවූ අර්ථයෙන් නොවේ. බර්ටොල් බ්‍රෙෂ්ට් කියූ ආණ්ඩුව විසින් ඔවුන් ගැන විශ්වාසයක් ඇති අලුත් ජනතාවක් හදා ගැනීමද නොවේ. මා අලුත් ජනතාවක් හදා ගැනීමට අවශ්‍ය යැයි කියන්නේ අනාගතය සඳහා අලුත් වගකීම් බාර ගැනීමට සූදානම් හා ඊට සරිළන විනයක් ඇති ඡන්දදායකයෙකු අවශ්‍ය යැයි යන අර්ථයෙනි. තමන්ගේ සමාජ වගකීම් ගැන අවබෝධයක් ඇති, ඡන්දය භාවිත කිරීම සතු සමාජ වගකීම ගැන තේරුම් ඇති, තමන් ඡන්දය ලබා දී තෝරා පත් කරන මන්ත්‍රීවරයා, සභිකයා පළාත් පාලන ආයතනයෙහි වරිපනම් බදු ගෙවන්නන් වෙනුවෙන් ඉටු කරන්නාවූ සේවය කුමක්දැයි ප්‍රශ්න කිරීමට සූදානම් අලුත් ඡන්දදායකු අවශ්‍ය යැයි වන අර්ථයෙනි.
ඒ වෙනුවෙන් මේ මොහොතේ අත පෙවිය යුත්තේ කවර පක්ෂයක, කවර ස්වාධීන කණ්ඩායමක වූවත් තමන්ගේ ප්‍රදේශයේ අපේක්ෂක අපේක්ෂිකාවන් සමග විවෘත කර ගන්නා කතිකාවක, ඔවුන් තරග කරන්නේ කුමක් සඳහාදැයි වන ප්‍රශ්න කිරීම සමගින්ය. ප්‍රදේශයේ වරිපනම් බදු ගෙවන ඡන්දදායකයා සමග ආරම්භ කරන සමාජ සංවාදයක් තුල පළාත් පාලන බල ප්‍රදේශය වෙනුවෙන් අවශ්‍ය සංවර්ධන සැළසුමක් සකසා ගැනීමට එකඟ කරවා ගැනීම සමගින්ය. අනතුරුව, ඒ වෙනුවෙන් අත්සන් තබන අපේක්ෂකයින්ගේ එකතුවක් ලෙස මැතිවරණය ඉල්ලා සිටින ජනතා ව්‍යාපාර දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කිරීමට ය.
අලුත් ඡන්දදායකයෙකු හැදෙන්නේ එවැනි සමාජ සංවාද සමග පමණි. එවැනි අලුත් ඡන්දදායකයෙකුගෙන් මිස ආණ්ඩු මාරු වන්නේ නැත. මේ ඉන්නා ඡන්දදායකයින්ගෙන් සිදුවන්නේ තිබෙන පාර්ලිමේන්තුව, තිබෙන ආණ්ඩු පාලනය තවත් පිරිසකට බාර දීම පමණි. මේ දේශපාලන පක්ෂ නායකයින් ඉල්ලන්නේද එවැන්නක් පමණි. ඔවුන්ටද මා කියන ආකාරයේ අලුත් ඡන්දදායකයෙකු අවශ්‍ය නැත. එනිසා තීන්දුව ඇත්තේ ජනතාව අත මිස පක්ෂ නායකයින් සතුව නොවේ.
– කුසල් පෙරේරා
2023 පෙබරවාරි 27
You may like

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.
මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.
බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.
දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.
මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.
එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.
මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)
නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන් ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය. (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.
මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන් මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.
මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.
මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය. සිදුකරන්නේ නම් එය ප්රජාතන්ත්ර විරෝධී බවය.
රජිත් කීර්ති තෙන්නකෝන්
විශේෂාංග
නිලධාරීන් 86කට බෙල්ලට තොණ්ඩු වැටුන රාජ්‍ය ව්‍යවසාය
Published
4 days agoon
June 23, 2025By
editor
කාලෙකට ඉස්සර, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට ‘වටු කුරැළු පැටවුන්’ ලබාදීමේ වැඩසටහනක් දකුණේ ක්‍රියාත්මක කරලා තිබුණා. හැබැයි, හම්බන්තොට ට බෙදපු කිසිම වටු කුරුල්ලෙක් බිත්තර දාලා නෑ ලූ. ව්‍යාපෘතිය අසාර්ථකයි.
දැන් මේ ගැන දිස්ත්‍රික්කයේම රාජ්‍ය නිලධාරීන් (2015 විතර) ඉන්න රැස්වීමක දී කේක් කමින් කතා කරනවා. මේ රැස්වීමට පිට පලාතකින් ගිහින් හිටපු නිලධාරියෙක් අර වටු කරුළු කතාව කිව්ව පශු සම්පත් නිලධාරියාගෙන් අහනවා ‘මට වටු කුරුළු පැටව් දෙන්නෙක් දෙන්න බැරිද? ගෙදර හුරතලයට හදන්න’ කියලා.
හම්බන්තොටින් පැටව් දෙන්නා, දෙනියායට ගෙනල්ලා දවස් දෙකෙන් වටු කුරුල්ලෝ බිත්තර දාන්න පටන් ගන්නවා.
අර නිලධාරියා, මේ පණිවුඩය හම්බන්තොටට පශු නිලධාරීන්ට දීලා කියනවා ‘සමහරවිට බිත්තර දාන්නේ නැත්තේ දේශගුණය නිසා වෙන්න ඇති, තෙත් කලාපයට ගෙනල්ලා බලමු ද?’ කියලා.
පණිවුඩේ ලැබිලා වටු පැටව් එකතු කරන්න හොයනකොට, බිත්තර දාන්නේ නැති නිසා වැඩි හරියක් වටුවෝ මරාගෙන කාලා. හැබැයි ඉතිරි ටික හිනිදුම, දෙනියාය පැත්තට ගෙනිච්ච පැටව් දැන් හොඳට බිත්තර දානවා!
මේ කතාව මට කිව්වේ දකුණු පළාතේ හිටපු කාලේ, එහි සේවය කළ පශු වෛද්‍යවරයෙක්. අතීත කතාවක්.
මේ දවස්වල විදේශයන්ගෙන් ගෙනාපු කිරිඑළදෙන්නු ගැන ප්‍රශ්නයක් යනවා නේ. ජනාධිපතිවරු 3, අමාත්‍යවරු 8 (හැරිසන්, විජිතමුණි, රංජිත් මද්දුම බණ්ඩාර, මහින්ද යාපා, චමල් රාජපක්ෂ, මහින්දානන්ද, අමරවීර) ක්, අමාත්‍යාංශ ලේකම්වරු 15 (රේණුකා, ජයන්ත විජේරත්න, මායාදුන්න, රුවන්චන්ද්‍ර, රත්නායක, නීල් හපුහීන්න, සුමේධ පෙරේරා, රෝහණ පුෂ්පකුමාර, මහාචාර්ය උජිත් ජයසිංහ, ගුණදාස සමරසිංහ, ජනක ධර්මකීර්ති, නිශාන්ත වික්‍රමසිංහ, ඩී.පී. වික්‍රමාරච්චි) ක්, අතිරේක ලේකම්වරු 10 (පතිරත්න, නිහාල් වෙදසිංහ, ගීතා රාජපක්ෂ, බණ්ඩාරලතා, සී.එන්. ගමගේ, සමරනායක, නිහාල් ජයවීර, අමරසිංහ, පී.එස්. ප්‍රනාන්දු) ක්, ‘පැමිණිල්ලේ විත්තිකරුවන්’ බවට පත්වෙලා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශව ඒකකය (FCID) විසින් මේ ගැන විමර්ශන දෙකක් (හෝ එයට වැඩි ගණනක්) පවත්වනවා.
ලංකා රජය විසින් ගෙවනු ලැබූ අත්තිකාරම් මුදල ඔස්ට්‍රෙිලියාවේ තිබේ. පුද්ගලික අංශය විසින් අත්තිකාරම් මුදලක් ගෙවා, එහි සැපයුම (හරක්) රටට නොලුබුණු විට සිදු කරන්නේ බේරුම්කරණ ක්‍රියාවලියකින් එම ප්රශ්නය විසදාගැනීමයි. නමුත්, අද දක්වාම බේරුම්කරණ ක්‍රියාවලියක් සිදු නොකර රාජ්‍ය නිලධාරීන් 86 ක් ගැන විමර්ශණයක් සිදු වෙනවා. ලංකා රජය හා ඕස්ට්‍රෙිලියන් රජය අතර සිදුවූ මුදල් හුවමාරුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් නැවත රටට ලබාගත හැකියි. නිලධාරීන් එය සිදු නොකර, හිටපු දේශපාලනඥයින්, නිලධාරීන් මඩවනවා.
ඔය හයිබ්‍රිඩ් වැස්සියෝ පුද්ගලික අංශයේ ගොවිපලවල නියමිත ප්‍රමාණයට කිරි දෙනවා. අබේවෙල විතරක් නෙවෙයි, හොඳට ප්‍රමිතියක් සහිතව කන්න බොන්න දෙන තැන්වල කැප්පෙටිපොල, හපුතලේ හොඳට කිරි දෙනවා. ලාභ ලබනවා. රාජ්‍ය අංශයේ දී පාඩු ලබනවා.
ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැරි ඇයි කියලා ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙනවා.
ආණ්ඩුවේ ආයතන කරන සත්ව නිෂ්පාදන ව්‍යාපාර වලින් මිරිදිය මත්ස්‍ය පැටවුන් අභිජනනය ඉතාමත් සාර්ථක වුණා. එයින්, මිනිස්සුන්ගේ ආදායම විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ පෝෂණ අවශ්‍යතාවයත් පිරිමැහුණා. ආණ්ඩුවේ අලුත් ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ප්‍රවේශය නිසා පලාත් කිහිපයකම ‘මිරිදිය මත්ස්‍ය’ ව්‍යාපෘති පවත්වාගෙන යන්න බැරි තැනකට පත්වෙමින් තියෙනවා.
රජයට පාඩුවක් වෙන්නෙත් නැතුව, විගණකාධිපති ගේ නිර්ණායක අනුව කටයුතු කරමින්, කෝප් කමිටුවේ ආධුනික ප්‍රශ්න කිරීම්වලිනුත් බේරිලා, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්ණායක අනුව, අමාත්‍යවරයාගේ ඡන්ද කොට්ඨාශයේ උදවියටත් සෙතක් වෙන විදිහට බැරිනම් මාධ්‍ය ප්‍රචාරයක් හෝ ලැබෙන ආකාරයට, පුද්ගලික අංශයේ තරගකාරී ආයතන සමඟ අසමාන තරඟ බිමක බිස්නස් කරන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙම වැඩ කරන්න පුළුවන් පිරිසකට දැන් රාජ්‍ය සේවයේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා!
රාජ්‍ය සේවයේ ව්‍යාපාරවල වගකීම් දරන නිලධාරීන්ට තියෙන ලොකුම ප්රශ්නය තමයි, ‘ලොකුම හොරකම කරපු, වැටුප් දීමනා ලබන අය’ පැමිණිලිකරු වෙලා කිසිම ප්‍රතිලාභයක් නොලැබුණු රාජ්‍ය නිලධාරීන් රොත්තකටම නින්දා, අපහාස, උපහාස විදිමින් අතින් මුදල් වියදම් කරගෙන පොලිසි උසාවි ගානේ ලගින්නට වීම.
විශේෂයෙන් ‘රාජ්‍ය ව්‍යවසාය රැක ගැනීම සිය ප්‍රතිපත්තිය විදිහට සලකන’ ආණ්ඩුවකට අද ‘තාක්ෂණික ඇගයීමක් කර ගැනීමේ, ටෙන්ඩර් එකක් අනුමත කර ගන්න බැරි තත්වයක් මතුවෙලා තියෙන්නේ මේ නිසයි.
‘රාජ්‍යයට ව්‍යාපාර කරන්න බැරි බව’ පෙන්වන හොඳම උදාහරණය වටු කුරුළු කතාව නෙවෙයි. ‘රාජ්‍ය ව්‍යාපාරවලට මැදිහත්වන නිලධාරීන්ට අත්විය හැකි අවාසනාවන්ත සහ බිහිසුණු ඉරණම තමයි, ‘කිරි හරක්’ ඇණුවුම් කිරීම පිළිබඳ සිදුවන විමර්ශනය!
රජිත් කීර්ති තෙන්නකෝන්


“මහන්සිවී අලුතෙන් සිතුවහොත් වැරදි නිවැරදි කරන්නට හැකි වූවත් ඒවායේ කැළැල් මැකෙන්නට කාලයක් ගත වෙන බවත් නිවැරදි කළ සියල්ලේ වාසිය එකවර නොලැබෙන බවත් තේරුම් ගත යුතු අතර, ලැබෙන වාසිය තේරුම් ගත හැක්කේ අතීතය සමග සැසඳීමෙන් බවත් දත යුතුය.”
අපේ රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයන්නේ ආර්ථික ක්ෂේත්‍ර 03 ක බහුතර ශ්‍රමිකාවියන් ය. පැරණිම ක්ෂේත්රය වන්නේ සාම්ප්‍රදායික තේ වැවිලිකරයයි. එහි අති බහුතරය, සියයට 90 ක් පමණ ශ්‍රමිකාවියන් ය. දෙවැන්න ඇඟළුම් ඇතුළු අපනයන නිෂ්පාදන ක්ෂේත්රය ය. ඇඟළුම් කර්මාන්තයේ සෘජු සේවක සංඛ්‍යාව ලක්ෂ 03.5 කි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව ඉන් සියයට 80 ක් කාන්තාවන් ය. තෙවැන්න මැද පෙරදිග සේවයේ නියුතු සංක්‍රමණිකයින් ය. විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුව, සාමාන්‍යයෙන් දස ලක්ෂයකට ආසන්න පිරිසක් හැම අවුරුද්දේම මැද පෙරදිග සේවයට යති. එවගේම ඕනෑම මොහොතක දස ලක්ෂ 03.5 ක් පමණ ශ්‍රී ලාංකිකයින් මැද පෙරදිග සේවය කරති. ඉන් සියයට 65 ක් කාන්තාවන් ය.
ඇඟළුම් අපනයනයෙන් ලැබෙන ආදායම, අමුද්‍රව්‍ය සඳහාවන ආනයන වියදම නොසළකා එකතු කෙරෙන හෙයින් ඒ දත්ත නිවැරදි කිරීම් සමගින් 2019 න් පසු අපගේ වාර්ෂික විදේශ විනිමය ආදායමේ මුළු එකතුව දළ වශයෙන් ඩොලර් බිලියන 14 කි. ඉන් ඩොලර් බිලියන 08 ක් පමණ, සියයට 60 ට ආසන්න ප්‍රමාණයක් උපයා දෙන්නේ දුප්පත් ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ කාන්තා ශ්‍රමය මගින් ය.
ඉතිරි ඩොලර් 06 ට දායක වන පිරිමි ශ්‍රමයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක්ද දුප්පත් ග්‍රාමීය සමාජයෙන් හවුල් වන්නවුන් ය. නාගරික දායකත්වය ඇත්තේ විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වැනි සේවාවන් වල ය. ඒවායේ විදේශ විනිමය ඉපැයීම දැනට ඩොලර් මිලියන 900 ක් පමණ ය.
ඒ සියල්ල එක ප්‍රශ්නයක් වෙනුවෙන් සාරාංශගත කළහොත් මේ රටේ නිදහසින් පසු තවමත් නොදියුණුව පවතින ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ දුප්පතුන් විසින් වාර්ෂිකව උපයා දෙන ඩොලර් බිලියන 08 ක විදේශ විනිමය වෙනුවෙන් ඔවුන්ට ලබා දී ඇති ප්රතිලාභ මොනවාද? පවතින සැබෑව නම්, දසක ගණානවකින් කිසිදු දියුණුවක් ඔවුන්ට ලැබී නැත.
ගමේ දුප්පතුන් යැයි කියන්නේ මාසික වියදම සොයා ගැනීමට සිතිය නොහැකි තරමේ දහදුක් විඳින පවුල් වලටය. නමුත් ගමේ දුප්පත්කම පවුලේ වියදම සොයා ගැනීමට නොහැකිවීම පමණක්ම නොවේ. අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීමට නොහැකිවීමත් දුප්පත්කම උග්‍ර කරන්නකි. ඒ සම්බන්ධයෙන් කදිම නිදසුනක් සතියකට පමණ පෙර අසන්නට ලැබුණි. මතකය නිවැරදි නම් ඒ නැගෙනහිර පළාතට මායිම් වූ ගමක සිදුවීමකි. සැළකිය යුතු සිසු සිසුවියන් සංඛ්‍යාවක් ඉගෙන ගන්නා ප්‍රාථමික විද්‍යාලයකි. එහි ළමුන් සයවන වසර සිට යා යුත්තේ නගරයේ තිබෙන ලොකු පාසලකට ය. ගමට බස් සේවාවක් නොමැත. නගරයේ පාසලට කිලෝ මීටර 04 ට වැඩි දුරක් ඇත. එහෙයින් නගරයේ ඒ පාසලට බොහෝ විට ළමුන් ඇතුළු කෙරෙන්නේ ඒ ගමේ යතුරු පැදියක් හෝ ත්‍රීරෝද රථයක් ඇති පවුල් වලින් ය. එනිසා හැම වසරේම ගමේ බහුතරයක් ළමුන්ගේ අධ්‍යාපනය ඒ ගමේ පාසලේ 05 වසරින් කෙළවර වන්නේය.
මේ වසරේ ගමේ විදුහලේ විදුහල්පති ලෙස පත්වීමක් ලැබ පැමිණි විදුහල්පතිවරයා දෙමාපිය රැස්වීමකදී ඊට විසඳුමක් යෝජනා කර ඇත. ඔහුගේ යෝජනාව වී ඇත්තේ (1) පාසල සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වෙන මහ විදුහලක් ලෙස උසස් කිරීමට බලධාරීන්ට බල කිරීමත් (2) ළමුන්ට නගරයේ පාසලට යාමටත් ගමේ සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික ගමනා ගමනයටත් ගමට බස් සේවාවක් ඉල්ලා සිටීමත් විය. ඒ සේවා පහසුකම් දෙකම, ඒ ගමේ වැසියන්ට තිබිය යුතු වූ සේවාවන්ය. ඒවා නොතිබීමෙන් ඔවුන් දෙවේල කෑවත් දුප්පතුන් විය.
මේ දුප්පත්කම ඒ පාසලට, ඒ ගමට සීමා වූවක් නොවේ. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සමාජ අවශ්‍යතා සැපිරෙන්නේ වෙළඳපල ඉල්ලුම හා සැපුයම මත යැයි මතවාදයක් ඇත. එබැවින් ආණ්ඩු කටයුතු කරන්නේ රජයේ වගකීම් අවම කිරීමට ය. පොදු ප්‍රතිපලය නම්, ළමුන්ට අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට හැකි පහසුකම් හරියාකාරව ගමට එන්නේ නැත. සාමාන්‍ය ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ගත හැකි රජයේ රෝහලක් ආසන්නයේ නැත. දෛනික අවශ්‍යතා සඳහා ගමන් බිමන් යෑමට පොදු ප්‍රවාහන සේවා නැත. එනිසා ගමෙහි වෙළඳපල යනු ගමෙන් පිට වූවන් ගමට එවන මුදලින් පවතින සිල්ලර වෙළඳපලකි. එහි ලාභයද ආසන්න නගරයට කාන්දු වන්නකි. ගමේ වෙළඳපල ප්රසාරණයට එබැවින් අළුත් එකතුවීම් නැත. එනිසා ගමට ආයෝජන රැගෙන එනවුන්ද නැත. ගමේ දුප්පත්කම තීව්ර වන්නේ, ආණ්ඩු විසින් ස්ථිර විසඳුම් නොදෙන ඒ සියල්ල එකතුවන විටය.
ඊළගට ඇසිය යුතු ප්රශ්නය වන්නේ සමස්ථ විදේශ විනිමය ආදායමෙන් වැවිලිකරයේ හා ග්‍රාමීය සමාජයේ කාන්තාවන් විසින් වාර්ෂිකව උපයා දෙන සියයට 60 ක් වන ඩොලර් බිලියන 08 ක පමණ විදේශ විනිමය ඇතුළු මුළු ඩොලර් ප්‍රමාණය වැය කෙරෙන්නේ මොනවාටද යන්නයි. ගෙවුනු දසක කිහිපයේ හැම වසරකම ලංකාවට වැඩියෙන්ම ආනයනය කර ඇත්තේ පිරිපහදු කෙරුණු ඉන්ධන හා බොර තෙල් ය. ඒ වෙනුවෙන් දළ වශයෙන් ඩොලර් බිලියන 03.4 ක් පමණ වාර්ෂිකව වියදම් වන්නේය. එයින් ඩොලර් මිලියන 680 ක පමණ මුදලක් රටම බුක්ති විඳින විදුලිය උත්පාදනය සඳහා වැය වේ. ඉතිරි ඩොලර් බිලියන 02.7 ක පමණ ඉන්ධන හා බොර තෙල් වලින් හරියාකාර මගී ප්‍රවාහන සේවාවන්ද නැති ගමට ලැබෙන වාසිය කුමක්ද?
ආනයනය කෙරෙන බොහෝ ඉන්ධන වැය කෙරෙන්නේ නගරවල පෞද්ගලික වාහන ධාවනය වෙනුවෙන් ය. ඒ අතර වන සැළකිය යුතු සුඛෝපභෝගී වාහන ප්‍රතිශතයක් කි.මීටර 04 ක් නැතිනම් 05 ක් ධාවනයට 01 ලීටරයක් පුළුස්සන්නේ ය. වසර 05 ට පසු නැවත ආනයනය කරන වාහන අතර එවැනි වාහන කොපමණ තිබේදැයි වාර්තා තවම නැත. එහෙත් ජනවාරි සිට මැයි දක්වා මාස 05 ක කාලයේ වරායෙන් නිදහස් කළ වාහන සඳහා වැය කර ඇති ඩොලර් ප්‍රමාණය මිලියන 200 කි. මේ වසර අවසාන වනවිට ඩොලර් බිලියන 01 ක් වාහන සඳහා වැය වනු ඇතැයි ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇත. ඒ සමග මේ වසරට මෙතෙක් විදුලි උත්පාදනයට අමතරව ඉන්ධන සඳහා වැය කළ ඩොලර් බිලියන 02.7 කිසිසේත් ප්‍රමාණවත් නොවනු ඇත. නියත වශයෙන්ම ඒ වියදම ඩොලර් බිලියන 03.5 ක් වත් වනු ඇත. ඒ කිසිත් පලදායි වියදම් නොවේ.
ඉන්ධන හා බොර තෙල් වලට පසු ඉකුත් වසර වල ලංකාවේ ලොකුම ආනයනය වූයේ ඇඟළුම් නිෂ්පාදන සඳහා රබර් ආලේපිත ගෙතූ රෙදි වර්ගය. 2023 වසරේ ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 765 ක් වැයකර ඇත. අනෙක් ප්‍රධාන ආනයන ලෙස ගැණෙන්නේ අසුරන ලද fඖෂධ සහ සීනි වර්ග ය. ආහාර හා බීම වර්ග ලෙස ප්‍රධාන වශයෙන් ආනයනය කෙරෙන්නේ පලතුරු බීම, ධාන්‍ය වර්ග, කිරි නිෂ්පාදන, එළවළු, මත්ස්‍ය වර්ග, බේකරි හා රසකැවිලි සහ කුළු බඩු වර්ග ය. මහ බැංකුවට අනුව 2023 වසරේ මාස 11 ක් තුල ඒ වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් මිලියන 1,541 කි. මීට අවුරුදු 05 ක් වනතෙක් මේ වාර්ෂික ආනයන ලැයිස්තුවේ ඩොලර් බිලියන කිහිපයක වාහනද විය.
