Connect with us

ව්‍යාපාර

ඉන්ධන වලට උපරිම සිල්ලර මිලක්

Published

on

චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය.

සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්, රටට ප්‍රතිලාභ අත්කරදෙමින් ඉන්ධන සැපයීමේ තරඟකාරීත්වයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේ දී සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඊට සාපේක්ෂව QR කේතය පිළිබඳ තීරණය ගැනීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩිම ප්‍රශ්නවලට මුහුණ දුන් අමාත්‍යාංශයක් තමයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය.  එදා රට තුළ  ඉන්ධන පෝලිම් තිබුණා. අප ඉතා අසීරූ කාලයක් පසුකරගෙන ඉදිරියට පැමිණ තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට භාර ගැනීමෙන් පසුව ඉන්ධන ගැටලුව විසඳීමේ අභියෝගය කාංචන විජේසේකර ඇමතිතුමාට භාර දුන්නා. ඒ අවස්ථාවේ රට තුළ ඩොලර් තිබුණේ නැහැ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි වී සිටි ඉන්ධන සැපයුම්කරුවන් 28 දෙනා අතරින් දෙදෙනෙක් තමයි ලංකාවට ඉන්ධන ලබාදීමට ඉදිරිපත් වී තිබුණේ. එවැනි තත්ත්වයක් තමයි එදා රට තුළ තිබුණේ.‍

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය සමඟ රටේ ඩොලර් සංචිත සාමාන්‍ය තත්ත්වයට පත් වීමට පටන් ගත්තා. ඒ වගේම කාංචන විජේසේකර අමාත්‍යවරයාගේ කළමනාකරණ ප්‍රතිපත්තිය මත QR කේතය තුළින් රටේ තිබෙන ඩොලර් ප්‍රමාණයට අනුව පාරිභෝගික ජනතාවට ඉන්ධන ලබාදීමට හැකියාව ලැබුණා.

QR කේතය හඳුන්වා දී දින දෙක තුනක් ගත වන විට රට තුළ පැවති ඉන්ධන පෝලිම් අවසන් වුණා. මේ වන විට ක්‍රමානුකූලව QR කේතය තුළින් ඉන්ධන ලබාදීමේ කෝටාව වැඩි කරගෙන යමින් තිබෙනවා.

ස්ථීර තෙල් සැපයුමක් ලබා දීම, තරගකාරීත්වය වැඩි කර ගැනීම ඇතුළු ප්‍රධාන වගකීම් හතරක් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මට පැවරී තිබෙනවා. ස්ථීර තෙල් සැපයුමක් වෙනුවෙන් කෙටි කාලීන වැඩපිළිවෙළක් වෙනුවට වසරක කාලයක් සඳහා ඉන්ධන ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.  

වෙනදා ඉන්ධන  සඳහා ටෙන්ඩර් කැදවන විට අපේ පවතින ගබඩාවල ඉඩ ප්‍රමාණය අනුව තමයි ඉන්ධන ලබා ගත්තේ. ඒ වෙනුවට සිංගප්පූරු ක්‍රමය අධ්‍යයනය කිරීමට අප කටයුතු කළා.  සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට ලෝකයේ අඩුම මිල තිබෙන දිනවල ටෙන්ඩර් කැඳවීමටත්, ලංකාවට තෙල් ගෙන එන දිනය තීරණය කිරීමත් එම විශේෂ ක්‍රමය අනුව දැන් සිදු වෙනවා.

මීට පෙර ඉන්ධන ආරක්ෂිත සංචිත පවත්වාගෙන යෑමට කටයුතු කර තිබුණේ නැහැ. මේ වන විට පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන ලීටර් 30,000ක සංචිතයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට පියවර ගෙන තිබෙනවා. එදිනෙදා වියදටම අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට අමතරව තවත් ඩොලර් මිලියන 60ක් අප කළමනාකරණය කරගෙන යනවා. ඉන්ධන ගොඩබෑමේ දිනය පිළිබඳව මෙරටට එන ඉන්ධන නෞකාවලට එදා විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ හැම වියදමක්ම රජයට දැරීමට සිදුවුණා.

විශේෂයෙන්ම වෙනත් රටවල පවතින ක්‍රමවේද අධ්‍යයනය කර සැපයුම්කරුවන් සමඟ අප සාකච්ඡා කළා. ලෝකයේ පවතින ක්‍රම අධ්‍යයනය කර මෙරටට නව ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඒ අනුව කිසිම අත්තිකාරම් මුදලක් අප තවදුරටත් ඉන්ධන සමාගම්වලට ගෙවන්නේ නැහැ. ලංකාවට පැමිණෙන තෙල් නෞකා අපේ ගබඩාවල සම්පූර්ණයෙන්ම ගබඩා කළ යුතුයි. ඉන් අනතුරුව තමයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින ඩොලර්වලින් සතියකට අවශ්‍ය මිලදී ගැනීම් සිදු කරනු ලබන්නේ.

මෙහි වාසි කිහිපයක් තිබෙනවා. අවදානම් ගාස්තු සම්පූර්ණයෙන් ඉවත් වුණා. ප්‍රමාද ගාස්තු ගෙවීමටත් අවශ්‍ය නැහැ. ආසන්න වශයෙන් පසුගිය වසරේ ඩොලර් 12.19 ක්ව තිබූ ඔටෝ ඩීසල් ප්‍රිමියම් එක නව ක්‍රමවේදය සමඟ ඩොලර් 5.78කට අරගෙන ඒමට හැකියාව ලැබුණා. සාමාන්‍යයෙන් එක නෞකාවකින් පමණක් ඩොලර් මිලියන 3.5ක් ලෙස මේ වසරේ මුල් මාස හයේ පමණක් ඩොලර් මිලියන 63ක අඩු කර ගැනීමට පුළුවන්කම ලැබුණා.

පෙට්‍රල්වලිනුත් ඩොලර් 10.8ක් පැවති ප්‍රිමියර් ඒක ඩොලර් 7 දක්වා අඩු කරගෙන, එක නෞකාවකින් පමණක් ඩොලර් මිලියන 3.3ක මිල අඩු කර ගැනීමට හැකියාව ලැබුණා.  මේ අනුව පෙට්‍රල් 92වලින් ඩොලර් මිලියන 59.3ක්, සුපර් ඩීසල්වලින් ඩොලර් මිලියන 2.3ක්, පෙට්‍රල් 95වලින් ඩොලර් මිලියන 2ක් සහ ගුවන් යානා ඉන්ධනවලින් ඩොලර් මිලියන 22ක් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 149ක් ඉතිරි කර ගැනීමට පුළුවන්කම ලැබුණා. වසරකට ඩොලර් මිලියන 300ක් ඉතිරි කර ගැනීමේ හැකියාව මෙම නව ක්‍රමවේදය තුළින් ලැබෙනවා.

අපි හැමදාම කළේ ප්‍රමාද ගාස්තු ගෙවන ඒක පමණයි. නමුත් දැන් පළමු වතාවට මේ වසරේ මුල් මාස 6 තුළ පමණක් ඉන්ධන සමාගම්වලින් ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 13ක් අපට ලැබීමට තිබෙනවා. එහි පළමු වාරිකය වශයෙන් ඩොලර් මිලියන 3ක් ලබන 18 වැනිදාට පෙර අය කර ගැනීමට කටයුතු කරගෙන යමින් සිටිනවා. ඉතිරි ඩොලර් මිලියන 10ක මුදල සම්පූර්ණයෙන්ම සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට කටයුතු කරනවා.

