Connect with us

ව්‍යාපාර

මිල්කෝ වාර්තා තබයි

Published

on

පාඩු ලබනවා යැයි පවසමින් පසුගිය සමයේ විකිණීමට ලංසු කැඳවා තිබූ මිල්කෝ ආයතනය ඔක්තෝබර් මාසය තුළ රුපියල් මිලියන 2000ක අලෙවි ඉලක්ක සපුරා ගැනීමට සමත්වී තිබේ.

ඒ,  පසුගිය මාසයේ මෙතෙක් ලැබූ ඉහළම පිරිවැටුම සනිටුහන් කරමිනි.

පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ නව රජය පත්වී මාසයක පමණ කෙටි කාලයක් තුළ මෙම අලෙවි ඉලක්ක සපුරා ගැනීමට හැකිවීම ඉතා සුබදායී කරුණක් බවය.

කෙසේවෙතත්,  මේ වන විට එම ආයතනයට රුපියල් බිලියන 1.8 ක බැංකු අයිරාවක් පවතින බවත් බැංකු පොලිය ලෙස වසරකට රුපියල් මිලියන 240ක් ගෙවීම සිදු කරන බවත් ඔහු තවදුරටත් පවසා ඇත.

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති, හේමජීව ගෝඨාභය මහතා පවසන්නේ ඔක්තෝබර් මසදී ලැබූ රුපියල් මිලියන 2000ක ඉහළම පිරිවැටුම, උග්‍ර සේවක හිඟයක් ඇතුළු දුෂ්කරතා රැසක් මධ්‍යයේ ලබා ගත් බවය.

එමෙන්ම, ඉතාමත් නරක මූල්‍ය තත්ත්වයක්, විශාල බැංකු අයිරාවක්ද සමඟ මිල්කෝ ආයතනයේ සභාපතිධුරය තමන් භාර ගන්නා විට කිරි ගොවීන්ට ආයතනය විසින් මුදල් ගෙවිය යුතු දිනයට වඩා සති දෙකක කාලයක් ඉක්මගොස් ගෙවීම් කරමින් තිබූ බවද මිල්කෝ ආයතනයේ වත්මන් සභාපතිවරයා පවසා තිබේ.

මෙම අයතනයේ අභ්‍යන්තර විගණන අංශය වසර ගණනාවක් පුරා අක්‍රියව තිබූ බවත් ඒ හේතුවෙන් ආයතනයේ ගිණුම් නිසිලෙස පරික්ෂාවීමක්, නිසි විගණනයක් සිදු වී නොමැති බව ද ඒ මහතා පෙන්වා දී තිබේ.

මේ දුෂ්කරතාවන් ජයගෙන මිල්කෝ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු යොදා ඇති බවත් මිල්කෝ නිෂ්පාදන රටපුරා වෙසෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රමාණයට ලබා දීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා තවදුරටත් අවධාරණය කලේය.

ව්‍යාපාර

BOC හා NSB 2024 වාර්ෂික වාර්තා ජනපතිට පිළිගන්වයි

Published

on

By

 ලංකා බැංකුවේ (BOC)  සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB)  2024 වාර්ෂික  වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.

ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් අදාළ වාර්තා  ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් ලබා ගත් ඉහළම ලාභය ලෙස ලංකා බැංකුව 2024 වසරේදී රුපියල් බිලියන 106ක ලාභයක් උපයා ඇති බව ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙහිදී සඳහන් කළේය. මෙම ලාභය බදු පැනවීමට පෙර ලබා ගත් ලාභය බව පෙන්වා දුන් සභාපතිවරයා ව්‍යාපාර සංවර්ධනය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමේ මූල්‍ය ආයතනයක් ලෙස ලංකා බැංකුව ප්‍රමුඛත්වය ගෙන තිබෙන බවද  පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සඳහන් කළේ, 2023 වසරේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලැබු රුපියල් බිලියන 4.2ක ලාභය 2024 වසර වන විට රුපියල් බිලියන 26.4ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවයි.

ජාතික ඉතිරි බැංකුවට මෙවන් සාර්ථකත්වයක් ලබා ගැනීමට රට තුළ පවතින ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය ඉවහල් වු බව පෙන්වා දුන් හර්ෂ කබ්රාල් මහතා, රාජ්‍ය ආයතන රජයට හෝ මහාභාණ්ඩාගාරයට බරක් නොවී විධිමත් කළමනාකරණයක් තුළින් ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බවට මෙය කදිම නිදසුනක් බවද සඳහන් කළේය. 2025 වසරේදී මින් ඔබ්බට ගිය සාර්ථකත්වය ලබා ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය බැංකු දෙකක් ලෙස ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කෙටි කලක් තුළ ලබා ගෙන ඇති මෙම ජයග්‍රහණය ඇගයිමට ලක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපායමාර්ගික නායකත්වය, කැපවීම සහ විධිමත් කළමනාකරණය තුළින් රාජ්‍ය ආයතන මෙරට ආර්ථික වර්ධනයට ධනාත්මක ලෙස දායක කර ගත හැකි බවත්, මෙම බැංකු දෙක ලබා ඇති ප්‍රගතිය තුළින් එය මැනවින් පිළිබිඹු වන බවත් සඳහන් කළේය.

2025 වසරේදී ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව තම ඩිජිටල් යටිතල පහසුකම් හා පරිභෝගික සේවාවන් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බවද මෙහිදී සභාපතිවරු වැඩිදුරටත් සඳහන් කළහ.

Continue Reading

ව්‍යාපාර

ලබන සතියෙන් ලුණු හිඟය අවසන්

Published

on

By

රජය විසින් ආනයනය කරන ලද ලුණු තොග අද (22)  පස්වරුව වන විට මෙරටට ළඟා වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා සඳහන් කළේ පෞද්ගලික අංශය විසින් ආනයනය කරනු ලැබූ ලුණු තොග ඊයේ (21) මෙරටට ලැබුණු බවය.

ඒ අනුව එළඹෙන සතියේ සිට කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලුණු මිලදී ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මෙලෙස  ආනයනය කරන ලුණු තොගය මෙට්‍රික් ටොන් 30000කි.

Continue Reading

පුවත්

මහ බැංකුව පොලී අඩු කරයි

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මැදි කාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved