ගැටුමකින් තුවාල ලබා පලායමින් සිටි පුද්ගලයකු ගමන් කරමින් සිටි කාර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ දී අනතුරකට ලක් වීමෙන් පසු රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී සොයා ගන්නා ලද ගිනි අවිය හිටපු නාවික හමුදාපති (හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි) රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාට පාකිස්තානයෙන් තෑගි දුන් එකක් බව හෙළිව තිබේ.
මෙසේ සොයාගෙන ඇත්තේ පකිස්ථානයේ නිශ්පාදිත එම්.පී. 5 වර්ගයේ රන් ආලේපිත ගිනි අවියකි.
ඉකුත් 11වැනිදා අළුයම 3.30 ට පමණ කුඩා කාර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ කොළඹ කටුනායක අධිවේගී පිවිසුමට ආසන්නයේ දී පාරෙන් ඉවතට පැන අනතුරකට ලක්වී තිබිණි.
එම අවස්ථාවේ ජා-ඇල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් පැමිණ කාර් රථය පරික්ෂා කිරීමේදී කැපුම් තුවාල සහිතව කාර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු සුවසැරිය ගිලන් රථය මගින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
අනතුරුව පොලිස් නිලධාරීන් කාර් රථය පරීක්ෂා කිරීමේදී රන් ආලේපිත ගිනි අවිය සොයා ගැනීමට හැකි වු බව ජා-ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් බාලසූරිය මහතා පවසා තිබිණි.
පොලිසය විසින් කරනු ලැබූ වැඩි දුර විමර්ශන කටයුතු වලදී අනාවරණය වී ඇත්තේ පුද්ගලයින් කිහිප දෙනෙක් රාගම ප්‍රදේශයේ දී මත් පැන් පානය කර 11 වැනිදා අළුයම 1.00ට පමණ කටුනායක පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් එහි ආරක්ෂක නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගෙන ඇති බවයි.
පසුව ඔවුන් රාගම ප්‍රදේශයේ ට පැමිණ අදාළ ගිනි අවිය රැගෙන පෙර සමාජ ශාලාවට ගොස් එහි ආරක්ෂක නිලධාරීන් බිය ගැන්වීම ට ගිනි අවිය එල්ල කල අවස්ථාවේදී එහි සිටි ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට බෝතල් වලින් පහරදී ඇති බවයි.
පසුව අතෙහි බරපතල කැපුම් තුවාල සහිතව ආපසු එමින් සිටියදී කාර් රථය මෙලෙස අනතුරට මුහුණ දී ඇති බව පැවසේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුවන් මේ වනවිට රාගම හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
මින් එක් සැකකරුවකු හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාගේ රාගම පිහිටි නිවස බලාගෙන සිටි අයෙක් බවත්, අනෙක් සැකකරු වාහන සර්විස් සෙන්ටර් එකක හිමිකරුවෙක් බවයි.