පුවත්

චීනයේ සිනොපෙක් සමාගම ලංකාවේ නිෂ්පාදන ආනයනයට හා අලෙවියට සැරසෙයි (ඡායා)

Published

on

සේවා ස්ථාන 27,000කට අධික සංඛ්‍යාවක් සහිත දැවැන්ත චීන තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම (Sinopec), ශ්‍රී ලංකාවේ ආහාරපාන නිෂ්පාදන ආනයනය කිරීම සහ එම නිෂ්පාදන සිය වෙළඳසැල්වල අලෙවි කිරීමේ අරමුණෙන් සීමාසහිත බීජිං ශ්‍රී රෝඩ් කනෙක්ෂන් (Beijing Sri Road Connection) වෙළඳ සමාගම සමඟ ගිවිසුමකට එළැඹ තිබේ.

පසුගියදා ෂැංහයි හි පැවති CIIE ප්‍රදර්ශනය අතරතුරදී එළැඹුනු මෙම ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 0.8 ඉක්මවයි.

සිනොපෙක් සමාගම සහ බීජිං ශ්‍රී රෝඩ් සමාගම අතර අත්සන් තබන ලද ගිවිසුම මගින්, ශ්‍රී ලංකාවේ ආහාරපාන  නිෂ්පාදන ලාභ උපයාගැනීමේ හැකියාව සහිත චීන වෙළඳපොළ තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා පහසුකම් සැලසෙනු ඇත. සීමාසහිත බීජිං ශ්‍රී රෝඩ් කනෙක්ෂන් වෙළඳ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චිරංජය උඩුමුල්ලගේ මහතා සහ සිනොපෙක් සමාගමේ ජාත්‍යන්තර විකුණුම් කටයුතු පිළිබඳ නියෝජ්‍ය කළමනාකරු වන වන්ග් චියැන් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

නිවේදනයක් නිකුත් කරන චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ මෙම වසර ශ්‍රී ලංකාව සහ චීනය යන දෙරටටම ඉතා සුවිශේෂී සන්ධිස්ථානයක් වන බැවින්, සිනොපෙක් සමාගම සමඟ පවත්නා මෙම සබඳතාව සැබවින්ම සුවිශේෂී වන බවයි. දෙරට අතර ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65 ක් සපිරීමේ සංවත්සරය සහ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය මෙම වසරේ දී සමරනු ලැබේ.

5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) 2022 නොවැම්බර් 5 සිට 10 යන දිනවල ෂැංහයි හිදී පැවැත්විණි. ආහාරපාන අංශය සහ මැණික් හා ස්වර්ණාභරණ අංශය ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටි දෙකක් මෙහි ඉදි කොට තිබුණි. ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය සංවිධානය කිරීමේ කටයුතු, චීන – ශ්‍රී ලංකා වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය විසින් ස්වේච්ඡාවෙන් භාරගන්නා ලදී. මේ සඳහා තානාපති කාර්යාලයේ මෙන්ම එම සංගමයේ සාමාජික සමාගම්වල සහ අනෙකුත් අයගේ සහය ලබාගන්නා ලදී. ශ්‍රී ලංකාව මෙම අවස්ථාවට සහභාගී වූ 5 වැනි අවස්ථාව මෙයයි. CIIE  ප්‍රදර්ශනය සඳහා සහභාගී වූ සමාගම්, RMB 500,000 කට අධික දෛනික අලෙවි කටයුතු සහ 160 කට අධික වෙළඳ විමසීම් ප්‍රමාණයක් හිමි කරගනිමින් කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත් වූ බැවින්, මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම ඉතා සුවිශේෂී කර්තව්‍යයක් බව හඳුනාගත හැකි ය.

ගෝලීය සමාගම්වලට ලෝකයේ විශාලතම පාරිභෝගික වෙළඳපොළ වන චීන වෙළෙඳපොළට ප්‍රවේශ වීම සඳහා අවස්ථාව සලසන චීනයේ විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන්නේ CIIE ප්‍රදර්ශනයයි.

Trending

Exit mobile version