මේ ඇතැම්වා අත්‍යාවශ්‍ය ආනයන ය. ඇතැම්වා වැඩි ලාභ වෙනුවෙන් නාගරික සිල්ලර වෙළඳපලට ගෙන්වන භාණ්ඩ ය. සමස්ථයක් ලෙස ගතහොත් විදේශ විනිමය වැඩියෙන් වැය කෙරෙන්නේ නාගරික පරිභෝජනය සඳහා ය. දුප්පත් ග්‍රාමීය සමාජයෙන් බහුතර කාන්තා ශ්‍රමයක් යොදා ගෙන උපයන විදේශ විනිමය නොමැත්තේ නම්, නාගරික ජීවිතයේ නිවසේ සිට වාහනයටත් වාහනයේ සිට කාර්යාලයටත් වායු සමීකරණය කෙරුණු සුඛෝපභෝගි පැවැත්ම නඩත්තු නොවනු ඇත. එවගේම මේ විවෘත වෙළඳපල ආර්ථිකය හැර වෙන කිසිත් ගැන සිතන්නට නොදන්නා දේශපාලකයින්, ආර්ථික විශේෂඥයින්, වෘත්තිකයින් හා මෙය වෙනස් කිරීමට නුසූදානම් ජාවාරම්කාරයින් ගම දියුණු කළහොත් හසුවන හෙයියම්මාරුවක් ඇත. ගම දියුණු වන්නේ නම්, ඔවුන්ට විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය දුප්පත් ශ්‍රමිකයින් සොයා ගත නොහැකි වනු ඇත. ඔවුන්ට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමට ගමේ දුප්පත්කම පැවතිය යුතුය.
අපට, මේ රටේ පුරවැසියනට එවැනි යැපීමක් අවශ්‍ය නැත. එනිසා අප උපයන විදේශ විනිමය වඩා පලදායි ලෙස, සාධනීය අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරෙන ජාතික සංවර්ධන සැළසුමක් අපට අවශ්‍යව ඇත. රුපියල් වැය කිරීමේදීද එවැනිම අනාගතවාදී ජාතික දැක්මක් තිබිය යුතුය. වැවිලිකරයේ හා ගමේ ශ්‍රමය ඉදිරි දියුණුව වෙනුවෙන් පලදායි ලෙස යොදා ගැනීමේ ග්‍රාමීය සංවර්ධන සැළසුමක් තිබීමත් අත්‍යාවශ්‍ය වන්නකි. තව දුරටත් විදේශ ණය ගැනීම් අවශ්‍ය නොවන අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහන ප්‍රතිසංස්කරණ සහ ජාතික නිවාස යෝජනා ඇතුළත් ආර්ථික සැළසුමක් සමගින් අප හෙට ගැන සිතිය යුතුය. එය ජාවාරම්කාර පැලැන්තියකට ඉඩ නොතබන, ධනේශ්වර ප්රජාතන්ත්රවාදී වර්ධනයක් සඳහා නියාමනය කෙරෙන වෙළඳපලක් සහිත නව ගමනක් විය යුතුය. එවැන්නක් ගැන සිතන්නට මහන්සි විය යුතුය. අලුත් ලෝකයක් ගැන සිතන්නට බිය නොවිය යුතුය.

කුසල් පෙරේරා
ප්‍රවීන දේශපාලන විචාරක හා මාධ්‍යවේදී

පෝට් සිටි මුහුදේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ දේහය හමුවේ (UPDATE)

ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප (UPDATE)

අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)
Trending
-
පුවත්5 days ago
පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට
-
ගොසිප්6 days ago
හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්???
-
පුවත්1 week ago
දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන
-
පුවත්23 hours ago
මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි
-
පුවත්1 week ago
පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්