Connect with us

පුවත්

එපික් ලංකා සමාගම නව නිපැයුම් 20 ක් සමගින් ඉදිරි වසර 25 සඳහා ඩිජිටල්කරන උපායමාර්ග එළිදක්වයි

Published

on

ශ්‍රී ලංකාව තුළ ෆින්ටෙක් විසඳුම් ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් වන එපික් ලංකා සමාගම විසින් සිය  25වන සංවත්සරය පසු ගිය දා සමරනු ලැබීය. මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශිෂ්ට සේවාවක් ලබා දීම කෙරෙහි නිරන්තරයෙන් කැප වන එපික් ලංකා සමාගමේ විශිෂ්ට නිෂ්පාදන කළඹ  IPs පද්ධති (intellectual property) 20කින් සමන්විත වේ. ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස එපික් ලංකා හඳුන්වා දෙන  මෙම IPs පද්ධති,  ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සන්නාම සමඟ අත්වැල් බැඳ ගනිමින් විදේශ වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වයට පත් වීම හරහා  ශ්‍රී ලංකාවට  කීර්තියක් අත් කර දීමට සමත් වී ඇත.

එපික් ලංකා සමාගම පසු ගිය වසර 25 පුරා දේශීය තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ඇතුළු ව 6,000කට අධික සේවක පිරිසක් වෙත රැකියා අවස්ථා ලබා දී ඇති අතර, 3,000 කට අධික පිරිසකට සීමාවාසික පුහුණුව ලබා ගැනීම සඳහා  ද අවස්ථාව ලබා දී ඇත. ඩිජිටල් ක්ෂේත්‍ර නිපුණත්වයේ ප්‍රමුඛයකු වන එපික් ලංකා සමාගම  නව විසඳුම් හරහා ගෙවීම් ක්ෂේත්‍රය නවීකරණය කරමින්, රාජ්‍ය ව්‍යවසායන් නව්‍යකරණය  කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇති අතර,  පුළුල් විෂය පථයක් ආවරණය කරන එපික් ලංකා සමාගම හඳුන්වා දෙන නව විසඳුම් හා නවෝත්පාදන හරහා.ලබා දෙන සේවාවන් ආසන්න වශයෙන් මෙරට සියළුම් ජනතාවගේ දෛනික ජීවිතයට සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇති කරන බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.

එපික් ලංකා සමාගම නැගෙනහිර ආසියාවේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ එම සමාගමේ සේවාවන් ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් වෙත ද ලබා දෙමින්, මෙම කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත ව ගෝලීය ප්‍රමුඛයා බවට පත් වීමට සමත් විය. මේ බව සනාථ කරමින් මෙවර Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලේ දී එපික් ලංකා සමාගම,  ශ්‍රී ලංකාවේ හොඳ ම ICT විසඳුම් සපයන්නා  ලෙස රන්  සම්මානය හිමි කර ගත් අතර, මෙම ජයග්‍රහණය,  විශිෂ්ටත්වය සහ  නවෝත්පාදන හඳුන්වා දීම සඳහා එම සමාගමේ කැපවීම සඳහා උදාහරණ සපයයි.

එපික් ලංකා සමාගම සිය නිෂ්පාදන කළඹ සඳහා  ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කරන අතර, එම සෑම නිෂ්පාදනයක් හරහා ම යම් නිශ්චිත ව්‍යාපාරික අවශ්‍යතා පරාසයක් ඉලක්ක කරමින් එම අවශ්‍යතා සඳහා සාර්ථක විසඳුම් ලබා දෙයි. නිදසුනක් වශයෙන් එපික් ලංකා සමාගම හඳුන්වා දී ඇති විශ්වසනීය මෙන් ම බහු කාර්ය විසඳුමක් වන  PreveNET NAC මගින් දෘඪාංග පදනම් කරගත් ජාල ප්‍රවේශ පාලකයන්ගේ (hardware-based Network Access Controllers) සිට  බහුකාර්ය මෘදුකාංග පදනම් වූ විකල්ප සේවාවන්  වෙත යොමු වීමේ අවස්ථාව ආයතන වෙත උදා කර දී ඇත. ඊට අමතර ව එපික් ලංකා සමාගම හඳුන්වා දී ඇති  CollectMate, බැංකු ක්ෂේත්‍රයේ ණය එකතු කිරීම් සහ ප්‍රතිසාධන  ක්‍රියාවලි  කළමනාකරණය කිරීම සඳහා පුළුල් මෙන් ම  පරිපූර්ණ සේවාවක් ලබා දෙයි.  එමෙන් ම ලේඛන කළමනාකරණ පද්ධති සහ ක්‍රියාවලි කළමනාකරණ විසඳුම්වලින් සමන්විත   Doxmate මඟින්, ව්‍යවසාය අන්තර්ගතයන් කළමනාකරණය සහ ව්‍යාපාර ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය ආශ්‍රිත ව පහසුකම් සපයන අතර,  Paytect යනු බැංකු කාඩ්පත් නිකුත් කිරීම, අත්පත් කර ගැනීම සහ ගනුදෙනු සැකසීම ආශ්‍රිත ව සේවා ලබා දෙන  කාඩ්පත් කළමනාකරණ පද්ධතියකි. එමෙන් ම Digiface, එපික් ලංකා සමාගම හඳුන්වා දෙන ඩිජිටල් ඔන්බෝඩ් eKYC සහ vKYC විසඳුමක් ලෙස දැක්විය හැකි අතර, එය අදාළ රෙගුලාසිවලට අනුකූල ව  විවිධ බැංකු නිෂ්පාදනවලට ඩිජිටල් සේවාවන් ඇතුළත් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක්  ඉටු කරයි. එපික් ලංකා සමාගම හඳුන්වා දෙන  මෙම සියලු ම  විසඳුම් ආයතනික මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන් ම විකාශනය වන ව්‍යාපාරික ලෝකය තුළ  ඩිජිටල් අවශ්‍යතා සපුරාලීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙයි.

වසර 25 ක් පුරා  ශ්‍රී ලංකාවේ තාක්ෂණික නවෝත්පාදනයන් අතින් ඉදිරියෙන්ම සිටින  එපික් ලංකා සමාගමේ  නිර්මාතෘ සහ විධායක සභාපති ආචාර්ය නයන දෙහිගම මහතා මෙම විශිෂ්ට ගමන් මග පිළිබඳ ව අදහස් දක්වමින් කියා සිටියේ, “අපගේ විශිෂ්ටත්වය සඳහා උදාහරණ සපයමින්  එපික් ලංකා සමාගම පසුගිය දා 25වන සංවත්සරය සැමරුවා.  ආරම්භයේ සිට වර්තමානය දක්වා ම අපි අපගේ වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බලවේගයක් විදියට වර්ධනය වුණා. ඩිජිටල් පරිවර්තනය සහ දැඩි කැප වීමෙන් කටයුතු කරන අපගේ අති දක්ෂ කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණය සඳහා බෙහෙවින් ඉවහල් වුණු බව පැවසිය යුතු ම යි.” යනුවෙනි.

එපික් ලංකා සමාගමේ  කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් මුදලිගේ මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “උසස් තාක්‍ෂණයෙන් සමන්විත අපගේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව්‍යකරණ  සංස්කෘතියක් පෝෂණය කිරීම වෙනුවෙන් සුවිශේෂී  කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. අප හඳුන්වා දුන් මෙම නවතම සේවාවන් සඳහා  දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන රාශියක් හිමි වූ බවත් පැවසිය යුතු ම යි.” යනුවෙනි.

අනාගතය වෙත අවධානය යොමු කරමින්, නවෝත්පාදන වෙත යොමු වෙමින්, ඒ හරහා පාර්ශ්වකරුවන් වෙත වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වන බව පැවසූ  මුදලිගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “අපගේ ගෝලීය පැවැත් ම පුළුල් කිරීමට සහ ආසියාවෙන් පරිබාහිර වෙළෙඳපොළ වෙත අපගේ විශිෂ්ට විසඳුම් හඳුන්වා දීමට අපි කැපවීමෙන් යුතු ව කටයුතු කරනවා. ගෝලීය ෆින්ටෙක් කර්මාන්තයේ අනාගතය සැකසීම වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන අප සමාගමේ 20කට අධික  නිෂ්පාදන කළඹ අති නවීන මෘදුකාංග විසඳුම් දක්වා වර්ධනය  වෙමින් පවතිනවා.  අපි ඉදිරි මූල්‍ය වර්ෂය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ලොව පුරා මෘදුකාංග සමාගම් සමඟ උපාය මාර්ගික සබඳතා ගොඩනංවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ වගේ ම  ගෝලීය  තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීම එපික් ලංකා සමාගමේ අරමුණයි. ” යනුවෙනි.  

1998 දී ආරම්භ කරන ලද, එපික් ටෙක්නොලොජි සමූහය,  යනු දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ බැංකු, මූල්‍ය සේවා සහ රාජ්‍ය අංශ වෙත නවීන තාක්‍ෂණය හඳුන්වා දීම වෙනුවෙන්  සම්මානලාභී, කලාපීය වශයෙන් ප්‍රමුඛතම තාක්‍ෂණික සමාගමකි.  එපික් ලංකා සමාගම ෆින්ටෙක් තොරතුරු පද්ධති ආරක්ෂාව, ආයතනික ඩිජිටල්කරණය, ජංගම දුරකථන යෙදුම් (Mobile App), විද්‍යුත් ගෙවීම් යෙදුම් (E- Payment App) සංවර්ධනය, ඊ-රාජ්‍ය විසඳුම් (E Government Solutions)  සහ  ලේඛන කළමනාකරණ පද්ධති පිළිබඳ වසර 25 කට වැඩි පළපුරුද්දක් මෙන් ම විශේෂඥතාවක් සහිත සමාගමක් වන අතර, එම සමාගම  ISO 9001:2015, ISO 27001:2013, PCI3DS, සහ CMMi Level 3 යන තත්ත්ව සහතික ලබා ඇත.

වැඩි විස්තර සඳහා කරුණාකර www.epictechnology.lk වෙත පිවිසෙන්න.

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved