ලෝක කම්කරු දිනය හෙට (01) දිනයට යෙදී තිබේ.
ඒ වෙනුවෙන් මැයි දිනය සමරමින් දේශපාලන පක්ෂ සිය මැයි දින රැළි හෙට දිනයේ කොළඹ මෙන්ම කොළඹින් පිටත ද පැවැත්වීමට සැළසුම් කර ඇත.
ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය හෙට පස්වරු 3.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.
‘රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැළිය’ යන තේමාවෙන් මෙවර ජාතික ජන බලවේගයේ මැයි රැළිය සංවිධානය වී ඇත.
සමගි ජන බලවේගය සංවිධානය කරන මැයි රැළිය හෙට පැවැත්වෙන්නේ තලවාකැලේ නගරයේදී ය.
‘ගම දිනවන සටනට කම්කරු බලය’ යන්න ඔවුන්ගේ මෙවර මැයි දිනයේ තේමාවයි. හෙට පස්වරු 2.00 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම මැයි රැළිය පැවැත්වීමට නියමිතය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දිනය වෙනුවෙන් විශාල රැස්වීමක් පැවැත්වීම ප්‍රයෝජනයක් නැති බව පවසයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය මැයි පළමුවැනිදා ගමේ සිට මැතිවරණ කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් හෙතෙම සඳහන් කලේය.
මේ අතර මැයි රැලි දෙකක් සඳහා කොළඹ හයිඩ් පිටිය දේශපාලන පක්ෂ විසින් වෙන් කිරීම නිසා මත භේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි රැලිය සඳහා කොළඹ මහනගර සභාවෙන් එම ක්‍රීඩාංගණය වෙන්කර ගෙන ඇත්තේ ජනවාරි මාසයේදීය.
එහෙත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලංකා සම සමාජ පක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂය ඒකාබද්ධ මැයි රැලිය සඳහා එම ක්‍රීඩාංගණය වෙන්කරගෙන ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා ය.
මේ නිසා එකම දිනයේ ක්‍රීඩාංගණය දේශපාලන පක්ෂ දෙකකට ලබාදීමට නොහැකිවීම හේතුවෙන් කොළඹ මහ නගර සභාව සහ පොලිසිය එක්ව දේශපාලන පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡා ද අසාර්ථක වී ඇත.
කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කරන්නේ ක්‍රීඩාංගණය ලබානොදීම නිසා කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු පවරන බවයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වනු ලබන මැයි රැලිය හෙට පැවැත්වෙන්නේ කිරුළපන ලලිත් ඇතුලත්මුදළි ක්‍රීඩාංගණයේදී සවස 3.00ට බව ඔවුන් විසින් මේ වනවිට සඳහන් කර තිබේ.
හෙට සවස 3.00ට හයිඩ් පිටියේ දී සමාජවාදී ජනතා පෙරමුණේ මැයි රැළිය පැවැත්වීමට නියමිතව ඇත.
හෙට දවසේ ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් මෙන්න විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සබැඳි පුවත්