ඉන්ධන තරගකාරීත්වය ඇති කිරීමට ලියාපදිංචි වී සිටින සමාගම්වලින් බැහැරට ගිහින් ජාත්‍යන්තරයේ ලියාපදිංචි ප්‍රධාන සමාගම් තුනක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙමඟින් තරගකාරීත්වයක් මෙන්ම පවතින ඩොලර් ගැටලුවට ද හොඳ විසඳුමක් ලැබෙනවා. ඒ වගේම වසරක් ඇතුළත‌ පිටරටට ඇදී යන ‌ෙඩාලර් බිලියන 1.5ක් වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

ලබන මාසේ මුල් සතිය වන විට සයිනොපෙක් සමාගමේ නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතයි. සාමාන්‍යයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් පිටතට ගිය ඩොලර් ප්‍රමාණයෙන් 20%ක් පළමු මාසය තුළ අඩු කර ගැනීමට හැකියාව ලැබෙයි කියා විශ්වාස කරනවා. මාසිකව එය 45%ක් දක්වා අඩු කර ගැනීමට හැකියාව ඇතැයි අපේක්ෂා කරනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයත්, මහ බැංකුවත්, ජනාධිපතිතුමාත්, අමාත්‍යවරයාත් සමඟ සාකච්ඡා කර ඊට සාපේක්ෂව QR කේතය ඉවත් කරනවා ද එසේ නොමැති නම් කෝටාව වැඩි කිරීමක් සිදු කරනවාද කියා තීරණය කරනවා.
 

මෙතෙක්  ඉන්ධන මිල සූත්‍රය පැවතුණේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණයි. ඒ වෙනුවට මෙම නව ක්‍රමය තුළින් සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගනු ලබනවා. මේ අනුව අමාත්‍යාංශය මගින් ඉදිරියේදී උපරිම සිල්ලර මිල පමණයි තීරණය කරන්නේ. පසුව තමන් කැමති මිලකට උපරිම මිලට යටත්ව ඉන්ධන ලබාදීමට සමාගම්වලට හැකියාව ලැබෙනවා. මේ තුළින් තරඟකාරීත්වයක් ඇති වෙනවා. එක සමාගමක් මිල අඩු කරන විට, ඊට සාපේක්ෂව අනික් සමාගම් ද මිල අඩු කිරීම තුළින් රටට විශාල ප්‍රතිලාභයක් අත්කර දීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.  

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ

Published

on

By

ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ පළමු  පොල් කිරි තොගය හෙට දිනයේ නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂා කටයුතු සිදු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතියට අනුව ක්‍රියාත්මක කරනු ලබන කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මෙයයි.

 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන( ශිතකල පොල් මද,පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන)ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මෙම තොගය ගෙන්වනු ලැබූ බව අමාත්‍යාංශය පවසයි.

මෙම තොගය, පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදා ගැනීමට නියමිතය.

මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අපේක්ෂාව වේ.

එමෙන්ම මෙම තොගය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතන වලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතය.

තොගය විවෘත කිරිම හෙට (31)  උදෑසන 9.00 ට RCT සංකීර්ණය, ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදී සිදු කිරිමට නියමිතයි.

Continue Reading

ව්‍යාපාර

මසුන් බහුල තැන් ගැන ධීවරයාගේ දුරකථනයට SMS ලෙස

Published

on

By

මුහුදේ මසුන් බහුල වශ­යෙන් ගැව­සෙන ස්ථාන කෙටි පණි­වු­ඩ­ය­කින් ධීව­ර­යාගේ ජංගම දුර­ක­ත­න­යට ලබා­දීමේ වැඩ­පි­ළි­වෙ­ළක් නාරා ආය­ත­නය සහ ඩය­ලොග් ආය­ත­නය එක්ව ක්‍රියා­ත්මක කර ඇත.

මේ සඳහා වූ ගිවි­සු­මට නාරා ආය­ත­නය වෙනු­වෙන් එහි සභා­පති නිමල් හෙට්ටි­ආ­රච්චි සහ  ඩය­ලොග් ආසි­යාටා සමා­ගමේ අධ්‍යක්ෂ  සුපුන් වීර­සිංහ මහ­ත්වරු විසින් පසු­ගි­යදා අත්සන් තබන ලදි.

2020 වසරේ සිට ධීවර ප්‍රජාව වෙනු­වෙන් භාවිත කෙරෙන ත්‍රෛභාෂා ධීවර යෙදු­මක් වන සයුරු ජංගම දුර­ක­තන යෙදු­මෙන් මේ කෙටි පණි­වු­ඩය ලබා­දීම සිදු කෙරේ.

නාරා ආය­ත­නය චන්ද්‍රිකා තාක්ෂ­ණ­යෙන් එදි­නෙදා ගන්නා සාග­රයේ බහුල වශ­යෙන් මසුන් ගැව­සෙන ස්ථාන පිළි­බඳ තොර­තුරු  කෙටි පණි­වු­ඩ­ය­කින් ජංගම දුර­ක­ත­න­යට දෙන අතර, එම­ඟින් ධීවර කාර්මි­ක­යන්ට පහ­සු­වෙන් මත්ස්‍ය බිම් සොයා ගැනී­මට හැකි­යාව ඇත. එතු­ළින්  ඉන්ධන පිරි­වැය ද අඩු­කර ගැනී­මට ද  හැකි­යාව ලැබේ.

ජාතික ජලජ සම්පත්  පර්යේ­ෂණ හා සංව­ර්ධන නියෝ­ජි­තා­ය­නය හෙවත් නාරා ආය­ත­න­යෙන් 2008 සිට චන්ද්‍රිකා සාගර විද්‍යා දත්ත විශ්ලේ­ෂ­ණ­යෙන් බහු­දින ධීවර යාත්‍රා සඳහා මසුන් ගැව­සෙන ප්‍රදේශ පිළි­බඳ පුරෝ­ක­ථන සිති­යම් නොමිලේ දීම සිදු කරයි.

මේ සේවා මඟින් සති­යට දින තුනක් මසුන් ගැව­සෙන ස්ථාන සහිත සිති­යම් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මෙ­න්තු­වෙන් නිකුත් කරන ගැඹුරු මුහුදේ කාල­ගුණ තොර­තුරු යාත්‍රා හිමි­යන්ට ලබා දෙයි.

මේ පුරෝ­ක­ථ­නය මඟින් කහ­ව­රල් කෙළ­වල්ලා, ඇස්ගෙඩි කෙළ­වල්ලා සහ බලයා යන මත්ස්‍ය­යන් පිළි­බඳ තොර­තුරු ලබා දෙයි.

මේ ගිවි­සුම් අත්සන් කිරීමේ අව­ස්ථා­වට නාරා ආය­ත­නයේ අධ්‍යක්ෂ ජන­රාල් කේ. අරු­නා­ලන්, නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජන­රාල් කේ. එච්. එම්. එල්. අම­ර­ලාල් සහ  ඩය­ලොග් ආසි­යාටා සමා­ගමේ  නිල­ධා­රීන් පිරි­සක් සහ­භාගි වූහ.

Continue Reading

ව්‍යාපාර

ආනයනික ලුණු වෙළඳපොළට

Published

on

By

ජාතික ලුණු සමාගම විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇතැයි එම ලුණු සමාගම පවසයි.

ආහාර සදහා ගෙන්වන ලද මෙම ලුණු තොගය පසුගිය 23 දා දිවයිනට ළගා වූ බවත් ඒවා මෙරට ලුණු අළෙවි නියෝජිතයින් හරහා වෙළෙඳපොළට නිකුත් කර පාරිභෝගිකයන්ට අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ජාතික ලුණු සමාගම සදහන් කරයි.

ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10000 ක්ද පිටකොටුව ආනයනකරුවන් ඇතුළු ආනයනකරුවන් 100 කට වැඩි පිරිසක් තවත් ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා ආනයනය කරන බවද කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved