Connect with us

පුවත්

ලංකාවේ ලොකුම මැණික් ප්‍රදර්ශනයට සංචාරක බලධාරීන්ගෙන් කිසි සහයක් නෑ!

Published

on

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka ප්‍රදර්ශනය 30 වැනි වරටත් කොළඹදී පැවැත්වීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනය 2024 වසරේ ජනවාරි 06 – 08 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ Atrium Lobby හිදී පැවැත්වීමට නියමිතය.

1991 ආරම්භයේ සිට වසර 30කට නොඅඩු දිගු කලක් පුරා පැමිණි ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ ගමන් මග තුළ අන්තර්ජාතික වේදිකාවේ ශ්‍රී ලංකාවේ කීර්තිය තහවුරු කළ සුවිශේෂී ඉසව්වක් ලෙස FACETS Sri Lanka හැඳින්විය හැකි අතර මෙම ප්‍රදර්ශනය තුළින් නිරන්තරයෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන් රැසක් ආකර්ෂණය කර ගනියි.  මෙම වසරේදී ද විශිෂ්ට මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කිරීම තුළින් ලොව ප්‍රමුඛ පෙළේ මහ පරිමාණ සහ කුඩා පරිමාණයේ වෙළෙඳ ව්‍යාපාරවල, මැණික් තාක්ෂණ ශිල්පීන්ගේ මෙන්ම අපනයන සහ නිශ්පාදනකරුවන්ගේත් ආකර්ෂණය දිනාගැනීමට හැකි වනු ඇතැයි සංවිධායකයන් අපේක්ෂා කරයි.

මේ සම්බන්ධයෙන් පසුගිය 03දා කොළඹ පැවති මාධ්‍ය හමුවට FACETS Sri Lanka හි සභාපති අල්තාෆ් ඉක්බාල් මහතා, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික – සමන් අමරසේන මහතා, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති  – විරාජ් ද සිල්වා මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති – ආචාර්ය කිංග්ස්ලි බර්නාඩ් මහතා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී – කමල් මුණසිංහ මහතා හා NGJA හි දේශීය ප්‍රවර්ධන කමිටුවේ සභාපති රිසාන් නසීර් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක් විය.

සංචාරක බලධාරීන්ගේ කිසිම සහයක් නෑ!

මෙම අවස්ථාවට සහභාගී වූ FACETS Sri Lanka හි සභාපති අල්තාෆ් ඉක්බාල් මහතා විසින් ඉදිරි ප්‍රදර්ශන කටයුතු සහ FACETS Sri Lanka 2024 හි නව විශේෂාංග පිළිබඳව සිය අදහස් බෙදා ගත් අතර ප්‍රදර්ශනයට අලුතින් එක් වන තිරසරභාවය පිළිබඳ ප්‍රදර්ශන කුටිය සහ නිල් මැණික් ආශ්‍රිතව සිදුකළ විශිෂ්ට නිර්මාණ ප්‍රදර්ශන කුටිය වැනි අංගයන් පිළිබඳව අදහස් දැක්වීය.

සංචාරකයන් අතර ඉතා සාර්ථක ලෙස ප්‍රවර්ධනය කළ හැකි මෙම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යංශය ඇතුළු බලධාරීන්ව දැනුවත් කළද ඔවුන්ගෙන් කිසිඳු සහයක් නොලැබීම කණගාටුවට කරුණක් බව ඉක්බාල් මහතා වැඩිදුරටත් පැවසීය.

නව විශේෂාංග හා කුටි රැසක්

මෙවර FACETS Sri Lanka 2024 හි දී මැණික් කුටි රාශියක් ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර FACETS හි ආරම්භයේ සිටම ප්‍රදර්ශනය කළ ප්‍රධාන මැණික් ප්‍රදර්ශන කුටිය ද ඇතුළුව ප්‍රධාන ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටිය, තිරසරභාවය පිළිබඳ ප්‍රදර්ශන කුටිය, නිල් මැණික් ආශ්‍රිතව සිදුකළ විශිෂ්ට නිර්මාණ ප්‍රදර්ශන කුටිය, රළු ගල් ප්‍රදර්ශන කුටිය,  මැණික් විද්‍යාගාර ප්‍රදර්ශන කුටිය, NGJA SME ප්‍රදර්ශන කුටිය, සහ SLGJA Gem and Jewellery ප්‍රදර්ශන කුටිය ආදිය මෙහිදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.  ප්‍රධාන මැණික් ප්‍රදර්ශන කුටිය දිගු කලක් පුරාවට FACETS Sri Lanka සමඟ අත්වැල් බැඳගෙන සිටි ශ්‍රී ලාංකාවේ ප්‍රමුඛ පෙළේ මැණික් අලෙවිකරුවන්ගෙන් සමන්විත වන අතර එහිදී ඔවුන්ගේ මැණික් අලෙවි  කිරීමට අපේක්ෂා කරයි.  ප්‍රමුඛ පෙළේ දේශීය ස්වර්ණාභරණ නිෂ්පාදකයින්ගෙන් සමන්විත ප්‍රධාන ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටිය තුළ ඔවුන්ගේ ස්වර්ණාභරණ මහජනයා වෙත ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

FACETS ශ්‍රී ලංකා සඳහා මුල් වරට එක් වන අංගයක් වන තිරසරභාවය පිළිබඳ ප්‍රදර්ශන කුටිය තුළින් වසර 2300ක් තරම් දිගු ශ්‍රී ලංකාව මැණික් වෙළෙඳාමේ ඉතිහාසය පිළිබඳ මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශයේ ඓතිහාසික විකාශනය සහ එහි තිරසාරභාවයට අදාළ ක්‍රමවේද සහ ප්‍රවේශයන් ඉදිරිපත් කරනු ඇත. නිල් මැණික් ආශ්‍රිතව සිදුකළ විශිෂ්ට නිර්මාණ ප්‍රදර්ශන කුටිය මෙම ප්‍රදර්ශනයෙහි තවත් සුවිශේෂී අංගයක් වන අතර එහිදී වටින්කමින් ඉහළ විශාල පාෂාණ වර්ග ප්‍රදර්ශනය කරයි.එමෙන්ම ප්‍රදර්ශනයේ අවසන් දිනයේ දී ඒවා අලෙවි කිරීමට ද අපේක්ෂිතය. තවද, ලෝකයේ සියලුම රටවල රළු පාෂාණ ද රළු පාෂාණ ප්‍රදර්ශන කුටියේදී  ප්‍රදර්ශනය කරනු ඇත.

එකම පරීශ්‍රයක් තුළදී ප්‍රමුඛතම දේශීය සහ ජාත්‍යන්තර මැණික් විද්‍යාගාරයන් දැක බලා ගැනීමේ අවස්ථාව මෙන්ම මැණික් සඳහා තත්ත්ව සහතිකයක් ලබා ගැනීමේ අවස්ථාව  ප්‍රධාන මැණික් විද්‍යාගාර ප්‍රදර්ශන කුටිය ඔස්සේ හිමි වන අතර NGJA SME ප්‍රදර්ශන කුටිය හරහා රට පුරා සිටින තෝරාගත්  සාමාජිකයින් හට ඔවුන්ගේ මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දෙනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මැණික් මහ ස්වර්ණාභරණ සංගමයේ සාමාජිකයින්ගේ මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශන වෙනුවෙන් SLGJA මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටිය වෙන් කර ඇත.

ජ්‍යෙෂ්ඨ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ගේ සහ විවිධ කථිකයන්ගේ සහභාගීත්වයෙන්  ‘මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අතීත ආවර්ජන’ උත්සවය පැවැත්වීමට නියමිත අතර එහිදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආරම්භයේ සිට විකාශනය වූ ආකාරය ,ඔවුන් අතීතයේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ආකාරය සහ එම කර්මාන්තයේ වර්තමාන තත්ත්වය ඇතුළු විවිධ මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

පුවත්

“පොලිස් ඇමති – නිශ්ශංකව හමුව, බොරු පුවතක්”

Published

on

By

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශය වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් එම්.ඒ.ඩී දීගායු මහතාගේ අත්සනින් එම ලිපිය නිකුත් කර ඇත.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ නිශ්ශංක සේනාධිපති සම්බන්ධ කරමින් ව්‍යාජ ලෙස සකස් කරන කළ ප්‍රවෘත්ති සමාජ මාධ්‍යයේ  සංසරණය වනු නිරික්ෂණය වන බවත්  අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා විසින් තම අමාත්‍යංශයේදී නිශ්ශංක සේනාධිපති  මුණ ගැසුණු බව හැඟවෙන ආකාරයෙන් එකී ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇති බවත් අදාල ලිපියේ දැක්වේ.

එය ව්‍යාජ ප්‍රවෘත්තියක් වන අතර කිසිදු අවස්ථාවක ආනන්ද විජේපාල  මහතා හෝ ඔහුගේ නියෝජිතයකු නිශ්ශංක සේනාධිපති මුණ ගැසී නොමැති බවද එහෙත් මෙලෙස දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කිරීම හරහා අමාත්‍ය  ආනන්ද විජේපාල මහතාගේත් වත්මන් රජයේත් කීර්ති නාමය හා ජනතා විශ්වාසය පළුදු වීම සිදු වන බව නිරීක්ෂණය වන්නේ යැයි ද අදාල ලිපියෙහි සඳහන් වේ.

එම නිසා දිගින් දිගටම සාවද්‍ය ප්‍රවෘත්තීන් සමාජගත වීම  හරහා සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා මහජනතාව සතු අයිතිය උල්ලංඝනය වීමක් සිදු වන අතර චේතනාන්විත ලෙස සාවද්‍ය  තොරතුරු සමාජගත කිරීම් හරහා සමාජයට අගතිදායී ප්‍රතිඵල ඇති කරන බව තම හැගීම යැයි ද ව්‍යාජ ප්‍රවෘත්ති  පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ පවත්වා අවශ්‍ය නෛතික පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

සැදැහැවතුන් විශාල පිරිසක් පළමු දිනට දළදා වහන්සේ වැඳපුදා ගනී

Published

on

By

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (18) උදාවුණි.

ඒ දහසය වසරකට පසු අද ඇරඹි සිරි දළදා වන්දනාව සමඟිනි.

සිරි දළදා වන්දනාවේ සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්වූ අතර දළදා වන්දනාවේ පළමු දිනය වූ අද 60,000ක පමණ සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගත්හ.

සෙංකඩගල රාජධානියේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ, ලෝ වාසී බෞද්ධයන්ගේ අපමණ ගරු බුහුමන් මැද වැඩවෙසෙන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට මෙන්ම විදෙස් තානාපතිවරුන්ට ද අද උදාවුණි.

විදෙස් තානාපතිවරුන්ව කොළඹ සිට මහනුවර දක්වා විශේෂ දුම්රියක් මඟින් රැගෙන ගොස් තිබුණි.

‘සිරි දළදා වන්දනාවෙහි සමාරම්භය වෙනුවෙන් ප්‍රථමයෙන් අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිවරු දළදා මාලිගය වෙත වැඩම කළහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම සිදුවුයේ ඉන් අනතුරුවය.

ඉන් අනතුරුව අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් සිරි දළදා වන්දනාවකදි සිදු කරන විශේෂ ආගමික වතාවත් ඉටුකෙරුණි.

එහිදි සිරි දළදා වන්දනාවෙහි සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදුකර තිබේ.

ආගමික වතාවත්වලින් පසු ”සිරි දළදා වන්දනාව” ඇරඹුණු අතර මෙරට සේවයේ නිරත විදෙස් තානාපතිවරුන් රැසක් ද දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණ සිටීම විශේෂත්වයකි.

දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ බලාපොරොත්තුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් මහා පිරිසක් අද පස්වරුව වන විටත් දිගු පෝලිම්වල රැඳී සිටියහ.

මෙම සැදැහැවතුන් වෙනුවෙන් ප්‍රවේශ මාර්ග තුනක් සකස් කර තිබේ.

ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම දක්වා, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාළිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා ලෙසිනි.

අද දහවල් 12.30ට ආරම්භ වූ සිරි දළදා වන්දනාව පස්වරු 5.30ට අවසන් කෙරුණි.

Continue Reading

පුවත්

යුනෙස්කෝව ලෝක මතක ලේඛනයට එක්වූ ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාද ලේඛන

Published

on

By

මෙරට ත්‍රෛභාෂා සෙල් ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදයට සම්බන්ධ ලේඛණ එකතුවක් ලෝ​ක ලේඛණයට මතක සටහනක් ලෙස එක් කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙව​ත් යුනෙස්කෝ සංවිධානය නිවේදනය කර තිබේ.

චීනය සහ ශ්‍රී ලංකාව එක්ව ඉදිරිපත් කරන ලද ත්‍රෛභාෂා සිලා ලිපිය චීන, පර්සියානු සහ දෙමළ සෙල් ලිපි සහිත ගල් පුවරුවක් වේ.

1911 දී බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු විසින් සොයාගන්නා ලද මෙම ගල් පුවරුව මේ වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ සංරක්ෂණය සඳහා තබා තිබේ.

එමෙන්ම එහි අනුරුවක් ගාල්ල ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

පූජනීය කඳුකර සිද්ධස්ථානයකට සිදුකරන ලද පූජාවන් පිළිබඳව අදාළ සෙල් ලිපියේ සඳහන් වේ.

විවිධ කලාප සහ සංස්කෘතීන් තුනක් නියෝජනය වෙන චීන දෙමළ සහ පර්සියානු භාෂාවලින් පෙළ ගැසී ඇති එකම ත්‍රෛභාෂා සෙල් ලිපිය මෙය බවද සඳහන් වේ.

යුනෙස්කෝ ලෝක ලේඛනයට ඇතුළත් වූ පානදුර රන් කොත් විහාරයේ තැන්පත් කර තිබූ 1873දී සිදුවූ පානදුරාවාදය සහ සම්බන්ධ ලේඛන 04ක් ඓතිහාසික සංස්කෘතික, ආධ්‍යාත්මික සහ බුද්ධිමය වශයෙන් ඉමහත් වටිනාකමක් දරන බව යුනෙස්කෝව සඳහන් කර තිබේ.

නවතම ඇතුළත් කිරීම් සමග ලෝක මතක ලේඛනයට මේ වන විට නව ඇතුළත් කිරීම් 570ක් අන්තර්ගත වේ.

ජාත්‍යන්තර ලේඛනයට අනුව රටවල් 100කට අධික කළාපීය ලේඛන 4ක් සහ ජාතික ලෝක මතක කමිටු නිර්මාණය කිරීමට යුනෙස්කෝව සහයෝගය ලබා දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved