පුවත්

ඉන්දියානු ඉන්ඩිගෝ පලාලි ගුවන් තොටට ගුවන් යානා බස්සන්න අවසර ඉල්ලයි

Published

on

ඉන්දියාවේ චෙන්නායි හා යාපනය (පලාලි) දක්වා ගුවන් සේවා පැවැත්වීමට  ඉන්ඩිගෝ එයාර්ලයින්ස් සමාගම ශ්‍රී ලංකා රජයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වේ.

කොවිඩ් සමයේ පලාලි හා චෙන්නායි අතර ගුවන් ගමන් ඇන හිටි අතර සහනදායි ගුවන් සේවාවක් ලෙස හැඳින්වෙන ඉන්ඩිගෝ එයාර්ලයින්ස් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබුණු වහාම පර්යේෂණ සේවා ආරම්භ කරනු ලබන බවයි.

ඉන්ඩිගෝ සමාගම මේ වන විට කටුනායක හා චෙන්නායි අතර ගුවන් සේවා පවත්වනු ලබන අතර විශාල ඉල්ලුමක් පවතින පලාලි හා චෙන්නායි අතර ගුවන් සේවාව වඩාත් ජනප්‍රිය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වනවිට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට ක්‍රියාත්මක වන පලාලි ගුවන් තොටුපලෙහි මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. 

මෙම පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් පමණ වැය කිරීමට සිදු වන බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අමාත්‍යවරයාට පවසා ඇති බවද පැවසේ.

මේ වන විට ඉන්දියාවේ චෙන්නායි සිට සෑම දිනකම මගීන් 60ක් රැගත් “එලායන්ස්” සමාගමට අයත් ගුවන් යානයක් පලාලි වෙත පැමිණෙන බවද පැවසේ.

මෙම ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වලට අමතරව රත්මලාන ගුවන් තොටුපලේ සිට සෑම සතියකම “ඩී.පී ඒවේෂන්” සමාගමට අයත් ගුවන්යානා 04 ක් සහ “සිනමන් එයාර් ” සමාගමට අයත් ගුවන්යානා 04ක් කටුනායක ගුවන් තොටුපලේ සිට අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදු කරමින් පවතී.

Trending

Exit mobile version