Connect with us

ව්‍යාපාර

මෙරට පළමු අහස් පාලම සහිත හෝටලය විවෘත කෙරේ (ඡායා)

Published

on

‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කරන ලදී.

මෙම හෝටල් සංකීර්ණය ඉදිකර ඇත්තේ ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් ය. 

එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයකි.

මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වන අතර, එහි හෝටල් කාමර 350ක් පවතී.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු වතාව ලෙස සැලකේ.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බවයි.
කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද කියා සිටියේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය :

ITC සමාගම ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. ආසියාවේ පළමු තරු පහේ හෝටලය වන ගාලුමුවදොර හෝටලය මේ  අසල පිහිටා තිබෙනවා. ඒවගේම ඉන්දියානු ටාජ් හෝටලය ද මේ ආසන්නයේ පිහිටා තිබෙනවා. සිංගප්පූරුවෙන් පැමිණි ෂැංග්‍රිලා හෝටලයද පිහිටා තිබෙන්නේ මේ ආසන්නයේයි. ඒ සියල්ලන්ටම වඩා උසින් දැන් ITC රත්නදීප හෝටලයද තිබෙනවා. ඒ වගේම ඊට පසුපසින් සිනමන් ලයිෆ් හෝටලය තිබෙනවා.

මේ වන විට කොළඹ සංචාරක නගරයක් බවට පත් වී තිබෙනවා. තරු පංතියේ හෝටල්  නිසා සංචාරක ව්‍යාපාරයේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකියි.  කඩා වැටුණ ආර්ථිකය ගොඩනැංවීමටද  එය මහත් රුකුලක් වනු ඇතියි. සංචාරක ව්‍යාපාරය මගින් ලංකාවේ ආර්ථිකය කඩිනමින් ගොඩගත හැකියි . ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට අප සූදානම්. ඒ වගේම නැවත අරගලයක් ඇති නොවන ආර්ථිකයක් බිහි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අප ක්‍රියාවට නංවනවා. මේ සියලු සැලසුම් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කළ හැකියි.එවිට ජනතාවගේ ජීවන ත්ත්වයද උසස් කළ හැකියි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ITC රත්නදීප  සමූහයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සන්ජීව් පුරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ව්‍යාපාර

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගයට

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ දී සමත්විය.

අද ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වූ අතර මෙය මීට පෙර ඉහළම අගය වූ, 2025 පෙබරවාරි 18 දින වාර්තා වුණු ඒකක 17,193.8 වාර්තාව බිඳහෙළීමකි. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය.

අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට බැංකු සහා මූල්‍ය සමාගම්වල කොටස් මිල ඉහළ යාම් විශාල වශයෙන් හේතුවුණු අතර එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, DFCC බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සහ හැටන් නැෂනල් බැංකුව යන සමාගම්වල කොටස් මිල ඉහළ යාමන් බෙහෙවින් දායක වුණි.

මේ අතර අද දින රු. බිලියන 7.37 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමද විශේෂත්වයකි.

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

පුවත්

බදු  ගෙවන සියලුදෙනාට ජනපතිගෙන් ආරාධනයක් (UPDATE)

Published

on

By

මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, බදු ගෙවන සියලුදෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බවය.

මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පුරවැසියාට කාර්යක්ෂතාවයෙන් යුතු රාජ්‍ය සේවයක් ලබාදීමට ඩිජිටල්කරණය හඳුන්වාදෙන බව ද පැවසු ජනාධිපතිවරයා, රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති කළු යාන්ත්‍රණය බිඳ දමා සියලුදෙනා නීතියට අවනත වෙන ක්‍රියාවලියක් සකස් කරන බව ද කියා සිටියේය.

“බදු මුදල් ගැන ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු ලබාගැනීම ප්‍රශ්නයක් පමණක් නොව. එතැනින් එහාට ගිය ජාලගත ප්‍රශ්නයක් මෙතෙන තියෙනවා. අපිට රේගුවට, සුරාබදු එකට චෝදනා කළ හැකි වුවත් ඵලක් නෑ. මෙය එකට ගොඩගැහුණු එකිනෙකට අන්තර් සබඳතා ඇති ජාලයක්. එය බිඳිය යුතු නැද්ද ? රාජ්‍ය යාන්ත්‍රණය මීට සුදානම් විය යුතුයි. එසේ නොමැති නම් කල්තියා යන්න පුළුවන්. මම අවංකව කියන්නේ. මෙම යාන්ත්‍රණය බිඳින්නේ නැත්නම් රට අඟලක්වත් මෙතැනින් එහාට යන්නේ නෑ. අර්බුදයේ ගැඹුරටම යන්න පුළුවන්. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. ව්‍යාපාරිකයෝ සාධාරණ ලෙස ව්‍යාපාර කරලා, ඔවුන් සාධාරණ බද්දක් ගෙවනවා නම් එය ආරක්ෂා කරගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක්. එනිසා බදු මුදල් ගෙවන හැමෝටම මම ආරාධනා කරනවා. “ඔබ ගෙවන්න…අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා.” රුපියලක් නාස්ති කරනවා හෝ වංචා කරනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම අපි මැදිහත් වෙන බව මම සහතික වෙන්නම්.”

“බදු ශක්ති” නමින් ක්‍රියාත්මක මෙම බදු සතිය අද සිට ලබන 07වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මේ අතර, 2024 – 2025 තක්සේරු වර්ෂයේ සිට අදාල බදු ගෙවීම් සම්බන්ධ වර්තාවන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එක් කිරීම අද සිට දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත වේදීකාවක් ඔස්සේ පමණක් සිදුවන අතර එම මාර්ගගත වේදීකාව රටේ ජනතාව වෙනුවෙන් විවෘත කිරීම අද උදෑසන සිදුවිය.

එය සංකේතවත් කරමින් පළමු බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත් වේදීකාවට එක් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී සිදුවිය.


(පෙර පුවත 2025 ජුනි 02 පෙ.ව.8.17 )

අදින් ආරම්භ වෙන “ජාතික බදු සතිය”

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

“බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද සිට ලබන 07වනදා දක්වා වු සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved