රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය තවමත් හිස්ව පැවතීම නිසා නව තානාපතිවරයකු පත් කරන තුරු විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම තානාපති කාර්යාලයේ වැඩ බැලීමට යැවීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
මේ අතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මාධ්‍යට පවසා ඇත්තේ, තානාපතිවරයෙකු නොමැති වීම හුදෙක් කාර්ය පටිපාටියේ පරතරයක් පමණක් බවත්, රුසියාවේ පවතින විශේෂ තත්ත්වය මත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එහි කටයුතු අධීක්‍ෂණය කිරීමට යොමු කරන බවයි.
මෙසේ යවන්නේ විශ්‍රාමික විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයකු බවත්, දැනට තානාපතිවරයකු නොමැති වීම ප්‍රධාන ප්‍රශ්නයක් නොවන බවද ඔහු අවධාරණය කර තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එහි දැනටමත් විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිටින බවත්, සිදුවෙමින් පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, ඉතා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු යවන්නේ දැනට රුසියාවේ සිටින නිලධාරියා ප්‍රමාණවත් නොවන නිසා නොවන බවද ඔහු කියා සිටී.
මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා මෙය සිදු කරන බවත්, සාමාන්‍ය ප්‍රොටෝකෝලය අනුව කටයුතු සිදුවන බවද බාලසූරිය මහතා අවධාරණය කර ඇත.
කෙසේවුවද, රුසියාවට තානාපතිවරයකු පත් කර ඇතත් ඔහු කවුරුන්ද යන්න මාධ්‍යට හෙළි නොකිරීමට ද බාලසූරිය මහතා කටයුතු කර තිබේ.
රුසියානු සමූහ ආණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනිය වන මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මියට සේවා දිග තුනක් ලබාදී තිබුණු අතර, ඇය පසුගිය අප්‍රේල් 29 වැනිදා මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිය සේවය අවසන් කර ඇත.
වර්තමානයේ, රුවිනි කේ. මුනිදාස මහත්මිය තානාපති කාර්යාලයේ භාර නිලධාරිනිය ලෙස කටයුතු කරනු ලබයි.