Connect with us

පුවත්

අ‘පුර රෝහලේ ළමා වාට්ටුව වහයි

Published

on

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනාම රටහැර විදේශ පදිංචියට යෑම නිසා එම රෝහලේ ළමා වාට්ටුවක් ඊයේ (30) සිට වසා දමා ඇත.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථා ද අහිමි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත කරුණාරත්න මහතා පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු අතරින් ප්‍රධානම වාට්ටුව මෙලෙස වැසී යාම බරපතළ තත්ත්වයක් බව ද තවත් විශේෂ වෛද්‍යවරුන් පිරිසක් රටහැර යෑමේ සූදානමකින් පසුවන බව ද වෛද්‍ය රාජකරුණා මහතා කීය.

මහාචාර්ය ඒකකයට අයත් මෙම ළමා වාට්ටුවේ අවසන් වසරේ වෛද්‍ය සිසුන් 210 දෙනකු පුහුණුව ලබමින් සිටි බවත් ඔවුන්ට එම අවස්ථාව මේ වනවිට මගහැරී ගොස් ඇති බවත් රාජකරුණා මහතා පැවසීය.

තඹුත්තේගම මූලික රෝහලේ හැරුණු කොට අනුරාධපුරය දිස්ත්‍රිකකයේ කිසිදු රෝහලක ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බව පැවසූ සහකාර ලේකම්වරයා මේ නිසා දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව ද සඳහන් කළේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කිරීමට කිසිදු ස්ථිර වෛද්‍යවරයකු  මේවන විට නොමැති බව ද හිටපු වෛද්‍යවරුන් විදේශගත වී ඇති බව ද ඔහු කීය.

වෘත්තිකයන්ට සුදුසු පරිසරයක් රට තුළ නැතිවීම, අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම ඉහළයාම ආදි කරුණු හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් රටහැර යන තත්ත්වයක් උද්ගතවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් කාලයේ දිගින් දිගටම අනතුරු ඇඟවීම් කළ බව ද  ඔහු කීය.

ළමා වාට්ටුව වසා දැමීම පිළිබඳව ලංකාදීපය කළ විමසුමක දී අනුරාධපුරය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ තමාට ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බවය.

මේ අතර අනුරාධපුර රෝහල් 63  වැනි වාට්ටුව හෙවත් ළමා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්ය මණ්ඩලය වෙනත් වාට්ටුවලට මාරුකර ඇත.

රෝහලේ මහාචාර්ය ඒකකයට අනුබද්ධ ළමා රෝග වාට්ටුවේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් 63 වාට්ටුව වසා දැමීමට සිදුවී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා එහි වට්ටු අංක 24 සහ 25 යන වාට්ටු දෙකේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ට අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇතැයි වාර්තා වේ.

වාට්ටු අංක 63 නැවත විවෘත කරන තෙක් ළමා රෝගීන් ඇතුළත් කිරීම වාට්ටු අංක 24 සහ 25 යන වාට්ටුවලට ඊයේ (30) සිට තාවකාලිකව යොමු කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.

එමෙන්ම වාට්ටු අංක 63 ප්‍රතිකාර ලබන ළමා රෝගීන් 24සහ 25 යන වාට්ටුවලට මාරු කර යවන අතර 63 වාට්ටුවේ ළමා රෝග සායනය සතියක් ඇර සතියක 24 සහ 25  වාට්ටුවල පවත්වන්නැයි එමගින් උපදෙස් දී ඇත.

මේ අතර 63 වාට්ටුවේ සේවයෙ නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්, සීමාවාසික වෛද්‍ය නිලධාරීන් හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ද 24 සහ 25 වාට්ටුවලට අනුයුක්ත කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.

(ලංකාදීප)

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

By

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

Continue Reading

පුවත්

“සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්ය.

අදාල නිවේදනය,

“ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු! –  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

රට තුළ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණකි.

පසුගිය දා ආරම්භ වූ සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved