බත්තරමුල්ල සෙත්සිරිපායේ පැවති ට්‍රයම්ෆ් (Triumph) කාන්තා යට ඇඳුම් සල්පිලක පෝලිමක සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම සල්පිල පෙරේදා (24) අතරමග නවතා දැමීමට තලංගම පොලිසියට සිදුව ඇතැයි වාර්තා වේ.
අදාළ සමාගම මේ සල්පිල අසංවිධානාත්මක ලෙස සංවිධානය කර තිබූ නිසා මේ තත්ත්වය ඇතිවූ බවට කාන්තාවන් සමාජ මාධ්‍ය තුළ චෝදනා කර තිබිණි.
එසේම, අදාළ සල්පිලට එම සමාගම විසින් ප්‍රමාණවත් පරිදි කාන්තා යට ඇඳුම් සපයා නොතිබීම ද මේ තත්ත්වයට හේතුවූ බව වාර්තා වේ.
කාන්තා යට ඇදුම් ගැනීමට පැමිණි කාන්තාවන් පිරිසෙහි පෝලිම කිලෝමීටරයක් පමණ දුරක් තිබී ඇත.
සෙත්සිරිපායේ සේවය කරන රාජ්‍ය නිලධාරිනියන් හා සේවිකාවන් මෙන්ම බාහිර කාන්තාවන් වෙනුවෙන් මෙම සල්පිල පවත්වා තිබුණේ කාන්තා යට ඇඳුම් හා තිසර පට සඳහා සියයට හැත්තෑ පහක වට්ටමක් ලබාදෙමිනි.
මේ හේතුවෙන් සෙත්සිරිපායේ බිම් මහලේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවද පසුකරමින් කාන්තාවන් දහසකට අධික පිරිසක් මෙහි පෝලිම් ගැසී සිටි බව පැවසේ.
මෙම සල්පිලේදී රුපියල් පන්සියයක් වන යට ඇඳුමක් රුපියල් එකසිය විසි පහටත් ඊට වැඩි වටිනාකමක් ඇති සෑම යට ඇඳුමකට සහ තිසර පට සඳහා සියයට හැත්තෑ පහක් වට්ටම් කර තිබූ බවත් රාජ්‍ය සේවකයෝ සඳහන් කරති.
කෙසේවෙතත් මේ අධික පෝලිම පැවතිද්දී කිසියම් පාර්ශ්ව කිහිපයක් පැමිණ මෙම කාන්තා ඇඳුම් තොග වශයෙන් මිලදී ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී සිල්ලර වශයෙන් මිලදී ගැනීමට පැමිණ සිටි කාන්තාවන් ඊට දැඩි විරෝධයක් පළකර තිබිණි.
මේ හේතුවෙන් කාන්තාවන් මෙන්ම ඇඳුම් තොග වශයෙන් මිලදී ගැනීමට පැමිණි දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති අතර ගැටුම පාලනය කිරීමට තලංගම පොලිසියද පැමිණ තිබිණි.
මෙම සල්පිල සංවිධානය කළ Triumph ආයතනයද පවසා තිබුණේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හිමිවන දිනය ඉලක්ක කරමින් මෙම සල්පිල සංවිධානය කළ බවය.